චේතනාව කර්මය උසුලා සිටී

චේතනාව කර්මය උසුලා සිටී

මේ සෑම තැන්හි දී ම කර්මය සමඟ ළඟින් ම සිටින්නේ චේතනාව ය. චේතනාවෙන් තොරව කර්මය ගැන කතා කළ නොහැකි ය. චේතනාව කර්මය උසුලා සිටී යන්න ඉතා නිරවද්‍ය වන්නේ එම හේතුවෙනි

කර්මය වනාහි ක්‍රියාව ය. සියලු සත්ත්වයින් කර්මය තුළින් ඉදිරියට ගමන් කරන්නාහ. එසේ නොමැති වුවහොත් අජීවි වස්තූන් බවට පත් වෙති. එම කර්මයන් පුද්ගල අවශ්‍යතා මත සිදුවෙති. නමුදු බුදු දහම තුළ දක්වා ඇති පරිදි අප බාහිර වශයෙන් දකින කර්මය හුදකලා වූවක් නොවේ. එයට හේතු ව එය චේතනාවක් සමඟ සාපේක්ෂ ව පවතින්නක් බැවිනි.

චේතනාවට කර්මය බව කීවොත් එය ඉතා නිවැරැදි ය. ඒ පිළිබඳ පැහැදිලි කොට ඇත්තේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා....” යනුවෙනි. කර්මය නම් වූ පුද්ගල ක්‍රියාව සුත්ත නිපාතයේ වාසෙට්ඨ සූත්‍රය තුළින් පැහැදිලි කොට ඇත්තේ ජාතිය නොහොත් ඉපදීමේ දී කස්සක, සිප්පික, වාණිජ, බ්‍රාහ්මණ, වසල ආදී නම් භාවිත කළ ද ක්‍රියාව අනුව ම සමාජ මට්ටම නිර්ණය වන බවයි.

ඒ පිළිබඳ තවත් විග්‍රහාත්මකව විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ කර්මය යනු චේතනා චෛතසිකය ම බවයි. සිත, කය, වචනය තුළින් සිදුවන ක්‍රියාවට චේතනාව මුල් වේ. ඒ බව ධම්ම පදය තුළ සඳහන් පළමු වග්ගය වූ යමක වග්ගයේ පළමු හා දෙවැනි ගාථා ද්වය නිදසුන් සපයනු ඇත. ඒ අනුව වේදනා, සංඥා, සංකාර යන ස්කන්ධත්‍රයට අයත් වූ ධර්ම සංඛ්‍යාත චෛතසිකයෝ සිත පෙරටු කොට ඇත්තෝ ය. සිතින් ම උපදනාහ. ඉදින් ලෝභාදී අකුසල ගති හා යෙදීමෙන් කිලිටි වූ සිතින් මුසාවාදා දී චතුර්විධ වාග් දුෂ්චරිතයන් අතරෙන් යමක් කියයි ද, ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කායදුෂ්චරිතයන් අතරෙන් යමක් කරයි ද, අභිද්‍යාදී ත්‍රිවිධ මනෝ දුශ්චරිතයන් අතරෙන් යමක් සිතයි ද, ඒ හේතු කොට කර්ම උපදි. හොඳ චෛතසිකයන් මුල් වී සිත, කය, වචනාදී ත්‍රිවිධ ද්වාරයෙන් යමක් කරයි ද, කියයි ද, සිතයි ද, ඒවා ද කුසල කර්ම ගණයට ගැනේ. නරක චෛතසිකයන් මුල් වී සිත, කය, වචනාදී ත්‍රිවිධ ද්වාරයෙන් යමක් කරයි ද, කියයි ද ඒවා අකුසල කර්ම ගණයට ගැනේ.

කයෙන් සිදුවන ක්‍රියා සමූහයට චේතනාව ඍජුව ම බලපාන අයුරු ඉන් වඩාත් පැහැදිලි ය. නමුදු ඒවා කුසල් හෝ අකුසල් බවට පත් වන්නේ චේතනාවේ සංඥා මාත්‍රයත් සමඟ ය. උපතින් ම සත්ත්වයාගේ සිත ප්‍රභාශ්වර ය. “පභස්සරමිදං භික්ඛවේ චිත්තං තඤ්ච ඛෝ ආගන්තුකෙහි උපක්කිලේසෙහි උපක්ඛිලිට්ඨං මහණෙනි අප සියල්ලන්ගේ ම සිත් ස්වභාවයෙන් ඉතා පිරිසුදු ය. යහපත් ය. උපත ලැබීමෙන් පසු පෙනෙන, ඇසෙන, දැනෙන කෙලෙස් සහගත කරුණු නිසා අපිරිසුදු වන්නේ ය. සිත මුල් වී හොඳ නරක හෙවත් කුසල් අකුසල් සිදු වේ. ත්‍රිවිධ ද්වාරයෙන් සිදුවන ක්‍රියා තමාටත් අනුනටත් යහපත් නම්, ඒවා හොඳ ක්‍රියා ලෙසත්, එම ක්‍රියා අයහපත් නම් ඒවා නරක ක්‍රියා ලෙසත් බුදු දහමේ පෙන්වා දී ඇත.

පුද්ගලයා එදිනෙදා කරන ක්‍රියා කුසලාකුසල වශයෙන් කොටස් දෙකකින් යුක්ත වේ. කුසල් සිතින් විහාරයට වැඳ පුදා ගැනීමට යන පුද්ගලයාගේ පයට පෑගී මියයන කුඩා සතුන් ප්‍රමාණය ඉතා විශාල ය. නමුදු එයින් අකුසලයක් සිදු නොවේ. එයට හේතුව වන්නේ ඔහු තුළ අකුසල් චේතනාවක් නොවන බැවිනි. වෛද්‍යවරයකු ලෙඩෙක් බේරා ගැනීමේ අදහසින් සැත්කමක් කරන කල්හි ලෙඩා මියගියහොත් එය අකුසල කර්මයක් නොවනු ඇත. එයට හේතුව ඔහුගේ චේතනාව වූයේ ලෙඩා සුවපත් කර ගැනීම උදෙසා එම ශල්‍යකර්මය කිරීම ය.

අපි ත්‍රිවිධ ද්වාරයෙන් කරන සියල්ල කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම යනුවෙන් හැඳින්වේ. ඒවා සියල්ල කය, වචනය, සිත යන ද්වාර තුන හරහා දස කුසල් හා දස අකුසල් වශයෙන් කොටස් වන අයුරු පැහැදිලි වේ. එයින් අකුසල් වන්නේ,

කය - සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම.

වචනය - බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම.

සිත - අභිද්‍යා (දැඩි ලෝභය) ව්‍යාපාදය (තරහ) මිථ්‍යා දෘෂ්ටිය (වැරැදි දැකීම) යනාදියයි.

“යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං” යන පාඨයට අනුව යම් විදියකට ද බීජ වපුරන්නේ ඒ විදියට අස්වැන්න ලැබෙනු ඇත. හේතු ඵලවාදී දර්ශනයක් වූ බුදු දහම තුළ උගන්වන්නේ සත්ත්වයා කරන කර්ම ශක්තියට සාපේක්ෂ ව එහි පලය ලැබෙන බවයි. එහිදී කරන කර්මය කුසලාකුසල වශයෙන් ප්‍රභේද වීමේ දී එයට අනුකූල ව ඵලය හට ගනු ඇත.

කර්ම විපාක දීමේ දී ක්‍රම හතරක් ඔස්සේ සිදුවන අයුරු පැහැදිලි වේ. එනම්,

දිට්ඨධම්ම වේදනීය (මෙලොව දී ම)

උපපජ්ජ වේදනීය (දෙවන භවයේ දී)

අපරාපරිය වේදනීය (නිවන් දකින ආත්මය ඇතුළු කවදා හෝ)

අහෝසි (අහෝසි ගණයට අයත් වේ) වශයෙනි.

මේ සෑම තැන්හි දී ම කර්මය සමඟ ළඟින් ම සිටින්නේ චේතනාව ය. චේතනාවෙන් තොරව කර්මය ගැන කතා කළ නොහැකි ය. චේතනාව කර්මය උසුලා සිටී යන්න ඉතා නිරවද්‍ය වන්නේ එම හේතුවෙනි.

ශරීර සචලභාවයට චේතනාව කොතරම් බලපාන්නේ ද යන්න සත්වයාගේ චුති චිත්තය විමසා බැලීමෙන් පෙනී යනු ඇත. කෙනෙක් මියයෑමට ආසන්න මොහොත ගැන මඳක් සිතුවොත් ඒ තුළ පැන නැඟෙන සිතිවිලි ධාරාව ඊළඟ භවයට සෘජුව බලපාන අයුරු පැහැදිලි වේ. ඒ සඳහා මට්ටකුණ්ඩලී කතා පුවත ඉතා වැදගත් සාධකයකි. මලක්, පහනක්වත් පූජා නොකළ ඔහු මියගොස් දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබීය. එයට හේතුව ප්‍රසන්න චේතනාවයි. එවැනි උදාහරණ හොඳ හා නරක දෙඅංශයට ම බුද්ධ ශාසනයේ ගිහි පැවිදි ශ්‍රාවක චරිත තුළින් බොහොමයක් දැක ගන්නට පුළුවන.

චුති, ප්‍රතිසන්ධි දෙකේ දී හා අන් අවස්ථාවල ද කර්මය සීමාවක් දැක්විය නොහැකි ය. එහෙත් පංච න්‍යාම තුළට අයත් උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම ආදී ක්‍රම තුළින් සිදුවන දේ කර්මයෙන් සිදුවූවා යැයි කීම සාවද්‍ය ය. උදාහරණයක් වශයෙන් ස්වභාව ධර්මයෙන් සිදුවන දේවලට මුහුණදීම ගත හැකි ය. අව් වැසි, සුළං ඒ ඒ ඝෘතුවලට අනුව වායු පීඩනයන්ට අනුරූප ව සත්ත්වයාට මුහුණ පාන්නට සිදු වනු ඇත. එතුළින් පැහැදිලි වන්නේ සියල්ල පූර්ව කර්මයෙන් සිදුනොවන බවයි. කර්මය යනු එකක් පමණි. තව ක්‍රම හතරකින් ම යම් යම් දේ සිදුවීමට පුළුවන. එවකට සමාජය තුළ පැවති “පුබ්බේ කත හේතු වාදය” බුදුහිමිගේ දෝෂ දර්ශනයට ලක්වන්නේ ද එම හේතුව නිසා ය. එය මිථ්‍යාවක් වශයෙන් බුදු හිමි ප්‍රතික්ෂේප කළහ. කර්මය පුද්ගලයා වෙත බලපෑම් ඇති කරන අයුරු පිළිබඳ අවබෝධය බුදු ඇසකින් විනා පුහුදුන් ඇසකින් දැකිය නොහැකි ය. කර්ම විෂය අචින්ත්‍ය ලෙස බුදු දහමෙන් පෙන්වා දී ඇත්තේ ද එම හේතුවෙනි.

සත්ත්වයාගේ පහළ වීම උදෙසා කරුණු තුනක් බලපානු ඇත. එනම් මවගේ ඝෘතු වීම, මවුපියන්ගේ සහවාසය, ගන්ධබ්භයකු පැමිණීම යන්නයි. මවුපිය දෙපළගේ සහවාසයෙන් කලල රූපයක් ඇති වුව ද විඤ්ඤාණයක් (ගන්ධබ්යෙක්) මවු කුසට බැස නොගතහොත් එකී සාධනයන් විනාශ වීමට පුළුවන. කර්ම වේගය සහිත විඤ්ඤාණය මවුකුසට ඇතුළු වීමට පෙර කාල පරාසය හඳුන්වන්නේ ගන්ධබ්බ අවස්ථාව ලෙසයි. කුසලාකුසල කර්ම විපාකයෙන් එය නිරූපණය වේ. මරණාසන්න මොහොතක දී රූපස්කන්ධය හැර යන චිත්ත චෛතසික දෙක කර්ම ශක්තිය අනුව මවුකුසයක් ග්‍රහණය (උපාදානය) කර ගනී. තණ්හාව නිසා මෙම අල්ලා ගැනීම හේතුවෙන් භවය ඇති වේ.

සත්ත්වයෙක් පුද්ගලයෙක් වශයෙන් ගැනෙන්නේ චිත්ත චෛතසික හා රූප කලාප පරම්පරාවක් හෙවත් නාම රූප සන්තතියකි. මේවා එකක් අනෙක ඇසුරු කොට ගෙන පවත්නා සාපේක්ෂ ධර්ම වන අතර, අනෙකහි පැවැත්මක් දැක්විය නොහැකි ය. ඉපදීම, පැවැත්ම, බිඳීම යනුවෙන් එක් සිතක් වේ. මෙලෙස සිත මොහොතින් මොහොත වෙනස් වේ. බිඳී යන සිත හා පවත්නා සිත අතර, හිස් බවක් හෝ සම්පූර්ණ වෙනසක් නැත. රූපය සිත හා වේගයෙන් ගමන් නොකරන අතර, එහි පැවැත්ම (ආයුෂය) චිත්තක්ෂණ 17 ක කාලය වශයෙන් අභිධර්මය තුළ දැක්වේ.

චුතිය යනු සිතිවිලි හා එක් වූ සිත එකක් ඇසුරු කර ගත් රූප කලාපයෙන් වෙන්වීම යි. ඒ වෙලේ ම සිත වෙනත් රූප සන්තතියකට සමීපවීම පටිසන්ධි වේ. නාම රූපයන්ගේ ක්ෂණ භංගුරත්වය රහතන් වහන්සේට හැර වෙන කෙනකුට අවබෝධ කර ගත නොහැකි ය. මරණය හා භවය ඉපදීම අතර සම්බන්ධය කෙබඳු දැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙන නාගසේන හිමි “එසේ උපදින්නේ මෙලොව සිටි අය නොවේ වෙනත් කෙනෙක් ද” නොවේ. (නච සෝ නච අඤ්ඤෝ ) යනුවෙන් පිළිතුරු ගෙනහැර දක්වන්නේ එම හේතුව පදනම් කර ගෙන ය.

කර්මය හා පුනර්භවය යථාර්ථ වශයෙන් විග්‍රහ කිරීමට බුදු දහමේ ප්‍රතිත්‍ය සමප්පාද න්‍යාය භාවිත කරයි. අවිද්‍යාව නිසා කර්මය රැස් වේ. අවිජ්ජා, සංඛාර, තණ්හා, උපාදාන, භව සියල්ල හේතු කොට ගෙන විඤ්ඤාණ නාම රූප පලයන් ජනිත වේ. දුක් ඇති කරමින් සත්ත්වයාගේ සසර ඇති වේ. අවිජ්ජා තණ්හා නැති කිරීමෙන් නැවත භවයක් නැත. (නභිජාතු ගබ්බං සෙය්‍යං පුනරේති) නැවත ඉපදීමේ සාධකයන් හොඳින් අවබෝධ කරගත් කල්හි ඊළඟ භවයක් පිළිබඳ උපාදානයෙන් තොරව සිතේ නිරෝධය ඇති වේ. පුනර්භවය රහිත ව නාමරූප ධර්මයන්ගේ එම නැවැත්වීම නිවී ගිය පහන් දැල්ලක් මෙන් අනිර්වචනීය ස්වභාවයට පත්වේ.

චේතනාව හා කර්මය ඉතා ගැඹුරු දේශනයක් බැවින් ඒවා පිළිබඳ දැන කියවා දැනුමක් ලබා සිටීම සසර ගමන් මඟට බෙහෙවින් රුකුලක් වන බව කීමට කැමැත්තෙමි.

ඇසළ අමාවක

අගෝස්තු 03 සෙනසුරාදා අ.භා 03.56 අමාවක ලබා 04 ඉරිදා අ.භා. 04.48 ගෙවේ.
03 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]