සාර්ථක යුග දිවියක් උදෙසා සත්පුරුෂ ධර්මයේ සුන්දර මඟ පෙන්වීම

සාර්ථක යුග දිවියක් උදෙසා සත්පුරුෂ ධර්මයේ සුන්දර මඟ පෙන්වීම

විවාහ දිවිය යනු බොහෝ දෙනකුගේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයකි. යහපත් ස්වාමියකු සමඟින්, යහපත් බිරිඳක සමඟින් ලස්සන විවාහ දිවියක් ගත කිරීම බොහෝ තරුණ - තරුණියන්ගේ අහිංසක පැතුමකි.

මහා කාරුණික තථාගතයන් වහන්සේ ද යුග දිවිය පිණිස සුදුසු සහකරුවෙක් සහකාරියක් තෝරා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු මනාව පෙන්වා දී තිබේ. එමෙන්ම විවාහ වූ පසු ස්වාමියා විසින් බිරිඳට ද, බිරිඳ විසින් ස්වාමියාට ද ඉටු කළ යුතු යුතුකම්, වගකීම් මනාව පෙන්වා දී තිබෙන්නේ සාර්ථක යුග දිවියකට අර්ථවත් අඩිතාලමක් ලෙසිනි. ඒ සියල්ලට ම පළමු ව විවාහ වනතුරු කුඩා කල පටන් ම කුමර කුමරි බඹසර රැකීමේ වැදගත්කම ද ධර්මය තුළ මනාව ඉස්මතු කොට තිබේ. කුමර කුමරි බඹසර රැකීම යනු විවාහ වෙනතුරු කිසිම ආකාරයක ලිංගික කටයුත්තක කවරකු සමඟ හෝ නොයෙදීම යි. අඩු ගණනේ තමා විවාහවීමට සිටින පෙම්වතා හෝ පෙම්වතිය සමඟවත් ලිංගික කටයුත්තක නොයෙදී විවාහ වනතුරු පිරිසුදු බඹසර ජීවිතයක් ගත කළ යුතු ය.

එමෙන් ම විවාහය පිණිස සහකරුවකු හෝ සහකාරියක තෝරා ගැනීමේ දී ඔහු හෝ ඇය සතුව විශේෂ සුදුසුකම් පහක් තිබේ දැයි විමසා බලන ලෙස භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කොට වදාළ සේක.

එනම් තෙරුවන් කෙරෙහි ගුණ දැනගෙන ඇති කර ගන්නා චිත්ත ප්‍රසාදය හෙවත් ශ්‍රද්ධාව තිබීම පළමු කරුණයි. ගිහි ජීවිතයේ දී ආරක්ෂා කර ගත යුතු නිත්‍ය සීලය වූ පන්සිල් රකින කෙනෙක් ද යන්න දෙවැනි කරුණයි. ශ්‍රී සද්ධර්මය අසා දරාගත් බව නම් වූ සුත බලය තිබේ ද යන්න තුන් වැනි කරුණයි. තව ද විවාහය පිණිස තෝරා ගන්නා සහකරු සහකාරිය පරිත්‍යාගශීලී ගුණයෙන් යුක්තවීම හතරවැනි කරුණයි. පස්වැන්න නම් ධර්මයට අනුව නුවණින් විමසා ඇති කර ගත් අවබෝධය නම් වූ ප්‍රඥා සම්පත්තිය යි. මෙම කරුණු පහ මනාව ගැළපේ නම් ඔවුන්ගේ විවාහ දිවිය අතිශයින් ම සාර්ථක, සොඳුරු යුග දිවියක් බවට නිසැකව ම පත් වේ. එනමුදු වර්තමානයේ විවාහයක දී සසඳා බලන ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ මෙම කරුණුවලට හාත්පසින් බැහැර වූ මිථ්‍යාදෘෂ්ටික පොරොන්දම් බැලීම සැබවින් ම ඛේදජනක තත්ත්වයකි. එම මිථ්‍යා මත පිළිගෙන, පොරොන්දම් ගළපා, නැකැත් බලා සිදුකරන විවාහ කෙටි කලකින් ම අසාර්ථක වී දෙදරා ගොස් දික්කසාදවලින් කෙළවර වන්නේ ආරම්භය වරද්දා ගත් නිසාවෙනි.

ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන ආර්ය පොරොන්දම් ගළපා විවාහ දිවියට පත්වන යුවළක් උතුම් තුනුරුවනේ ආශීර්වාදය ඇතිව ම බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර මත පිහිටා යුගදිවිය අරඹයි.

ඔවුහු සඟරුවනට දන් - පැන් පුදා දහම් ඔවදන් ලබා ගනිති. විවාහ මංගල්‍යය පිණිස කිසිසේත් මත්පැන් මත්ද්‍රව්‍ය සම්බන්ධ කර නොගනිති. ඇණවුම් කොට සතුන් නොමරති. අර්ථවත් අයුරින් යුග දිවිය අරඹා සැමියා බිරිඳටත්, බිරිඳ සැමියාටත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ පරිදි මනාව යුතුකම් වගකීම් ඉටුකරති. ගිහි විනය නම් වූ සිඟාලෝවාද සූත්‍රයේ එම යුතුකම් මෙසේ පෙන්වා දී තිබේ.

ගරුසරු දක්වා කතා කිරීම.

අවමන් කොට කතා නොකිරීම.

සිය බිරිඳ ඉක්මවා වෙනත් ස්ත්‍රීන් කරා නොයාම

නිවසෙහි වැඩකටයුතුවල දී සිය බිරිඳට ප්‍රධානත්වය දීම.

තමාට ශක්ති පමණින් ඇඳුම් ආයිත්තම් ආදිය මිලට ගෙන බිරිඳට තෑගි කිරීම. ස්වාමියා විසින් බිරිඳට ඉටුකළ යුතු යුතුකම් ය.

කලට වෙලාවට ආහාර පානාදිය සකස් කරදීම, සේවක කාරකාදීන්ට යහපත් ව සැලකීම, සිය සැමියා ඉක්මවා වෙනත් පුරුෂයන් කරා නොයෑම, සැමියා රැස් කළ ධනය ආරක්ෂා කිරීම, සියලු කටයුතුවලදී කම්මැළි නැතිව දක්ෂ වීම,

බිරිඳ විසින් ස්වාමියාට ඉටුකළ යුතු යුතුකම් ය

මෙසේ ධර්මානුකූල ව ගත කරන යුග දිවිය සැබැවින් ම සමඟි සම්පන්න සොඳුරු යුග දිවියක් බවට පත්වන අතර වාසනාවන්ත පින්බර දිවිපෙවෙතක් ලබා දෙයි.

අනේපිඬු සිටුතුමා, පුණ්‍ය ලක්ඛණා දේවිය, පූර්ණවර්ධන කුමරු - විශාඛාව, නකුල මාතා - නකුල පිතා එවන් සොඳුරු විවාහ ජීවිතවලට පූර්වාදර්ශයන් ය. අනුබුදු මිහිඳු මාහිමියන්ගේ උත්තම සදහම් දායාදය ලත් දා පටන් අප මාතෘභූමියේ ද ජීවමාන වූයේ ඒ සොඳුරු බොදු සංස්කෘතිය යි. ආදර්ශවත් විවාහ ජීවිත ගත කළ පින්බර මව්පියන් මෙලොව පරලොව දෙලොව ම සාර්ථක කර ගත්හ.

එනමුදු කාලයාගේ අවෑමෙන් ඒ සොඳුරු සංස්කෘතික ගුණාංගයන්ගෙන් ක්‍රමයෙන් බැහැර වෙමින් අවිචාරවත් බටහිර සංස්කෘතියේ අයහපත් බලපෑම් විවාහ දිවිය කෙරෙහි ද එල්ල වී තිබේ. වර්තමානයේ පැතිරී යන අශ්ශීල සංස්කෘතියක් වනුයේ ‘ලිවින්ග් ටුගෙදර්’ හෙවත් එකට වාසය කිරීමයි. එම චින්තනය ඔස්සේ තමන් කැමැති කාන්තාවක් පිරිමි කෙනෙක් සමඟ කැමැති දවසක් වාසය කරති. ඉන් පසු ඔහු හෝ ඇය අත්හැර දමා තවත් කෙනෙකු හා වාසය කරන්නේ වාහන, නිවෙස් මාරු කරන්නාක් මෙනි.

මෑතක දී එක් යොවුන් නළුවකු ප්‍රසිද්ධ මාධ්‍යයක කිසිදු ලජ්ජාවක් නොමැති ව පැවසුවේ තමා දැන් ජීවත් වන්නේ තුන්වැනි කාන්තාව සමඟින් බවයි. සංවේගයට කරුණ නම් එම සාකච්ඡාවට සහභාගී වූ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු සහ සම්මානලාභී ප්‍රවීණ නිළියක ද ඔහුගේ හිරිකිත ප්‍රකාශයන් අනුමත කරමින් මෙම අශීලාචාර සංස්කෘතියට ආවැඩීමයි. පුදුමයට කරුණ නම් එම ප්‍රවීණයන් දෙදෙනා ම මැදිවියේ පසුවන, දරුවන් සිටින මව්පියන් වීම යි. නූතන සමාජය වැරැදි කාම සේවනයට ඍජුව ම අනුබල දෙමින්, දුසිල් සංස්කෘතියේ ගොදුරු බවට පත්වෙමින්, ආධ්‍යාත්මික සෝදාපාළුවකට ලක් වී ඇති බවට මෙවැනි දේ ප්‍රබල නිදසුනකි.

අශීලාචාර සංස්කෘතියට ආවඩන බොහෝ දෙනෙකුට ආධ්‍යාත්මික හික්මීමක් හෝ අඩු ගණනේ සිය දරුවන් ගැන හෝ මෛත්‍රී සහගත හැඟීමක් නොමැත. ආඩම්බරකාර මොනරා සැඟවිය යුතු සිය ගුද මාර්ගය පෙන්වමින් පිල් විදහා රඟ දෙන සේ ඔවුන් විවිධ සංවාදවල දී තම පාණ්ඩිත්‍යය පෙන්වන්නේ යැයි සිතා සිය ආධ්‍යාත්මික නිරුවත් භාවය ම ප්‍රකට කරති. එසේ ම ඔවුන් තමන් ද අකුසල් රැස්කර ගනිමින් බොහෝ දෙනෙකු එම අකුසලයේ සමාදන් කරවමින් නිරයගාමී පව් රැස්කර ගනිති.

භාග්‍යවතුන් වහන්සේ වදාළේ අනාගත ලෝකයෙහි අධර්ම රාගයත්, විෂම ලෝභයත්, මිථ්‍යා දෘෂ්ටියත් යන අකුසල් තුන බොහෝ සෙයින් බලවත් වන බවකි. එම සම්බුදු වදන් සැබෑ කරමින් වත්මන් නාගරික ප්‍රජාව වේගයෙන් අශීලාචාරකම්වලට යොමු වෙමින් සිටිති. ආධ්‍යාත්මික දියුණුව නොමැති වීමට ප්‍රධාන සාධකයක් වනුයේ ලෞකික සම්මා දිට්ඨිය නොමැති වීමයි. එබැවින් පින් පව් ගැන, මෙලොව පරලොව ගැන කර්ම කර්මපල ගැන අවබෝධයක් හෝ වටහා ගැනීමක් පොදුවේ ගත් කල හෝ ඔවුන්ට නොමැත.

එම නිසා තාවකාලික සැපයක්, ආස්වාදයක් පිණිස ඕනෑම අකුසල් සහගත ක්‍රියාවක් කිරීමට ඔවුහු පසුබට නොවෙති. අද මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය වේගයෙන් පැතිර යමින් පවතී.

උත්තම සම්බුදු දහමෙන් පෝෂණය ලබන හෙළ සංස්කෘතියෙන් ඔප් නැංවුණ අපගේ ජීවන රටාව මිනිසත් බවින් ද, හික්මීමෙන් ද සදාචාරවත් සත්පුරුෂ ගුණාංගයන්ගෙන් ද සුපෝෂිත ය. අප දිවිමඟ ගතකළ යුත්තේ වසර දහස් ගණනක සිට උරුම වූ එම උදාර හෙළ බොදු සංස්කෘතියට අනුව ය. අපගේ මෙලොව ජීවිත යහපත් වන්නේ ද පරලොව සුගතිගාමී වන්නේ ද එවිට ය. එම නිසා ගිහි ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වූ විවාහය හා විවාහ දිවිය ගත කළ යුත්තේ ඒ පරමාදර්ශී ධර්මයට අනුව සදාචාරවත් අයුරිනි. එය මතු පරපුරට ද යහපත් පූර්වාදර්ශයකි. එසේ නොමැති ව අශීලාචාර සංස්කෘතියේ අසාරවත් අංග, අවිචාරවත් ව වැලඳගෙන එයට ආවැඩුවොත් තමන්ටත්, සමාජයටත් එය මහා සාපයක් වීම නොවැළැක්විය හැකි ය. එම නිසා හරවත් සොඳුරු යුග දිවියක් ගත කිරීමට සත්පුරුෂ ධර්මයේ සුන්දර මඟ පෙන්වීම සියලු දෙනාට ම උපකාරී වේවා.

ඇසළ අමාවක

අගෝස්තු 03 සෙනසුරාදා අ.භා 03.56 අමාවක ලබා 04 ඉරිදා අ.භා. 04.48 ගෙවේ.
03 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]