සසුනඹරට පෑයූ සුපුන් සඳ: දිමියාවේ අමරවංස අනු නාහිමිපාණන් වහන්සේ

සසුනඹරට පෑයූ සුපුන් සඳ: දිමියාවේ අමරවංස අනු නාහිමිපාණන් වහන්සේ

මාලබේ, සුසිතපුර අශෝකාරාමාධිපති, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක ආචාර්ය දිමියාවේ අමරවංස නායක ස්වාමීන් වහන්සේ අගෝස්තු 01 වැනි දින 90 විය සපුරති. ඒ වෙනුවෙන් එදින ආශීර්වාද පින්කම් රැසක් පැවැත්වේ. මේ ලිපිය ඒ වෙනුවෙනි.

ඓතිහාසික සපරගමු පළාතේ රත්නපුර දිසාවේ නිවිතිගල දිමියාව නම් වූ සුන්දර ග්‍රාමවරය අමරවංස අනුනාහිමියන්ගේ ජන්ම භූමියයි. දිමියාව ගමේ ප්‍රභූ පරම්පරාවකින් පැවැත එන චන්ද්‍රසේකරගේ කරුණාරත්න හා කහන්ගමගේ පොඩිහාමි යන දම්පතීන්ට 1934 අගෝස්තු 01 වැනි දින පුත් රුවනක් ලැබුණු අතර හේ නමින් ප්‍රේමසිරි චන්ද්‍රසේකර විය. මවුපිය ඥාති මිත්‍රාදීන්ගේ ආදරය, සෙනෙහස මැද වැඩුණු ප්‍රේමසිරි දරුවා නිසි වයස් එළැඹි කල්හි අධ්‍යාපනය සඳහා දිමියාව රජයේ මිශ්‍ර පාසලට 1940 වර්ෂයේ දී ඇතුළත් ව ගුරු දෙගුරුන්ගේ සිත් සතන් සතුටු කරමින් අට ශ්‍රේණිය දක්වා මැනවින් අධ්‍යාපනය හදාළේ ය.

සසර පුරුදු පුහුණු කළ ධර්මතා හා පුරාකෘත පුණ්‍ය මහිමය නිසාවෙන් අවුරුදු දාහතර පිරෙත්ම පැවිදිවීමට පෙරැත්ත කළ හෙයින් මවුපියන් විසින් මොරටුවේ සාසනවංස නාහිමියන් වෙත දරුවා භාර කළේ ය. අඟුරුවාතොට මහයාලේ ශ්‍රී පුෂ්පාරාමයේ නේවාසික ව උගත යුතු දේ ඉගෙන පිරිය යුතු වත් පිළිවෙත් පුරා 1948 දෙසැම්බර් 27 වැනි දින අතිපූජ්‍ය සාසනවංස නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් දිමියාවේ අමරවංස නමින් උතුම් ප්‍රව්‍රජ්‍යා සම්පත්තිය ලැබීය.

මූලික බණ දහම් හා ශික්ෂණය ගුරු ඇසුරේ ලැබූ අමරවංස සාමණේරයෝ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණට ඇතුළත් ව වර්ග පටිපාටියෙන් සමත්කම් දක්වා පාරිවේණික විභාග සියල්ල අවසන් කළේ ගෞරව පන්ති සාමාර්ථ ලබා ගනිමිනි. විසි වයස් සපිරුණු කල්හි 1956 වර්ෂයේ දී අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායික භික්ෂු මහා සංඝයා වෙතින් අධිසීල සංඛ්‍යාත උපසම්පත්තිය ලැබුයේ මාදළුපිටියේ මහනාහ උපාධ්‍යායත්වයෙනි.

ප්‍රාචීන විභාගයන්ට අමතරව විද්‍යෝදය විශ්වවිද්‍යාලයට (දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) ඇතුළත්ව 1962 දී ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගත්තේ ය. 1963 වර්ෂයේ දී රජයේ ගුරු වෘත්තියට පිවිසි අමරවංස හිමියෝ බළන්ගොඩ උඩගම මහා විද්‍යාලය, වල්හපුතැන්න මහා විද්‍යාලය, මරදාන මහාබෝධි විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ විද්‍යාලය, නුගේගොඩ ශාන්තජෝන් විද්‍යාලය යන පාසල්වල සේවය කරමින් දැයේ දූ දරුවන් දහස් ගණනකගේ දෑස් පාදා 1991 වර්ෂයේ දී විශ්‍රාම ලැබූහ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පදවිය 2002 වර්ෂයේ සිට මේ දක්වා ම දරමින් කොට්ඨාසයේ සියලු දහම් පාසල් මානව හා භෞතික සම්පත්වලින් දියුණුවට පත්කරන්නට සුවිශේෂී දායකත්වයක් අප නාහිමියන් විසින් සපයනු ලබයි. රාජකීය පණ්ඩිත, මහාචාර්ය අතිපූජ්‍ය කොස්ගොඩ ධම්මවංස මහ නාහිමියන්ගේ කාලයේ සිට අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ පරිපාලන කටයුතුවලට සම්බන්ධ වෙමින් කටයුතු කළ අමරවංස හිමියෝ කොළඹ දිස්ත්‍රික් සිරි සද්ධම්මවංස නිකායික සංඝ සභාව පිහිටුවීමට ද පුරෝගාමී ව කටයුතු කළහ.

ඒ නිසාම අමරවංස හිමියෝ පිළිවෙළින් 1993 වර්ෂයේ දී රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය ද, 2010 වර්ෂයේ දී ‘සුධර්මා’ කාරක සංඝ සභික පදවිය ද, 2013 වර්ෂයේ දී මහා ලේඛකාධිකාරි පදවිය ද, 2015 වර්ෂයේ දී ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට ද පත්ව 2017 වර්ෂයේ දී අනුනායක පදවියට පත්වූයේ සිරි ශාසනවංසාලංකාර චන්ද්‍රකීර්ති ශ්‍රී උපාධ්‍යාය ගරුනාම සම්මුතිය සහිතව ය.

තම විවේකී කාලය නිරන්තරයෙන් ම ධර්ම ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන් යොදවන අප අනුනාහිමියෝ විසින් ග්‍රන්ථ රාශියක් ලියා පළ කොට ඇති අතර, ශාස්ත්‍රීය සඟරා ද බොහෝමයක් සංස්කරණය කරමින් එළිදක්වා ඇත. තමන් වහන්සේගේ ආචාර්ය පරම්පරාවට අයිති ව ඇති සියලු විහාරස්ථාන පරිපාලනය කිරීමට හා ආගමික, අධ්‍යාපනික, ශාසනික කටයුතු ඉටු කිරීමට සමත් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ ගෞතම ශාසනයට දායාද කොට තිබීම අනුනාහිමියන් සිදුකර ඇති වටිනාම ශාසනික මෙහෙවර ලෙස අගය කරමි.

2024 අගෝස්තු 01වැනි දිනට උපතින් අවුරුදු 90ක් සම්පූර්ණ වන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් තව තවත් ලෝ සසුන් වැඩවඩන්නට ආයු ආරෝග්‍යාදී භාග්‍ය සම්පත් ලැබේවා’යි ආශීර්වාද කරමි.

ඇසළ අමාවක

අගෝස්තු 03 සෙනසුරාදා අ.භා 03.56 අමාවක ලබා 04 ඉරිදා අ.භා. 04.48 ගෙවේ.
03 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 03

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]