ජීවිතයට
නිති රැකවරණය
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
මෛත්‍රී බුදු සමිඳුන් ලොව පහළ වන්නේ මිනිස් ආයුෂ වර්ෂ අසූදහස දක්වා වර්ධනය වූ කාලයක
බව අපගේ ගෞතම බුදු සමිඳුන් ඉතා පැහැදිලි ලෙස චක්කවත්තී සීහනාද සූත්‍රයේ දී දේශනා
කොට වදාරා තිබේ. එසේ නම් ඒ සා දීර්ඝ කාලයක් තුළ ඔබට අපා දුකක නොවැටී, සුගතියේ ම
රැඳී සිටිමින් දෙව් මිනිස් දෙගතියෙහි පමණක් සැරිසරමින්, මෛත්‍රී බුදු සමිඳුන් මුණ
ගැසෙනා තුරා සුව සේ සිටිය හැකි යැයි සිතිය හැකි සහතිකය කුමක් ද? වගකීම කුමක් ද?
ඔබ ශ්‍රද්ධාවට පැමිණිය යුත්තේ ගෞතම බුදුපියාණන් වහන්සේ ගැන ය. ගෞතම බුදු සමිඳුන්
වදාළ ශ්‍රී සද්ධර්මය ගැන ය. ගෞතම බුදු සසුන තුළ මාර්ගඵල ලැබු උතුම් ශ්‍රාවක සඟරුවන
ගැන ය. ඔබ තවමත් මේ තුනුරුවන් හඳුනාගෙන නැත්නම්, ඔබ කොතෙත් වාරයක් වචනවලින් තෙරුවන්
සරණ ගිය ද, ඔබේ හදවත තුළ තිසරණය නොපිහිටයි. එවිට ඔබට රැකවරණයක් නැත.
මෛත්‍රී බුදු සමිඳුන් ලොව පහළ වන්නේ මිනිස් ආයුෂ වර්ෂ අසූදහස දක්වා වර්ධනය වූ කාලයක
බව අපගේ ගෞතම බුදු සමිඳුන් ඉතා පැහැදිලි ලෙස චක්කවත්තී සීහනාද සූත්‍රයේ දී දේශනා
කොට වදාරා තිබේ. එසේ නම් ඒ සා දීර්ඝ කාලයක් තුළ ඔබට අපා දුකක නොවැටී, සුගතියේ ම
රැඳී සිටිමින් දෙව් මිනිස් දෙගතියෙහි පමණක් සැරිසරමින්, මෛත්‍රී බුදු සමිඳුන් මුණ
ගැසෙනා තුරා සුව සේ සිටිය හැකි යැයි සිතිය හැකි සහතිකය කුමක්ද? වගකීම කුමක්ද? එබඳු
ආරක්ෂාවක් ගැන කියැවෙන බුද්ධ දේශනාවක් නැත. ඇත්ත වශයෙන් ම මේ ගෞතම බුද්ධ ශාසනය තුළ
චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමේ අදහස් කෙනෙක් තුළ නැත්නම්, ඔහු ගෞතම බුදු
සමිඳුන්ගේ ශ්‍රාවකයෙක් නම් නොවේ. ඔහු ශ්‍රාවක ප්‍රතිරූපකයෙකි. එනම් ශ්‍රාවක වේශයෙන්
සිටින කෙනෙක් පමණි. මෛත්‍රී බුදු සසුන පැතීම නිසා කිසිවකු තමන් තුළ අවබෝධයෙන් ඇති
කරගත් සම්මා දිට්ඨියක් නැත. එම නිසා මෛත්‍රී බුදු සසුන පැතීමේ සිහිනය අත්හැර දමා
ගෞතම බුදු සසුන වෙත පැමිණීමට තරම් නිහතමානී බුද්ධියක් ඇති කර ගැනීම පිණිස ගිහි
පැවිදි බෞද්ධ ජනතාව දැන්වත් සිහි නුවණ උපදවා ගත යුතු ය.
ගෞතම බුදුරජාණන් වහන්සේ අපගේ එකම කල්‍යාණ මිත්‍රයාණෝ ය. මාර්ගෝපදේශකයාණෝ ය. මහා
කාරුණිකයාණෝ ය. සදාදරණීය වූ ශාස්තෘවරයාණෝ ය. බුද්ධත්වය ගැන මුළුමනින් ම දැන වදාළේ
එය සාක්ෂාත් කර ගත් බුදුරජාණන් වහන්සේ ම පමණි. සසරේ ගමන් කරන සත්වයෙක් කෙමෙන්
කෙමෙන් පාරමී ධර්මයන් මුහුකුරා ගොස් දෙතිස් මහා පුරිස ලක්ෂණ ඇතිව ජීවමාන මනුෂ්‍ය
රත්නයක් ලෙස බුද්ධත්වයට පැමිණීම මිනිස් ඉතිහාසයේ සිදුවන අතිශයින් ම ආශ්චර්යවත් වූ,
විස්මිත වූ, අද්භූත වූ, අසාමාන්‍ය වූ, අද්විතීය වූ, අචින්තනීය වූ, සිදුවීමකි. ඒ
බුද්ධත්වය පිණිස ශ්‍රාවකයන් උනන්දු කරවා මේ කෙළවරක් නොපෙනෙන සසරට ඇද දැමීමේ එක
බුද්ධ දේශනාවක් වත් අපට හමු නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඇසිපිය හෙළන මොහොතක් වත්
භවය වර්ණනා නොකරන බවයි. සමස්ත බුද්ධ ධර්මය ම ‘අප්‍රමාදය’ යන වචනය තුළට බහාලිය හැකි
බවයි. එසේ තිබියදී සියවස් ගණනක් මුළුල්ලේ සාම්ප්‍රදායික ලෙස ඇතැම් ගිහි පැවිදි
පිරිස් බුදු බව පතන බෝසත්වරුන් ලෙස පෙනී සිටීමෙන් පැහැදිලි වන්නේ ගෞතම බුදු සසුනෙන්
පරිබාහිර වූ මහායාන මතයන් තුළ ඔවුන් සිර වී සිටින බවයි. ඒ බුදු බව පතන පිරිස් ද
අහිමි කර ගන්නේ ඉතා දුර්ලභ ලෙස තමා වෙත ලැබුණ ක්ෂණ සම්පත්තියයි. නිහතමානී ව
ශ්‍රාවකත්වයට පැමිණීමේ නොහැකියාව. එයින් පිළිබිඹු වන්නේ. නමුත් සියලු දෙනා
ශ්‍රාවකත්වය ලබා ගන්නේ තෙරුවන් සරණ යෑමෙනි. පැවිදිවීමේ දී පවා පැවිදි අපේක්ෂකයන්
ස්වාමීන් වහන්සේගෙන් සිවුරු ඉල්ලන්නේ ‘සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්චකරණත්ථාය’
කියා ය. එනම් සියලු දුකින් නිදහස් වී අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස කියා ය.
එහෙත් පැවිදි වූ පසු කෙනෙක් ඊට හාත්පසින් ම එකඟ නොවූ බුදු බව පැතීමේ විලාසිතාවට
ගොදුරු වෙති. තවත් සමහරු දේශපාලනය කරති. තවත් සමහරු ශ්‍රමණ ජීවිතයකට කිසිසේත්
යෝග්‍ය නොවන අශ්‍රමණ කටයුතුවල යෙදෙමින් සිටිති. ගෞතම බුදු සසුන අතුරුදහන් වීමට
ඔවුන්ගේ ක්‍රියාකලාපය ප්‍රබල සාධකයක් ව පවතී.
එමෙන් ම තමන් පැවිදි වුණ යම් උතුම් අරමුණක් ඇද්ද, ඒ උතුම් අරමුණ වූ චතුරාර්ය සත්‍යය
ධර්මය අවබෝධ කර ගැනීමේ පරම පිවිතුරු චේතනාව තුළ දිගට ම රැඳී සිටින සැබෑ ම වූ
ශ්‍රමණයන් වහන්සේගෙන් ද මේ දහම් දිවයින තවමත් හිස් නැත. ගෞතම බුදු සසුන ශෝභමාන
වන්නේ අන්න ඒ ශාක්‍ය පුත්‍ර වු ශ්‍රමණයන් වහන්සේගෙන් හා මේ ගෞතම බුදු සසුන තුළදීම
චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමේ කුසලච්ඡන්දය ඇති ගිහි උපාසක උපාසිකාවන් නිසා
ය. ගෞතම බුදු සසුන රැකගත හැක්කේ ද ඔවුන්ට පමණි. ගෞතම බුදු සසුනෙන් ප්‍රයෝජන ලබා ගත
හැක්කේ ද ඔවුන්ට පමණි. ගෞතම බුදු සසුන බැබළවිය හැක්කේ ද ඔවුන්ට පමණි.
දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය තුළ පිළිසරණ ලබා ගත හැක්කේ ද ඔවුන්ට පමණි. එම නිසා
මෛත්‍රී බුදු සසුන පැතීමත්, තමන් බුදුවන්නට සිතීමත් වැනි ප්‍රායෝගික නොවන
සිහිනයන්හි නොරැඳී ගෞතම බුදුරදුන් වදාළ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගන්නට
නුවණැත්තෝ සිත් යොමත්වා. |