[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහ බෝ සමිඳුන්ට පිදෙන පුද පූජාවේ අසිරිය

මහ බෝ සමිඳුන්ට පිදෙන පුද පූජාවේ අසිරිය

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට දෙවන පෑතිස් රජ සමයේ පටන් මේ දක්වා අඛණ්ඩ ව පවත්වා ගෙන එනු ලබන වාර්ෂික මංගල්‍යය හතරකි. දුරුතු මංගල්‍යය, පරණ අවුරුදු මංගල්‍යය, නානුමුර මංගල්‍යය හා කාර්ති මංගල්‍යයයි.

රන් පාත්‍රයෙන් කිරිපිඬු පූජා කිරීම

දුරුතු මංගල්‍යය නම් අලුත් සහල් මංගල්‍යයයි. දුරුතු පුර පසළොස්වක පෝ දින මෙම මංගල්‍යය පවත්වනු ලබයි. රජරට වාසීන් කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත් පිරිසකි. සිය ගොවි කර්මාන්ත ආරම්භ කිරීමට පළමු ව සරු අස්වැන්නක් ලබා ගැනීම සඳහා වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා, ශ්‍රී මහා බෝධීන් වහන්සේට භාර හාර කරවීම චාරිත්‍රයකි. මෙම චාරිත්‍රය ඉටු කර වගා කළ කුඹුරුවල අස්වැන්න නෙළා සිය පරිභෝජනයට පළමුව අලූත් සහල් ශ්‍රී මහාබෝධි ස්ථානයට භාර දෙනු ලැබේ. මින් පසු දුරුතු පෝ දින රැස්වූ පිරිසත්, මහාවිහාරීය භික්ෂුන් වහන්සේත් අටමස්ථානාධිපතින් වහන්සේත් රාත්‍රී අටට පමණ පිළියෙළ කර ගත් ගිලන්පස පූජාව හේවිසි හඬ මධ්‍යයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පූජා කර දෙවියන්ට පින් දී අනතුරුව රුවන්වැලි සෑ රදුන් වෙත ද ගොස් මේ අයුරින් ම පූජාව පවත්වනු ලැබේ. පසුදා හිමිදිරි උදෑසන අලූත් සහලෙන් පිළියෙළ කරගත් කිරිපිඬු ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්, රුවන්වැලි සෑ රදුන්ටත් රන් පාත්‍රයෙන් පූජා කොට මෙම මංගල්‍යයේ කටයුතු අවසන් කරනු ලැබේ.

අලුත් අවුරුද්ද ලබන්නට පෙර...

සිංහල අලුත් අවුරුද්ද ලබන්නටත් පෙර සතියකට පමණ පෙර පරණ අවුරුදු මංගල්‍යය පැවැත්වීම සඳහා අටමස්ථානාධිපති හිමියන් විසින් දිනයක් නියම කරනු ලබයි. ගිලන්පස, මල්, කපුරු, හඳුන්කූරු, ඉටිපන්දම් ආදී වූ පූජා භාණ්ඩ හේවිසි ඝණ්ඨා හඬ මධ්‍යයේ රාත්‍රී අටට පමණ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වැඩම කරවා පූජාව පවත්වනු ලැබේ. පූජාව අවසානයේ දෙවියන්ට පින් දී දෙවනුව රුවන්වැලි චෛත්‍යරාජයා වෙත ද ගොස් මේ ආකාරයෙන් පූජා පවත්වනු ලබයි.

පසුදා උදෑසන පිසින ලද කිරිපිඬු ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්, රුවන්වැලි සෑ රදුන්ටත් රන් පාත්‍රයෙන් පූජා කර සියලූ කටයුතු නිමා කරයි.

බුද්ධෝපස්ථානය සිහිපත් කරමින්...

නානුමුර මංගල්‍යය, අලූත් අවුරුදු මංගල්‍යය නමින් හඳුන්වනු ලබයි. සෙසු මංගල්‍ය තුනට වඩා මෙම මංගල්‍යය කරුණු කීපයක් නිසා විශේෂ තැනක් ගනියි. සුභ මොහොතක් බලා යොදාගත් නැකතකට අනුව මේ මංගල්‍යය පවත්වයි. හිරු මේෂ රාශිගත වීමට පෙර එනම්, වෙසක් පුර පසළොස්වක පෝය ලැබීමට පෙර මෙම මංගල්‍යය පැවැත්විය යුතු ය.

අටමස්ථානාධිපති හිමි මෙහි දිනය නියම කරනු ලබයි. දින නියම කිරීමෙන් පසු අටමස්ථාන භාරකාර නුවරවැවේ වලව්වේ නිලමෙතුමාටත්, ස්ථානයේ මුර සේවයේ කටයුතු කරන විහාර නින්දගම් කාරයින්ටත් දැනුම්දීමක් කරයි. මංගල්‍යයට පෙර නින්දගම් වැසියන් විසින් මළුව පිරිසුදු කිරීම, සුදු වැලි ඇතිරවීම, පැරැණි සම්ප්‍රදායානුකූල ව තොරන් බැ¼දීම, මළුව පුරා සැරසිලි කිරීම, ගොඩනැඟිලි සුදු පිරියම් කිරීම කළ යුතු ය.

මෙම මංගල්‍යයේ දින නියම කර ගත් දා පටන් අවසන් වන තුරු අටමස්ථානාධිපතින් වහන්සේ පිළිපැදිය යුතු චාරිත්‍ර කීපයක් ද වේ. අරුණක් ගත කිරීම සඳහා මහා විහාරයෙන් පිටත වැඩම නොකිරීමත්, පාංශුකූල හා මතක පින්කම් සඳහා සහභාගි නොවීමත් ඒ අතර ප්‍රධාන වේ.

මංගල්‍යය පැවැත්වෙන දින හවස හතරට පමණ මහා විහාරයේ සිට ආභරණ හේවිසි හඬ මධ්‍යයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වැඩමවා ආභරණ පැළඳවීම පිටතට නොපෙනෙන පරිදි වට තිරයකින් ආවරණය කරයි. අනතුරුව මහා විහාරීය භික්ෂූන් වහන්සේගේත් කපු මහත්වරුන්ගේත් මැදිහත් වීමෙන් පළමුව ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්, සමීප ව පිහිටි පරිවාර බෝධීන් වහන්සේ දෙනමටත් ආභරණ පැළඳවීම කරනු ලැබේ. ආභරණ පැළඳවීමෙන් පසු මළුව එක්තරා රටාවකට ඇමද වට තිරය ඉවත් කෙරේ.

ආභරණ පැළඳවීමෙන් පසු රාත්‍රී අටට පමණ සූදානම් කර ගත් ගිලන්පස, මල්, කපුරු, හඳුන්කූරු, ඉටිපන්දම් ආදී පූජා භාණ්ඩ අලංකාර ලෙස සරසන ලද පැරැණි පල්ලැක්කියේ (දෝලාවෙහි) තැන්පත් කර අටමස්ථානාධිපති හිමියනුත්, නුවර වැවේ වලව්වේ නිළමේතුමාත්, නින්දගම් වැසියනුත් ඇතුළු ගිහි පැවිදි පිරිස පැරැණි සම්ප්‍රදායානුකූල ව නැටුම්, ගැයුම්, වැයුම්, සහිත පෙරහරින් මළුව වෙත පැමිණ ශ්‍රී මහා බෝධීන් වහන්සේ පැදකුණු කර දේවාලය වෙත පැමිණේ. මින් පසු ගිලන්පස පූජාව පවත්වා කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කර කළු දේවතා බණ්ඩාර දෙවියන් ප්‍රධාන සියලූ දෙවියන්ට පින් දී ප්‍රධාන දොරටුවේ මඟුල් බෙර වාදනයෙන් පසු පෙරහර රුවන්වැලි සෑ රදුන් වෙත පැමිණ පෙර පරිදි ලෙස ම පූජාව පවත්වා ඉක්බිති නැටුම්කරුවන්ගේ නැටුම් මධ්‍යම රාත්‍රී පසුවන තුරු ඉදිරිපත් කිරීමෙන් පසු රාත්‍රී පෙරහරේ කටයුතු නිමාවට පත්වේ.

මෙම උත්සවයේ ප්‍රධානතම අංගය වන්නේ නානුමුර පූජාවයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ නෑවීම මෙයින් අදහස් කරයි. දෙවනපෑතිස් රජතුමා වර්ෂ දොළහක් අඛණ්ඩ ව මෙම පූජාව සිදු කළ බව වංශකතාවල සඳහන් වේ.

මුල් යුගයේ මෙම පූජාව බෝධීන් වහන්සේට සිදු කළ ද පසුව දෙවනපෑතිස් රජතුමා ඉදිකළ, දැනට බුදු මැදුරේ සමාධි පිළිම වහන්සේට මෙම පූජාව පවත්වනු ලබයි. බුදුරදුන් ජීවමාන ව වැඩසිටි දවස ආනන්ද හිමියන් විසින් සිදු කළ උපස්ථාන සිහි ගන්වමින් නානුමුරය පැවැත්වීම මෙහි මූලික අරමුණයි.

කාර්ති මංගල්‍යය පවත්වන්නේ ඉල් පුර පසළොස්වක පොහෝ දිනයි. ශ්‍රී මහා බෝධීන් වහන්සේට ගිලන්පස පූජාව පවත්වා දෙවියන්ට පින් දී දෙවනුව රුවන්වැලි සෑ චෛත්‍යය වෙත ගොස් පූජාව පවත්වනු ලැබේ. පසුදින උදෑසන රන් පාත්‍රයෙන් කිරිආහාර ශ්‍රී මහා බෝධීන් වහන්සේට, රුවන්වැලි සෑ රදුන්ට පූජා කිරීමෙන් මෙම මංගල්‍යය කටයුතු ද නිමා වන්නේ ය. වර්ෂයේ අවසන් මංගල්‍යය ද මෙයයි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවා භාරය

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ භාරකාරත්වයට නිතැතින් පත්වනු ලබන්නේ අටමස්ථානාධිපති පදවිය උසුලනු ලබන ස්වාමීන් වහන්සේ ය. අටමස්ථානාධිපති පදවියට පත්වන උන්වහන්සේ අනිවාර්යයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ වෙසෙන ස්ථානයේ (බෝ මලුවේ පන්සලේ) නිත්‍ය නේවාසික ව වැඩ සිටිය යුතු වෙයි.

උන්වහන්සේට පැවරෙන රාජකාරි අතර විශේෂත්වයක් ගන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීමේ වගකීම ය. බෝධීන් වහන්සේගේ තේවාවට පත්වනු ලබන්නේ උන්වහන්සේ විසින් නියම කරනු ලබන මහා විහාරයීය උපසපන් භික්ෂූන් අතුරින් එක් නමක් හෝ දෙනමකි. උන්වහන්සේ අලුයම හතරවන විට අවදි විය යුතු ය. එසේ අවදිවීමෙන් අලුයම පහ වනවිට බෝධීන් වහන්සේගේ තේවාව ආරම්භ කළ යුතු ය. මුලු මලුව ම ඇමද දෙවනුව කලාත්මක ලෙස හැඩදැමිය යුතු ය. මේ සඳහා පිළියෙළ කර ගත් විශේෂ ඉදල් වර්ගයක් උපයෝගී කර ගනී. අනතුරුව මල්, කපුරු, සුවඳ කූරු පූජා කරනු ලැබේ. දිනපතා ම මල්, කපුරු හඳුන්කූරු, පොල්තෙල් ප්‍රධාන කපු මහතා සපයා දිය යුතු ය. මේ සඳහා මල් ගෙයක් වෙන ම ඇත. පුරාණයේ සිට මෙය පැවත ගෙන එන්නකි.

රන් වැටෙන් උඩ මේ මූලික වතාවත් ඉටුකර දෙවනුව රන්වැටෙන් පහත මලුවට පැමිණ එහි ඇති දොළොස් මහේ පහන මනාව දැල්වේ’ දැයි බලා පොල්තෙල් තිර නොමැති නම් සපයා අලුත් කළ යුතු ය.

ඉන් අනතුරුව බෝධීන් වහන්සේ වටා සුවඳ දුම් අල්ලමින් තෙවරක් ප්‍රදක්ෂිණා කරනු ලැබේ. පසුව මහා විහාරීය අනෙක් භික්ෂූන් ද සහභාගි කරවා ගනිමින් වත පිරිත සජ්ඣායනා කරනු ලැබේ. දිනපතා උදේ සවස මේ වත් පිළිවෙත් ටික භක්තියෙන් හා ආදරයෙන් ඉටුකිරීම තේවාව භාර හිමිට පැවරෙන වගකීමකි. දිනපතා උදේ සවස සිදුකරනු ලබන මේ වතාවත් සඳහා පැයක පමණ කාලයක් ගතවෙයි.

උඩමලුවේ පැවැත්වෙන මෙම තේවාවෙන් අනතුරුව පහත මලුවේ පිහිටි බුදුමැදුරේ බුද්ධ පූජා කටයුතු ආරම්භ කරනු ලැබේ. උදේ, දවල්, සවස මෙහි පූජා පැවැත්වේ. බෝධීන් වහන්සේගේ තේවාව භාර හිමියන් උදේ සවස තේවාවේ නිරත වන අතරතුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ ව විශේෂ අවධානයකින් සිටිය යුතු වේ.

රිලවුන්, වඳුරන් වැනි සතුන්ගෙන් යම් හානියක් බෝධීන් වහන්සේට සිදුවී තිබේ නම්, ඒ බව අටමස්ථානාධිපතීන් වහන්සේට දැන්විය යුතු ය. ඉන්පසු උන්වහන්සේ එදින මුර සේවාව භාරගත් කපු මහතා කැඳවා තොරතුරු දැන ගනු ලැබේ. බලවත් හානියක් වී ඇත්නම් උන්වහන්සේ එම සිදුවීම අටමස්ථාන කොමිටිය වෙත යොමු කර පරීක්ෂණ පවත්වා සමාමදිය නොහැකි මුර සේවාවක් නම් එදින මුර සේවාවේ සිටි සියලු දෙනාගේ රාජකාරි තහනමට ලක්කර සුදුසු අය පත්කර ගනු ලැබේ.

අන් වෘක්ෂලතා ආදියට ලෙඩ රෝග වැළඳීදීම ස්වභාවික මෙන් බෝධීන් වහන්සේට ද එබඳු ආපදා ඇතිවීම පොදු ලක්ෂණයකි. එබඳු රෝගාබාධයක් දුටු වහා ම අටමස්ථානාධිපති හිමියන් වෙත දැනුම් දී නැවත උන්වහන්සේ සමඟ බෝධීන් වහන්සේ පරික්ෂා කර අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පේරාදෙණිය උද්භිද අංශයට දැනුම් දෙනු ලැබේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් යම් විහාරස්ථානයන්ට පරිත්‍යාග කිරීමේ දී පෞරාණික වතාවත් ඉටු කර බාර දෙනු ලබන්නේ තේවාව භාර හිමියන් විසිනි.

පොසොන් අව අටවක

ජුනි 28 සිකුරාදා අ.භා. 04.30
අව අටවක ලබා 29 සෙනසුරාදා
අ.භා. 02.23 ගෙවේ.
28 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]