පොසොන් අව අටවක පෝ දා
2024-06-28
අවිහිංසාව අගයමු
කිසිවකුට කරදරයක් පීඩාවක් නොවී, සාධාරණ ව ජීවත් වූ කෙනකුගේ දුකක දී කරදරයක දී අනේ,
ඒ අහිංසකයාට මේ කරදරවලින් ඉක්මනින් ම ගොඩ එන්න ලැබෙන්න ඕනෑ යනුවෙන් ඔහු හෝ ඇය හෝ
වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු අපි අසා දැක ඇත්තෙමු. පෞද්ගලික ව ගත් කල ද, ඕනෑම කෙනකු
එවැනි අවස්ථාවකට මුහුණ දී තිබෙන්නට පුළුවන. එවන් ප්‍රාර්ථනාවක් ලබන්නට කෙනකුට
හැකිනම් සැබැවින් ම ඔහු හෝ ඇය හෝ භාග්‍යවන්තයෙකි. සමාජයෙන් අවංක ව පැසසුම් ලබන්නට
නම්, ආශිර්වාද ලබන්නට නම් හේ ගුණගරුක, චරිතවත් පුද්ගලයකු ම විය යුතු ය.
අහිංසක යනු හිංසාවෙන් තොර වූ යන අර්ථය යි. සම්බුදු දහමට අනුව, අනුන්ට හිංසාවක්
නොවී, තමන්ට ද හිංසාවක් නොවී ජීවත්වීම යි. තථාගතයන් වහන්සේ ගිහියාට අනුදැන වදාළ
පංචශීල ප්‍රතිපදාවේ එන පළමු සිල්පදයෙන් ම සමාදන් වන්නේ පරපණ නැසීමෙන් වැළකීමේ
සිල්පදය යි. ඒ තුළ ද අර්ථ ගැන්වෙන්නේ අවිහිංසාව යි.
අතීතයේ පෝ දිනයේත් සතුන් දඩයමේ ගිය ලාංකේය ජන සමාජය සතුන්ට අභය දෙන්නට පටන් ගත්තේ
පොසොන් පුර පෝ දාක අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට සම්බුදු දහම හඳුන්වාදීමත් සමඟ
ය. එදා සිට හෙළ බෞද්ධයා කුරා කුහුඹුවකුට හෝ හිංසාවක් පීඩාවක් කිරීමෙන් දුරු වූ
ජාතියක් බවට පත්වූහ. යනෙන මහ මඟක දිය කඩිත්තක ජීවිතය සමඟ පොර බදිමින් ගොඩට එන්නට
දඟලන කුහුඹුවකු හෝ දැක ඉවත බලාගෙන යෑමේ සිරිතක් බෞද්ධයාට නැත. කොළ අත්තක් හෝ දමා
කුහුඹුවා ගොඩට ගෙන මිස එතැනින් පය ඔසවන්නට හිත ඉඩ දෙන්නේ නැත. ලිපට දමන දර
කැබැල්ලත් හොඳින් ගසා දමන්නේ කුඩා කෘමි සතුන් වේ නම් ඉවත් කරනු පිණිස ය. හේන්
ගොවිතැන බහුල වූ අතීතයේ හේනක් කොටා ගිනි තබන්නට සැරසෙන මොහොතේ විවිධ ශබ්ද නඟමින්
විෂකුරු සර්පයාත් පළවා හරින්නේ ඔවුනට හිංසාවක්, පීඩාවක් වේ යැයි බියෙනි. ඒ තරමට
අවිහිංසා ගුණ පිරි අපේ අසිරිමත් සමාජයේ ගුණ ධර්ම කලින් කල පැමිණි විවිධ බලවේග නිසා
ටිකෙන් ටික වියැකී යමින් පැවතීම අප ලද අභාග්‍යයකි. එහෙත් එහි වගකීම් එකිනෙකාට බැර
කරමින්, චෝදනා නැඟූ පමණින් ඒ අභාග්‍යයෙන් මිදිය නොහැකි ය. පළමුව තමන් නිවැරැදි විය
යුතු ය. එවිට ක්‍රමයෙන් පවුල, ගම, රට නිවැරැදි වනු ඇත.
තමන්ට පිහිට තමන් ම ය. එනම් ධර්මයේ රැකවරණය ලද හැක්කේ තමන් දහමට අනුව ජීවත් වූයේ
නම් පමණි. තමන්ට තමන් මිස අනුන්ට නිවැරැදි කළ නොහැකි ය. අවශ්‍ය උපදෙස් පමණක් ලබා
දිය හැකි ය. එහෙත් නිවැරැදි මඟ යනවා ද නැද්ද යන්න පිළිබඳ වගකීම ඇත්තේ තමන්ට ය. ඒ
වගේ ම තමන් කරන පාපයේ විපාකය ද තමන් ම විඳිය යුතු ය. තමන්ගේ මව්පියන් නිසා හෝ සහෝදර
සහෝදරියන් නිසා හෝ වෙනයම් සමීපත්වයක් නිසා හෝ ආදී ලෙස අනුන් වෙනුවෙන් පාපයක නියැළුණ
ද විපාකය තමන්ට ය.
හිංසාවට පීඩාවට අපි සියලු දෙනා අකැමැත්තෙමු. තමන්ගේ සැපය සතුට වෙනුවෙන් තවත් කෙනකුට
හිංසාවක් කරනවා නම් එය මනුෂ්‍යත්වයට නො ගැළපේ. අනුන්ට මානසික හිංසා පීඩා කරමින්
ඇතැම් කෙනෙක් කෲර සතුටක් ලබති. නිවසේ, අසල්වැසියන් අතර, ගමේ රටේ පමණක් නොව රැකියා
ස්ථානයේ පවා සිදුවන කායික මානසික හිංසන මොන තරම් ද? ඇතැම් විට කෙනකුගේ ජීවිත පවා
අහිමි වන තැනට මේ හිංසාවන් දුර දිග යනු අපි දැක ඇත්තෙමු. හිංසාව පිරි සමාජය සාමය කඩ
වූ තැනකි. ජීවත් වීම එපා කරවන තැනකි. සතා සිව්පාවට, ගහට කොළට සේ ම මිනිසුන් ලෙස
ඔවුනොවුන් කෙරෙහි කාරුණික වෙමු. එවිට මිහිඳු මාහිමියන් ගොඩනැඟූ අවිහිංසාව අගයන
සමාජය යළි පණ ලබනු ඇත. |