[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඔබට ඔබ හමුවී ද?

අල්පමාත්‍ර සැපය නිසා විඳින අප්‍රමාණ දුක් කන්ද:

ඔබට ඔබ හමුවී ද?

මවුපියන්ගේ නොමද ආදරය, සෙනෙහස මැද හැදී වැඩුණ, පවතින සමාජය තුළ ජීවත්වන තවත් එක චරිතයකි ඔබ. දන්නව ද ඔබ කොයිතරම් වාසනාවන්ත ද කියල. සමහරවිට ඔබට හරියට ම ඒ ගැන වැටහීමක් නැතිව ඇති.

ටිකක් හිතල බලන්න. ඔබ, ඔබ ගැන ම සිතමින් සතුටු වන මේ මොහොතේ ඔබ වගේම ජීවිතය වින්ද කීදෙනෙක් නිරයේ ඉපදීමෙන් කොයිතරම් වද වේදනා විඳිනවා ඇත් ද? ඔබේ ඇසින් පුංචි කඳුළක් ගිලිහෙද්දී ඒ කඳුළ පිසලන්න කී දෙනෙක් නම් ඔබ වටා සිටිනවා ද? එහෙත් නිරයෙහි ඉපිද අතොරක් නැතිව දුක් වේදනා විඳින ඒ නිරිසතුන්ගේ දුක් කඳුළු පිසින්නේ කවුද? සමහරවිට මීට ඉහත ආත්මයේ ඔබේ ම මව, ඔබේ ම සහෝදරයා, සහෝදරිය එහෙම නැතිනම් ඔබේම දරුවා, ස්වාමියා, බිරිය ඒ නිරිසතුන් අතර උහුලා ගන්නට බැරි වේදනාවෙන් විලාප තබනවා ඇති. ඒත් ඔබ ඒ ගැන මොනව ද දන්නේ, ඔබ දන්නේ මේ ජීවිතය ගැන විතරයි නේද? බැරිවෙලාවත් ඔබත් නිරයෙහි උපන්නා නම්....

ඒ වගේම මේ මොහොතේ තව කීදෙනෙක් ප්‍රේත ලෝකයෙහි ඉපදී ඇත් ද? සා පිපාසාව නිවා ගන්නට සෙම් සොටුවත් සොයාගත නොහැකි ව, අසරණ ව දුක් විඳින ප්‍රේත සත්ත්වයන් ගැන කොතෙකුත් ඔබ අසා ඇති. සංසාරයේ කරපු පිනකට ඒ දුකෙනුත් ඔබ බේරුණා. තිරිසන් ලෝකයෙහි වෙසෙන තිරිසන් සතුන් විඳින දුක ඔබට ඔබේ ඇස් දෙකෙන් ම බලාගන්න පුළුවන්. මේ ලෝකවල වෙසෙන සියලුම සත්ත්වයන්ට උරුම දුක නේ ද? ඒත් මොකක්දෝ අවාසනාවකට මේ සත්ත්වයන් ඒ ඒ තැන සතුටෙන් පිළිගන්නවා. ඉතින් කොහොම ද ඔවුන් මේ දුක දකින්නේ...?

මේ විදියට මේ සත්ත්වයන් උපත ලබන තවත් තැනක් තමයි අසුර ලෝකය. සුර ලෝකය කියන්නේ අකුසල උත්පත්තීන් සහිත තැනක්. ළාමක අකුසලයන්ගෙන් පිරුණ ඔවුන්ගේ සිත ද උතුම් ජීවිතාවබෝධය පිණිස සකස් වූ භවයක් නොවෙයි.

ඒ වගේම ඉතාමත් දීර්ඝායුෂ සහිත අසඤ්ඤ බ්‍රහ්ම ලෝකවල උපන් අය ද, ලෝකයේ සිදුවන කිසිවක් ම නොදැන අවාසනාවන්ත ලෙස ඔහේ කාලය ගෙවා චුත වී යනවා. මේ බ්‍රහ්ම ලෝකවල ඉපදීම පුණ්‍ය විපාකයක ප්‍රතිඵලයක්. නමුත්, අති දීර්ඝ කාලයක් ගතවීම හේතුකොට ගෙන ඔවුන්ට බොහෝ දෑ අහිමි ව යනවා. විශේෂයෙන් ම ඒ කාලය ඇතුළත බුදුවරු ලොව පහළ වී පිරිනිවී යනවා. එවිට ඒ සද්ධර්මයේ උණුසුම විඳින්නට තරම් ඔවුන් වාසනාවන්ත වෙන්නෙ නෑ.

ඒ වගේ ම අන්ධ පුද්ගලයෙක්, එහෙමත් නැත්නම් බිහිරි පුද්ගලයෙක් වුණොත් එයාටත් ඒ ජීවිතයෙන් උපරිම ඵල නෙළා ගන්න බෑ නේද? ඔවුන්ටත් සිද්ධ වෙන්නේ ඉපදුණා වගේ ම මිය යන්නයි. ඒ වගේ ම ඔබ දැක ඇති අංගවිකල පුද්ගලයන්. ඔවුන්ගේ ජීවිත ඔවුන්ට ම බරක් වෙලා වගේ නේද පේන්නේ. මන්දබුද්ධික පුද්ගලයන් දකින විට ඔබට මොහොතකටවත් හිතෙනව ද? අනේ මමත් මේ වගේ වුණා නම්’ කියලා..... නෑ නේද? ඔබ ඒ ගැන හිතන්නත් බය යි. ඒකනෙ නිරන්තරයෙන් ම ප්‍රාර්ථනා කරන්නෙ කුරා කුහුඹුවකුටවත් මෙවන් දුකක් නොවේවා කියල.

ඒත් ඔවුන්ට එහෙම වුණේ ඇයි කියල ඔබ මොහොතකටවත් සිතා බැලුවා ද?

ඒ ගෙවුණ සංසාරය පුරාවට ඔබ කොපමණ වාර ගණනක් මෙවන් ජීවිත ලබන්නට ඇත් ද? අද ඔබට ඒ කිසිවක් ම මතක නෑ. නමුත් ඔබ එදා විඳපු දුක් වේදනා අද ඔබේ මතකයේ රැඳී තිබේ නම් තවදුරටත් ඔබ සිහින ලෝකයන් තුළ අතරමං නොවනු ඇති. ඒත් අභාග්‍යයක මහත. ඒ සියල්ල දැන් මතකයෙන් ගිලිහී ගොසින්.

ඒත් වැදගත් දෙය එය නොවෙයි. අද ඔබට මිනිසත් බවයක් ලැබී තිබෙනවා. එය මොනතරම් දුර්ලභ වාසනාවක් ද? ඒ වගේම ඔබ ඉපදිලා තියෙන්නේ ධර්මද්වීපයක. ධර්මයේ උණුසුම පවතින යුගයක. ඔබට දැන් පිරිසුදු ධර්මය ඇසෙනවා. ඔබ මන්දබුද්ධිකයකු නොවෙයි. ඉතින් ඔබේ නුවණ මෙහෙයවිය යුතු ආකාරය වටහා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

කල්ප ගණනක් අවිද්‍යාවෙන් වැසී තණ්හාවෙන් බැටකමින් ජීවත් වූ ජීවිතයට විරාමය තබන්නට සුදුසුම කාලයයි මේ. දුලබව ලද මිනිසත් භවය විඳවීම නොව විදීමයි කළ යුතු ව ඇත්තේ.

නමුත් මොනම ක්‍රමයකට හෝ ඔබෙන් මේ අවස්ථාව ගිලිහී ගියොත් නම් හිතාගන්නවත් බැරි අන්ධකාරයකමයි ඔබ ඇදවැටෙන්නේ. එහෙම වුණොත් ඔබට නැවතත් මහ ගෙදරට (නිරයට) යන්න සිද්ධ වෙයි. කල්ප ගණනක් නිරයෙහි පැසෙමින් දුක් විඳින්නට වේවි. ප්‍රේත ලෝකය ඔබ එනතුරු බලා හිඳීවි. තිරිසන් ලෝකය තුළත් ඔබේ සිත බැස ගනීවි. ඔය අතරතුර අතරින්පතර මනුෂ්‍ය ලෝකවලත් ඉපදේවි. දිව්‍ය, බ්‍රහ්ම ජීවිතත් ඔබ ලබාවි. ඒත් මොකට ද සැප මාත්‍රයක් ලබන්නට අප්‍රමාණ වූ දුක්කන්දරාවක් විඳින්නේ?

ඊට වඩා සදාකාලික වූ පරම නිර්මල සැපයක්, සතුටක් තිබෙන තැනකට අමාරුවෙන් හරි ළඟා වුණොත් ඒ සතුට අයිති වෙන්නේ ඔබට නේද? ලෝකයේ බුද්ධිමත් ම පුද්ගලයන් පමණක් දුටු ඒ සොඳුරු ගමනට එක්වන්නට ඔබට ආරාධනා කරන්නම්.

මේ ලෝකයෙහි විවිධාකාර පුද්ගල කොට්ඨාසයන් ජීවත් වන බව ඔබ දන්නවා. සමහරුන් මෙයට හේතුව සමාජ විෂමතාව, ආර්ථික විෂමතාව ලෙසින් හඳුන්වයි. සම්පත් නිවැරැදි ව බෙදී නො යෑමේ ප්‍රතිඵලයකැයි කෙනෙක් තර්ක කරයි. කුමන ආකාරයකට නිර්වචනය කළත් සමාජ ස්ථරයන් කිහිපයක් තිබෙන බව නම් පැහැදිලියි. එසේ වන්නේ ඇයි?

මේ හැම දෙයකට ම හේතුව ඔබම බව මොහොතකටවත් ඔබ හිතුවා ද?

මේ සමාජයෙහි අන්ත දුගී දුප්පත් මිනිසුන් ජීවත් වෙනවා. ඔවුන්ට ආහාර, ඇඳුම් පැළඳුම් ආදී අත්‍යවශ්‍ය දේ ලැබෙන්නේ ද අල්ප වශයෙන්. ඔවුන්ට හරිහමන් රැකියාවක් පවා ලැබෙන්නේ නෑ. ඔවුහු දුර්වර්ණ වූ, දුර්වල අඟපසඟක් සහිත බොහෝ ලෙඩ රෝගවලට ගොදුරු වූ පුද්ගලයන් වශයෙන් තමයි ජීවත් වෙන්නේ. සමහරවිට පරිපූර්ණ මිනිස් කයක්වත් ලැබෙන්නේ නෑ. සැප පහසු විහරණය ඔවුන්ට සිහිනයක්. ඒ වගේ ම ඔවුන් සිතින්, කයින්, වචනයෙන් අප්‍රමාණ වූ අකුසල් රැස් කරනවා. එසේ කොට මරණින් මතු ඊටත් වඩා දුක් සහිත නිරයෙහි උපදිනවා. අඳුරට යන පුද්ගලයාගේ ස්වභාවයයි ඒ.

ඔහු උපන්නේත් බොහෝ දුක් දරාගෙන. ඔහු මිය යන්නේත් බොහෝ දුක් විඳින්නට හේතු සකස් කර ගෙන.

එසේම පෙර සේ ම බොහෝ දුක් සහිත ව උපන් කෙනකු කයින්, වචනයෙන් සහ මනසින් කුසල් රැස් කරන්නේ නම්, ඔහු අඳුරෙන් ආලෝකයට යන පුද්ගලයෙකි. ඔහුට මරණින් මතු උරුම වන්නේ සුගතිය යි. ඔහු මහපොළොවෙන් පලසටත්, පලසින් අසු පිටටත්, අසු පිටින් ඇතු පිටටත්, ඇතු පිටින් මහා ප්‍රාසාදයටත් නගින පුද්ගලයකු බඳු යැයි ධර්මයේ සඳහන් වේ. ඒ ඔහු අනුක්‍රමයෙන් දුක දුරුකරමින් සැප ළඟා කර ගන්නා බැවිනි.

එමෙන් ම සමහර නුවණ මද පුද්ගලයෝ ආලෝකයේ සිට අඳුරට ගමන් කරති. ඒ කෙසේද යත්, යම් පුද්ගලයෙක් මහත් වූ ධනයකට හිමිකම් කියන, භවභෝග සම්පතින් ආඪ්‍ය වූ සාරවත් කුලයක උපත ලබයි. හේ දුටුවන් සිත් ඇදබැඳ ගන්නා වූ මනා රූ සපුවකට ද හිමිකම් කියයි. ඔහු අවශ්‍ය සියලු සැපපහසුකම් පහසුවෙන් ම ළඟා කර ගන්නේ ද වෙයි. එහෙත් ඔහු කයෙන්, වචනයෙන් සහ මනසින් රැස් කරගන්නේ අකුසල් ම ය. ඒ හේතුවෙන් ම මරණින් මතු බොහෝ දුක් සහිත දුගතිය ම හිමි කර ගනී.

තවත් කෙනකු මහත් ධනයක් සහිත උසස් කුලයක ඉපිද සියලු දෙනාගේ ම නොමද ප්‍රසාදයට පැමිණ සුව සේ කල් යවයි. ඔහුගේ රූ සපුව ද ඉතා මනහර ය. කයෙන්, වචනයෙන් සහ මනසින් කුසල් රැස් කරයි. එවන් පුද්ගලයකු ඇසුරු කිරීමත් වාසනාවකැයි අන් අයට සිතෙයි. ඔහුගෙන් මුළු මහත් සමාජයට ම සිදුවන්නේ යහපතකි. හේ ආලෝකයෙන් ආලෝකයටම යන පුද්ගලයෙකි. මේ පුද්ගලයා පලසින් පලසටත්, අසු පිටින් අසු පිටටත්, අසු පිටින් ඇතු පිටටත්, ඇතු පිටින් ප්‍රාසාදයටත් ගමන් කරන්නෙක් බඳු ය. මේ ලෝකය තුළ ජීවත් වන පුද්ගලයන් සිව් දෙනා ය.

මෙයින් බහුතරයක් වූ පිරිස් දුගී දුප්පත් ව ඉපිද අපමණ පව්කම් කොට මරණින් මතු දුගතිය ම උරුම කර ගනී. අඳුරෙහි උපන් ඔවුන් අඳුර ම උරුම කොට මිය යාම කෙ තරම් ශෝචනීය ද? මෙලෙසින් ශ්‍රද්ධාව නැති, පටු කල්පනා සහිත, නුවණ මද පුද්ගලයා අඳුරෙන් අඳුරට ම ඇදී යයි. තවත් පිරිසක් ආලෝකයෙහි ඉපිද එය හඳුනා නොගෙන බොහෝ පව්කම් කොට යළි අඳුරට ම හෙවත් දුකට ම ඇදී යයි.

අතළොස්සක් වූ පිරිසක් පමණක් සැදැහැ සිත පෙරටු කොට කළ වැරැදි නිවැරැදි කර ගනිමින් ඉදිරියට යති. ඒ අඳුරෙන් ආලෝකයට ගමන් කරන්නාවුන් ය.තවත් සුළු පිරිසක් යහපත් උත්පත්තියක් ලබා ත්‍රිවිධ සුචරිතයෙන් යුක්ත ව ජීවත් වී සුගතිය ම උරුම කොට ගෙන මිය යති. ඒ ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන්නෝ ය. සැබෑ ප්‍රඥාවන්තයෝ නම් මොවුන් ය.

මේ බුදුපියාණන් වහන්සේ, කොසොල් රජතුමා අරභයා දේශනා කරන ලද සුන්දර දේශනයක අනුසාරයකි. එකල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ය. ලෝකයෙහි පුද්ගල කොට්ඨාසයන් හතරක් ජීවත් වන බව උන්වහන්සේ මෙම දේශනය තුළින් මනාව පෙන්වා දී තිබේ.

ඉතින් ජීවිතය අඳුරු වෙනවා දකින්නට කැමැති වන්නේ කවුරුන් ද? එසේ නම් ආලෝකවත් වූ ජීවිතයක් ලබා ගැනීම උදෙසා ඔබගේ සිත හැසිරවීමට නිරතුරුව ම වගබලා ගන්න. සැප හෝ දුක හෝ රඳා පවතින්නේ ඔබ කරන ක්‍රියාව මත ය. ඔබේ ජීවිතය දුසිරිතයෙන් අඳුරු කර නොගෙන සුසිරිතෙන් ආලෝකවත් කර ගන්න.

පොසොන් අව අටවක

ජුනි 28 සිකුරාදා අ.භා. 04.30
අව අටවක ලබා 29 සෙනසුරාදා
අ.භා. 02.23 ගෙවේ.
28 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]