[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

හෙළ සංස්කෘතිය රැක ගන්නට නම් ...

හෙළ සංස්කෘතිය රැක ගන්නට නම් ...

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩම කිරීමෙන් පාරිශුද්ධත්වයට පත්වූ ශ්‍රී ලංකා ද්වීපයේ සුනිසි ලෙස බුදුදහම ස්ථාපනය වූයේ අනුබුදු යන උප පදයෙන් වෙසෙසන මිහිඳු මහරහතන් වහන්සේ වැඩම වීමත් සමඟ ය.

අප රටට බුදුදහම ආකස්මිකව ලැබුණු දෙයක් නොව, අශෝක රජතුමා හා දේවානම්පියතිස්ස රජතුමා අතර පැවැති රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවක ප්‍රතිඵලයකි.

මිථ්‍යාවාදින්ට හා ආක්‍රමණිකයන්ට යට වී බුදුදහම ඉන්දීය ජන සමාජයෙන් ඈත් වුවත් අප රට අදටත් ථේරවාද බුදුදහමේ කේන්ද්‍රස්ථානය බවට ලෝක සම්මත ව පවතියි. එනිසා සිරිලක යම් කාලයක අස්ථාවරයක්, බිඳවැටීමක් සිදුවූවා නම් ඒ සෑම අවස්ථාවක දී ම රජදරුවන් බුදුදහමින් ඈත්ව මිථ්‍යාවාදයන්ට අනුගත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පැවැති වග ඉතිහාසය අධ්‍යයනයේ දි පසක් වෙයි.

ලාංකේය බුදුදහම, ථෙරවාද බුදුදහම, ථේරීය සම්ප්‍රදාය, මහා විහාර සම්ප්‍රදාය, දකුණ බුදුසමය ආදි වශයෙන් හැඳින්වේ. බුදුදහමේ පරමාර්ථය නිර්වාණාවබෝධයයි. ඊට අවශ්‍ය ධර්ම මාර්ගය අන්තර්ගත වන බැවින් අප රටේ පවත්නා බුදුදහම නිර්මල ථෙරවාද බුදුදහම වශයෙන් හැඳින්වේ.

මහායාන සම්ප්‍රදායන්හි දාර්ශනික අගය පැවැතුණත් නිවන් මඟ එහි නැත. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැත. එහෙත් ඇතැමුන් පවසන ආකාරයට හෙට අනිද්දා අපට නිවන් දැකිය නොහැකි ය. ඒ බව පසක් වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් ම ධර්මය අවබෝධ කිරීමෙන් මිස වෙනත් විවිධ දෘෂ්ටි කෝණවලින් බැලීමෙන් නොවන බව අවධාරණය කර ගත යුතු ය. බෞද්ධ විඥානයෙන් ම බෞද්ධ දර්ශනය හැදෑරිය යුතුයි.

මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ද්වීපයට වැඩම කිරීමත් සමඟ ම අපේ රටේ රාජ්‍ය ආගම බුදුදහම බවට පත්විය. එහිලා තමන්ට බුද්ධාඥාවට අනුකූල ව වාසය කිරීමට හැකි වන අයුරින් නගරය ද ඇතුළත් කොට සීමාබන්ධන කරන ලෙස දේවානම්පියතිස්ස රජු උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේ ය. එදා සිට අද දක්වා ම ලංකාවේ රාජ්‍ය ආගම අනිකක් නොව ථේරවාදි බුදුදහම ම වේ.

මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන විට ලංකාවේ දියුණූු ඉතිහාසයක් ද නොතිබුණූ බවට සාක්ෂි තිබේ. උන්වහන්සේ වැඩම නොකරන්නට අප රටේ ජනතාව තුළ ආධ්‍යාත්මික සහ භෞතික සංවර්ධනයක් දැක්වෙන්නේ නැත. සාගරය පරයන මහා වාරි සංස්කෘතියක් ඇතිවීම, ඉහළ තාක්ෂණික දැනුමකින් යුත් නිර්මාණ බිහිවීම, තාක්ෂණුයෙන් ඉහළ ගෘහ කර්මාන්ත දියුණුවීම, විවිධ කලා ශිල්ප බිහිවීම සහ ක්‍රමවත් අධ්‍යාපන රටාවක් අප රටට හිමිවීම ඇතුළු බොහෝ දෑ අපට හිමිවූයේ මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ නිසා ය.

මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීම පිළිබඳ ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ මහතා මෙසේ අදහස් දක්වයි.

“අභිෂේකයෙන් දොළොස් වන වසරෙහි නිකුත් කළ බව නිශ්චිත ලෙස තීරණය කිරීමට සාක්ෂි ඇති ගිරිලිපියෙහි තාම්‍රපර්ණිය දක්වා වූ චෝළ පාණ්ඩ්‍ය, සත්‍යපුත්‍ර, කෙරළපුත්‍ර ප්‍රත්‍යන්ත දේශ සඳහන් වේ. මෙහි තාම්‍රපර්ණී යනුවෙන් නම් කෙරුනේ ශ්‍රී ලංකාව මිස එම නමින් දක්ෂීණ භාරතයෙහි වූ නදිය නොවන බව නිසැක ය. එම නදියෙහි දකුණට ද චෝළ දේශය පැවැති බැවිනි. දකුණුකරයෙහි වූ සීමාව ලෙස ශ්‍රී ලංකාද්වීපය අභේදෝපචාරයෙන් වටහා ගත හැකි ලෙස මේ ශිලා ලිපි වාක්‍යය ගලපා ඇත්තේ මේ ලිපියෙහි සඳහන් වන්නේ අශෝක අධිරාජයාණන් පත්‍ර්‍යන්ත දේශයන්හි ශුභසිද්ධිය සඳහා කරන ලද අනුග්‍රහය මිනිසුන්ට මෙන් ම සතුනට වෙදහෙදකම් සලසා පැළෑටි, අල, පලතුරු දෑ ගෙනවුත් රෝපණය කරවා ලූ බවත්, මංමාවත් අසල මිනිසුන්ගේ හා සතුන්ගේ ප්‍රයෝජනය සඳහා ළිං හාරා ගස් වැවූ බවත් දැක්වේ.

XIII  ගිරි ලිපියෙහි දැක්වෙන දූතයන් ලවා අශෝකධර්මය වගා කරලීමට ගත් පරිශ්‍රමයක්, ෂ ෂ ගිරි ලිපියෙහි දැක්වෙන ශුභසාධක කාර්යයන් එකම කලක කරන්නට ඇති බවත් පැහැදිලි ය. එනම්, මහින්දාගමනයට වසර හතකට පමණ පෙරාතුව ය. ධර්මාශෝක රජුත්, ශ්‍රී ලාංකික රජුත් අතර සම්බන්ධතාවක් තිබිණි. එකල ලක්දිවැ රජ වූයේ මුටසීව රජු ය. මුටසීව රජු කල තිබුණු සම්බන්ධය ගැන පාලි පොතපතෙන් ද සාධක කිහිපයක් ඇත. තෙවැනි සංගායනාව අවසන් වු වහා ම බුදුසමය ස්ථිරසාර සංගායනාව අවසන් වූ වහාම බුදුසමය ස්ථිරසාර පදනමකට පිහිටුවීමේ අපේක්ෂාවෙන් මොග්ගලීපුත්ත තිස්ස මහ තෙරණුවෝ භික්ෂූන් පස් නම බැගින් සමන්විත ධර්මදූත පිරිස් නවයක් දඹදිව මෙන් ම ඒ අවට රටවලට යැවීමට කටයුතු කළහ. ඉන් ශ්‍රී ලංකාවට එවන්නට තීරණය කෙරුණේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වූ පිරිස ය. එහෙත් ඒ හිමියෝ ඒ ගමන මාස කිහිපයකින් ප්‍රමාද කළහ. ඊට හේතුව ලෙස කියැවෙන්නේ මහලු මුටසීව රජු කල වැඩම කරනු වෙනුවට ඔහුගේ අභාවයෙන්, දෙවනපෑතිස් රජ වුණු කල්හි ඒම වඩා ප්‍රයෝජනවත් ලෙස සැලකීම ය. එබඳු තීරණයකට එළඹිය හැකි වූයේ දෙරට අතර මනා සම්බන්ධතාවක් තිබුණූ බැවිනි.

මෙම කරුණූ අනුව පැහැදිලි වන කාරණාව නම් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීම පවා අහඹු සිදුවීමක් නොවන බවත්, එය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවක් බවත් ය.

ඒ කෙසේ වෙතත් මේ වන විට ලංකාවෙන් බුදුදහම අතුරුදන් කිරීමට විවිධාකාර කූට උපක්‍රම ක්‍රියාත්මක වේ. පුරාවස්තු විනාශ කිරීම, අපේ පූජා භූමි අල්ලා ගැනීම, නිධන් කැඩීම, පුරාවිද්‍යාත්මක ස්ථාන යැයි කියමින් මිථ්‍යා ස්ථාන ප්‍රකට කිරීම හා කෞතුක වස්තු ලෙස ව්‍යාජ කෞතුක වස්තු නිෂ්පාදනය කිරීම, බුදුන් උපන් දේශය ලංකාව යැයි ප්‍රචාරය කිරීම, මිහිඳු හිමියන්ට චෝදනා කිරීම, බුදුරජාණන් වහන්සේට අපහාස කිරීම, සර්වාගමික මිථ්‍යාව බල ගැන්වීම, ත්‍රිපිටක ධර්මය විකෘති කිරීම, බුදුවුණා, සෝවාන් වුණා ආදි වශයෙන් ලෝකෝත්තර බෞද්ධ සංකල්ප හෑල්ලුවට ලක්කිරීම ආදී වශයෙන් පෙන්වා දිය හැකි ය.

මේ තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම බුදුදහමෙන් පෝෂණය වූ හෙළ සංස්කෘතියේ අභිමානය අනාගතයට රැගෙන යෑමකි.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

පොසොන් අව අටවක

ජුනි 28 සිකුරාදා අ.භා. 04.30
අව අටවක ලබා 29 සෙනසුරාදා
අ.භා. 02.23 ගෙවේ.
28 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]