පොසොන් පොහොය හා බැඳුණු ඉතිහාසය
කේ.මහතුන් ගමගේ
ලංකා ඉතිහාසයේ සිදු වූ වැදගත් සහ වටිනාම ආගමික සිදුවීම වන්නේ මිහිඳු හිමියන්ගේ
ලංකාගමනය යි. මිහිඳු හිමියන්ගේ පැමිණීමත් සමඟ ම බුදු සමයේ බලපෑමෙන් ලාංකීය ජන
ජීවිතය නව මඟකට අවතීර්ණ වූ අතර ම සිංහල සංස්කෘතියේ (හැදියාවේ) සෑම අංගයක් ම
විවිධාකාරයෙන් පෝෂණය වූ අයුරු ඉතිහාසයෙන් පැහැදිලි වන්නේ ය.
වසරේ සෑම පොහෝ දිනයක් ම බෞද්ධයන්ට ආගමික වශයෙන් වැදගත් වන අතර ම පොසොන් පොහෝ දිනය
වෙසෙසින් ම අප රටට ආගමික මෙන් ම ජාතික වශයෙන් ද ඉතාමත් සුවිශේෂී වන්නේ ය.
සිංහල සංස්කෘතිය ප්‍රභාවත් ව නව මාවතකට සම්ප්‍රාප්ත වූයේ මිහිඳු හිමියන් එදා පොසොන්
පෝය දිනයේ දී අප රටට හඳුන්වා දුන් බුදු සමයේ පණිවිඩයෙනි. මිහිඳු හිමියන් අප දිවයිනට
වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය එකල අප රට ජනතාව අතර සම්මත ව පැවැතියේ
නැකැත් කෙළි දිනයක් වශයෙන් ය.
මහින්දාගමනය සිදු වූ කාල පරාසය තුළ අප රට රාජ්‍ය පාලකයා ව සිටි දෙවන පෑතිස්
(දේවානම් පියතිස්ස) රජ තෙමේ සිය පිරිසත් සමඟ අනුරාධපුරයට නුදුරු ව පිහිටි අම්බස්තල
වනයට (පසුව මිහින්තලය) මුව දඩයම් සඳහා ඇතුල් වූ පුවත ලංකා ඉතිහාස කතාවේ සඳහන් වේ.
දඩ කෙළියේ දී මුවෙක් පසු පස හඹා ගිය රජතුමා සිය පිරිවර සේනාව මඟ හැරී වනයෙහි අතරමං
වූ අවස්ථාවේ දී “තිස්ස...... තිස්ස..... නතර වන්න......” ආදී වශයෙන් තමාගේ නම කියා
කෙනෙක් තමාට අමතනු ඇසී අවට සෝදිසි කිරීමේ දී රජතුමාට ගල් තලාවක් මුදුනේ වැඩ සිටින
මිහිඳු හිමියන් දක්නට ලැබුණ බවත්, මිහිඳු හිමියෝ තමන්ගේ ආගමනය පිළිබඳ ව ගාථාවක්
මඟින් රජතුමාට හැඳින්වීමක් කළ බව ද එම ඉතිහාස කතාවේ සඳහන් වන්නේ ය.
“සමණා මයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තමෙව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා....”
මහරජ, අපි ධර්ම රාජයාණන් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි
අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු.
අවසානයේ දී තමන් දේශනා කරන ධර්මය පැහැදිලි ව අවබෝධ කර ගැනීමට රජතුමා ඥානවන්තයෙක්
වන්නේ දැයි විමසීමට සිතූ මිහිඳු හිමියෝ ඒ සඳහා තෝරා ගත්තේ අම්බස්තලයේ වැඩුන අඹ
ගසකි. අඹ ගස විෂයය කොට මිහිඳු හිමියෝ රජතුමාගෙන් ප්‍රශ්න විචාළෝ ය.
ගසේ නම, තවත් එවැනි ගස් ඇත්ද?, ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේද?, ඒ ගසුත් හැර පෙනෙන
අනෙක් ගස් හැර තවත් ගස් තිබේද? යනු එම ප්‍රශ්න සතර ය. දෙවනවරට මිහිඳු හිමියෝ
රජතුමාගෙන් විමසා සිටියේ ඒ අයුරු රජතුමාගේ ඥාතීන් පිළිබඳ තොරතුරු ය. ඒ සියල්ලට ම
දෙවනපෑතිස් රජතුමාගේ පිළිතුරු නිවැරැදි වූ බැවින් රජතුමා ඥානවන්තයෙක් බව මිහිඳු
හිමියෝ අවබෝධ කර ගත්හ.
අතීත සිද්ධියෙහි අඹ පැනය තේමා කොට ගෙන ගෞතම බුදුන් වහන්සේ ගේ කාලයේ දී ප්‍රසිද්ධියට
පත්වූ අඹ ගස් සහ අඹ උයන් ගැන මේ පොසොන් පොහොය සමයේ දී සොයා බැලීම ඉතා සුදුසු යයි
සිතමි.
මහා අභිනිෂ්ක්‍රමණය කළ සිදුහත් බෝසත්තුමා අනෝමා ගංතෙරට පැමිණ පැවිදි වී අනෝමා ගඟ
අසබඩ පිහිටි අනුපිය නම් වූ අඹ වනයෙහි විවේකී සුවයෙන් කල් ගෙවා පසුව තිස් යොදුන් මඟ
ගෙවා රජගහනුවරට පිවිසියේ ය.
දේවදත්ත හාමුදුරුවෝ කෝපයෙන් බුදුන් වහන්සේට ගල් පෙරලූ ගිජුකුළු පර්වතය අසල රාජ
වෛද්‍යවරයාගේ ජීවක අඹ වනය පිහිටා තිබුණේ ය.
එක් වස් සමයක පාටලී ග්‍රාමයෙන් නික්මුණ බුදුන් වහන්සේ විශාලා මහනුවරට වැඩිය
අවස්ථාවේ දී ටික කලක් වැඩ විසුවේ අම්බපාලි නම් වූ තැනැත්තියගේ අඹ උයනේ ය.
බුදුපාමොක් මහ සඟනට දන් පැන් පිරි නැමූ අම්බපාලී තමන්ගේ අඹ උයන බුදුන් වහන්සේට පූජා
කළා ය. පසු කලෙක ඇය පැවිදිවි රහත් වූවා ය.
ගෞතම බුදුන් වහන්සේ එක් සමයක සැවැත්නුවර එක් ස්ථානයක වැවී තිබුණ එක් අඹ ගසක් අසල දී
ප්‍රාතිහාර්යයන් සිදු කළ බව දැනගත් තීර්ථකයෝ සැවැත්නුවර දක්නට ලැබුණ සියලු ම අඹ ගස්
විනාශ කළ පුවත විද්‍යා චක්‍රවර්තීන් රචනා කළ බුත්සරණ ග්‍රන්ථයේ සඳහන් ව ඇත්තේ ය.
එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින බව දැනගත් කොසඹෑ
නුවර ඝෝෂිත, කුක්කුට සහ පාවාරික යන ධනවත් සිටුවරුන් බුදුන් වහන්සේට කොසඹෑ නුවරට
වඩින ලෙස ආරාධනා කොට දන් පිළිගන්වා ඝෝෂිත සිටුවරයා ඝෝෂිතාරාම විහාරය ද, කුක්කුට
සිටුවරයා කුක්කුටාරාම විහාරය ද පාවාරික සිටුවරයා පාවාරික අඹ වනය ද බුදුන් වහන්සේට
පූජා කළ බව සඳහන් ය.
බුදුන් වහන්සේ අවසන් වරට විශාලා මහනුවර කූඨාගාර ශාලාවෙන් පිටත්ව භණ්ඩ ග්‍රාමයට
වැඩමවා එහි රැස්වූ පිරිසට (භික්ෂු) ශීල, සමාධි, ප්‍රඥාවන්හි අනුසස් වදාරා හත්ථ
ග්‍රාමයට වැඩමවා එතැන් සිට අම්බ ග්‍රාමය සහ ජම්බු ග්‍රාමය පසුකොට භෝග නගරයට
පිවිසුනාහ. භෝග නගරයෙන් පිටත්වූ උන්වහන්සේ පාවා නුවරට වැඩමවා චුන්දකර්මාර
පුත්‍රයාගේ අඹ උයනේ වැඩ සිටි සේක. බුදුන් වහන්සේට අවසන් දානය පිරි නැමුයේ චුන්ද
කර්මාර පුත්‍රයා ය.
අඹ යන සිංහල වචනය පාලි භාෂාවේ ‘අම්බ යන වචනයෙන් බිඳී ආ වචනයක් බව පොත්වල විස්තර වන
නිසා ඉහත සඳහන් ‘අම්බග්‍රාමය’ අඹගස් සහිත ගමක් ලෙස විශ්වාස කළ හැකි ය.
පිරිනිවන් පෑමට පෙර අවසාන වශයෙන් බුදුන් වහන්සේ කුකුත්ථා නදියට වැඩමවා ස්නානය කර
පැන් වළඳා නදිය අසල වූ අඹ වනයට වැඩිය බව ගෞතම බුද්ධ චරිතයේ විස්තර වන්නේ ය.
මේ අයුරු විමසා බැලීමේ දී ගෞතම බුදුන් සමයෙහි උන්වහන්සේ ගේ ජීවන චරිතය සමඟ බැඳුන අඹ
ගස් සහ අඹ උයන් පිළිබඳ තොරතුරු රාශියක් ම බෞද්ධ ඉතිහාසයේ සඳහන් ව ඇත්තේ ය. |