[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සාමාන්‍ය ජනයාගේ සම්භාවනාවට හේතු වූ ගුණ සමුදාය

සාමාන්‍ය ජනයාගේ සම්භාවනාවට හේතු වූ ගුණ සමුදාය

චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් දස පාරමී ධර්ම සම්පූර්ණ කොට බුද්ධත්වයට පැමිණි අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී ගුණයක් හෝ අෂ්ට විද්‍යා පසළොස්චරණ ධර්මයක් හෝ දශබල චතුර් වෛශාරද්‍යාදී අපරිමිත ගුණ සමූහයක් හෝ අබෞද්ධයන් දන්නේ නැත. කීවත් පිළිගන්නේවත්, වැටහෙන්නේවත් නැත. එහෙත් ඔවුන් පිළිගන්නා ගුණ සමුදායක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි කවදත් පවතියි.

ඔවුන් කියා ඇති ඒ බුදුගුණ බුදුරදුන් විසින් අගය කරන ලද ඒවා නොවන නමුත්, එබඳු ගුණ විශේෂයන් සාමාන්‍ය මහජනයා අතර එදා පමණක් නොව අද පවා සම්භාවනාවට හේතුවන කරුණු බව කිව යුතු ය.

බුද්ධ කාලයේ දී අබෞද්ධයන් විසින් එකහෙළා පිළිගත් ඒ ගුණ විශේෂ මොනවාදැයි සොයා බැලීමෙන් ලෝකයේ මානව සංස්කෘතිය පිළිබඳ වැදගත් පාඩමක් ඉගෙන ගත හැකි වනවා පමණක් නොව තත්කාලීන මානව සිතුම් පැතුම් පිළිබඳ අවබෝධයක් ද ලැබිය හැකි වන්නේ ය.

එදා බොහෝ අන්‍ය තීර්ථකයන් හා ශ්‍රමණ බ්‍රාහ්මණයන් බුදුරදුන්ගේ සිදුරු සොයමින් නොයෙක් අභූත චෝදනා හා අපවාදයන් නගා ඇති අතර, මධ්‍යස්ථ මතධාරී, ගුණගරුක සත්පුරුෂ බ්‍රාහ්මණාදීන් උන්වහන්සේගේ ඊනියා ගුණ නිසා ගරු බුහුමන් කර තිබෙන බව ද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන්නේ ය.

එක්තරා ප්‍රභූ බ්‍රාහ්මණයකු වූ සෝණදණ්ඩ බ්‍රාහ්මණයා සිය සග බමුණන් සමඟ බුදුගුණ කී ආකාරයෙන් එදා ඔවුන් බුදුරදුන් ගැන දැන සිටි ආකාරය පැහැදිලි කරවයි.

බුදුරජාණන් වහන්සේ චම්පා නගරයට වැඩමවා සිටි අවස්ථාවක එහි අධිපතියා වූ සෝණ දණ්ඩ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ දකින්නට යන්නට සූදානම් වෙද්දී සහායක බමුණන් ඔහු වළකමින් “ශ්‍රමණ ගෞතමයන් ඔබතුමා වෙත පැමිණෙනවා. මිස ඔබ එතුමන් වෙත යාම නුසුදුසුය, යි. කරුණු ගෙන හැරපාමින් කියා සිටි විට, සෝණදණ්ඩ බ්‍රාහ්මණයා විසින් තමා බුදුරජාණන් වහන්සේ වෙත යාමේ යුතුකම වශයෙන් ගෙන හැර දැක්වූ බුදුගුණ සැකවින් මෙසේ ය.

1. සත් මුතු පරම්පරාවක පටන් ජාතිවාදයෙන් හෙලා දකිනු නොලැබූ යහපත් මව්පිය දෙපාර්ශ්වයකින් පැවත ඒම.

2. වැදගත් විශාල නෑ පිරිසක් හැර පැවිදි වූ කෙනෙකු වීම.

3. භූමිගත වූ ද, ආකාශගත වූ ද හිරණ්‍ය ස්වණ්‍යාදී මහත් ධනයක් අතහැර පැවිදි වූ කෙනෙකු වීම.

4.භද්‍ර යෞවන වයසේ දී ම ගිහිගෙදරින් නික්මීම.

5.මවුපියන් අකැමැත්තෙන් සිටිද්දීම, ඇඬූ කඳුලෙන් සිටිද්දීම ගිහිගේ හැර පැවිදිවී ම.

6. පරම රූප සම්පත්තියෙන් හා දර්ශන සම්පත්තියෙන් ද අභිරූපවත්වීම.

7. ආර්ය ශීලයෙන් සිල්වත් වීම.

8. අර්ථවත්, විශ්වසනීය, සත්‍ය, යහපත් වචන කතා කරන්නකු වීම.

9. බොහෝ දෙනෙකුගේ ආචාර්ය ප්‍රාචරයකුවීම. කාමාශාවන් නැති කළ කෙනෙකු වීම.

10 කර්මවාදී, ක්‍රියාවාදී කෙනකුවීම හා බ්‍රාහ්මණ ජනයාට පව් පෙරදැරි ව හැසිරෙන කෙනකු නොවීම.

11. උසස් වූ අසමිභින්න ක්ෂත්‍රිය කුලයකින් පැවත එන කෙනෙකු වීම.

12.මහත් සම්පත් ඇති ආඪ්‍ය කුලයකින් පැවත ඒම. නොයෙක් දෙනා ප්‍රශ්න අසා දැන ගැනීමට දුර රටවල සිට පැමිණෙනු ලබන කෙනෙකු වීම.

13. ලක්ෂ ගණන් දෙවි දේවතාවන් උන්වහන්සේ සරණයාම අරහාදී ගුණයන්ගෙන් සමන්විත යැයි පතළ කෙනෙකු වීම.

14. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වීම.

15. අරහාදී ගුණයන්ගෙන් සමන්විත යැයි පතළ කෙනෙකුවීම.

16. ඒහි සාගතවාදී, ශිෂ්ට පැවතුම් ගුණයන්ගෙන් යුත් කෙනකුවීම. සිවු පිරිස විසින් පූජිත සම්මානිත කෙනකුවීම. බොහෝ දෙවි මිනිසුන් මුන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න ව සිටීම, මුන් වහන්සේ වසන තැන සිටින අමනුෂ්‍යයන් මිනිසුන්ට හිංසා පීඩා නොකිරීම, බොහෝ ශ්‍රාවක පිරිසක් ඇති ගණාචාර්යකු ද ශ්‍රේෂ්ඨ ආගම් කර්තෘවරයකු ද වීම.

17. නොයෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සම්බුදු ගුණ කීර්තියකින් පතළ ව සිටිද්දී ඒ සියල්ලන්ට ම වඩා මුන් වහන්සේගේ ගුණ කීර්තිය පතළ ව තිබීම.

අඹු දරුවන් හා මැති ඇමැතිවරුන් සහිත ව බිම්බිසාර රජතුමා දිවි හිමියෙන් මුන් වහන්සේ සරණගොස් තිබීම.

එසේම කොසොල් රජතුමා ද, පොක්ඛරසාති බ්‍රාහ්මණයා ද මුන් වහන්සේ සරණ ගොස් තිබීම.

ඒ සියල්ලට ම වඩා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චම්පා නගරයට ආගන්තුකයෙකි. ආගන්තුක සත්කාරය අප විසින් කළ යුතු ය. එහෙයින් උන්වහන්සේ හමුවීමට ළඟට යා යුත්තේ අපය. මේ හැර තවත් අප්‍රමාණ ගුණ උන්වහන්සේ කෙරෙහි ඇත්තේ යැයි සෝණදණ්ඩ බ්‍රාහ්මණයා සිය සගයන් අමතා ප්‍රකාශ කළේ ය. ඒ අනුව ඔවුන් සියලු දෙනා ම බුදුරදුන් වෙත ගියෝ ය.

සිද්ධාර්ථ කුමාරයන් වශයෙන් කළ ආත්ම පරිත්‍යාගයත්, පාරම්පරික වැදගත්කමත්, ශිෂ්ට සම්පන්න ගතිගුණත්, ප්‍රසාදජනක රූපසම්පත්තියත්, කීර්තිමත්භාවය හා පරිවාර සම්පත්තියත්, අනගිභවනීය බලපරාක්‍රමයත් කලින්ම නොමසුරුව පිළිගෙන සිටි නොයෙක් බ්‍රාහ්මණයෝ බුදුරජාණන් වහන්සේ හමුවීමෙන් පසු උන්වහන්සේගේ ශීල, සමාධි, ප්‍රඥාදී ගුණ විශේෂයන් අසා බුදුදහම වැළඳ ගත්හ.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

පොසොන් පුර අටවක

ජුනි 13 බ්‍රහස්පතින්දා අ.භා. 09.37 පුර අටවක ලබා 15 සෙනසුරාදා පූ.භා. 00.06 ගෙවේ.
14 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]