පොසොන් පුර අටවක පෝ දා
2024-06-14
තමන්ට පිහිට තමා ම ය
ජීවන ගමනේ අනේකවිධ හැලහැප්පීම් මැද නිරන්තරයෙන් වෙනස් වන සිතිවිලි මිනිසා යහපතට සේ
ම අයහපතට යොමු කරවයි. කෙනෙක් සිතිවිලි පාලනය කර ගනිමින් කැප අකැප දේ, හොඳ නරක තෝරා
බේරා ගනිමින් විවිධ අවස්ථාවන්ට මුහුණ දෙති. ක්‍රියාකාරකම් සැලසුම් කර ගනිති. තවත්
කෙනෙක් කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නොමැති ව, පාලනයකින් තොරව එම සිතිවිලි
ක්‍රියාකාරකම් ලෙස, ආවේගශීලි ලෙස සමාජයට මුදා හරිති. අප සමාජයේ මුහුණ දෙන බොහෝ අර්ථ
අනර්ථ එහි ප්‍රතිඵලයන් ය.
මිනිසා යන නාමය ම උසස් මනසක් හිමිවීම යන අර්ථයෙන් ලැබී ඇත්තකි. උසස් මනසක් ලැබී ඇති
මිනිසාට ඕනෑම දෙයක් කරන්නට කියන්නට පෙර හොඳින් සිතා බැලිය හැකි ය. ඕනෑම දුක්ඛිත
තත්ත්වයක සිට වුව ඔහුට හෝ ඇයට හෝ සිතිවිලි පාලනය කර ගෙන ජීවිතයට මුහුණ දිය හැකි ය.
ඒ තුළ ඉවසීම වර්ධනය වේ. ලෝභය, ද්වේෂය ආදි අකුසල සිතිවිලි සමනය කර ගත හැකි වේ. අකුසල
සිතිවිලි, පාපී සිතිවිලි සමනය වු කල මේ ජීවිතය සේ ම පරලොව ජීවිතය ද සුවපත් වේ.
ජීවිතයේ ඕනෑම දුක්ඛිත තත්ත්වයක සිටින අයකුට වුව ද උදාහරණයට ගත හැකි එවැනි අවස්ථාවක්
ධම්මපදයේ කෝධ වග්ගයේ විස්තර වේ.
සච්චං භණෙන කුජ්ඣ්‍යෙය...........
එම ගාථා ධර්මයට අනුව ඇත්ත ම කතා කරන, එනම් සැබෑවක් ම කියන, නොකිපෙන, මද දෙයක් වුව ද
දෙන යනාදී තුන් කරුණු හේතු කොට ගෙන දෙව්ලොව ඉපදීම ලබන්නේ ය. මේ සම්බන්ධ කතා පුවත අප
කාටත් ආදර්ශයට ගත හැක්කකි.
සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩසිටි මුගලන් මහ රහතන් වහන්සේ කලින් කල දෙව්ලොවට වැඩම
කොට එහි විස්තර දැන මනුලොවට පැමිණ ඒවා විස්තර කරති. ඒ පුහුදුන් ජනයාට පිනෙහි,
කුසලයෙහි මහත් අනුසස් පෙන්වා දීමට ය. දිනක් උන්වහන්සේ එසේ දෙව්ලොව වැඩිය අවස්ථාවක
මහත් ඉසුරු පිරි දෙව්දුවකගෙන් විමසා වදාළේ ඉසුරින් බබළන දිව්‍ය විමානයක් ලබන්නට කළ
පින පිළිබඳ ව ය.
ඒ දෙව්දුව මිනිස් ලොව සිටිය දී කළ පින ඉතා සුළු හෙයින් කීමට ලජ්ජා වූවා ය. එහෙත් ඇය
පවසා සිටියේ තමන් මිනිස් ලොව ඉතා දුප්පත් ව ඉපිද මෙහෙකාරියක ව සිටියදී පවා කෝපය
මැඩ, ඉවසීමෙන් කටයුතු කළ බවයි. කිසි දිනෙක බොරු නො කී බව හා සැබෑවක් ම කී බවයි. පවට
ලජ්ජා වූ බවයි. උක්හේනක් බලා සිටින කල උක්දඬුවක් පිදීමෙන් ද, තියඹරා ගෙඩියක්
පිදීමෙන් ද, කැකිරි ගෙඩියක් පිදිමෙන් ද මේ දිව්‍ය සම්පත් ලැබූ බවයි.
බෞද්ධයා යනු පවෙහි ලජ්ජාශීලි වූවෙකි. බිය වූවෙකි. එහෙයින් ම හෙතෙම නිති පන්සිල්
රකියි. සිතින්, කයින්, වචනයෙන් සිදුවන අකුසලයෙන් වැලකී සිටියි. එවැනි පුද්ගලයෙක්
තමන්ට හෝ අනුන්ට හෝ අනර්ථකාරී වන්නේ නැත. බෞද්ධ සමාජයක එවැනි අකටයුතුකම් වනවා නම්
එහි සැබෑ බෞද්ධයන් වේ ද යන්න ගැටලුවකි.
කිසිවකුට කිසිවෙක් නිවැරැදි කළ නොහැකි ය. එය තමන් විසින් ම නුවණ මෙහෙයවා කළ
යුත්තකි. තථාගතයන් වහන්සේ ඒ සඳහා අපට අපූර්ව මාවතක් දේශනා කොට ඇත. ඒ මඟ දැන යාම
තමන්ගේ වගකීමකි. තමන් ගුණගරුක වූ කල එහි පලය ද, තමන් අයහපත් වූ කල එහි විපාකය ද
විඳිය යුතු තමන් ම යි. එහෙයින් තමන්ගේ පිහිට තමන් ම සලසා ගත යුතු ය. |