[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දෙලොව ම තැවෙන කර්ම විපාක

චුන්දසූකරික කතා වස්තුව:

දෙලොව ම තැවෙන කර්ම විපාක

ශාසන ඉතිහාසයට බද්ධ වූ චුන්ද නමින් ප්‍රසිද්ධ ගිහියෝ දෙදෙනෙක් වෙති. ඒ මේ කතාවේ කියැවෙන චුන්දසූකර, ඌරු වැද්දා හා බුදුරජාණන් වහන්සේට අන්තිම දානය පූජා කළ චුන්දකම්මාරපුත්‍ර (රන් කර්මාන්තකරු) යන දෙදෙනා ය.

මේ කතානායක චුන්දසූකර විසූයේ රජගහනුවර වේළුවනාරාමය ආසන්නයේ ම ය. මොහු ඌරු කොටුවක් පවත්වා ගෙන යමින් ඌරන් මරා විකුණමින් ඒ මස් නිතර අනුභව කරමින් ජීවත් වූවෙකි. අස්වනු පාළු වන නියං කාලවල දී වී, සහල් ආදිය ගැලක පටවාගෙන ඒ ඒ ප්‍රදේශවලට යන මොහු නැළිය දෙනැළිය පමණ වී හෝ සහල් හෝ දී ගම් ඌරු පැටවුන් ඒ ගැලෙහි ම පටවාගෙන විත් ගේ පිටිපස ගාල් කොට කෑම බීම දී පෝෂණය කරයි.

මෙසේ උන් කා බී වැඩුණු පසු මරා මස් කිරීම පිණිස කණුවක තද කොට බැඳ මස් තද කිරීම පිණිස හතරැස් මුගුරකින් ඔවුන්ට තළයි. ඒ ඌරන් මරහඬ දෙයි. පැය කීපයක් මෙසේ කොට මස් ඝන වූ පසු කට අරවා දඬු කඩක් හරස් කොට කකියන උණුදිය ඌරාගේ කටට වත් කරයි. එයින් කුසයෙහි වූ සියලු මල මූත්‍ර මල මඟින් නික්මෙයි. කිසිත් ඉතිරි නොවේ. පසුව කකියන උණු දිය ඇඟ පුරා වත්කොට කළුහම ගලවා දමා ගිනි හුලකින් ඉතිරි වූ ලොම් පුලුස්සා දමයි. අනතුරුව බෙල්ල කපා හිස වෙන්කොට ඉන් වැගිරෙන ලේ වළඳකට එකතුකොට මස් ටික කුඩා කැබලිවලට කපා විකුණා ඉතිරිවන මස් වළඳෙහි ඇති ලේ තවරා ගෙන අඹුදරුවන් වටකොට ගෙන කයි.

මොහු මෙලෙසින් පනස් පස් වසක් කල් ගෙවූහ. වේළුවනාරාමය අසල තිබියදීත්, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මාර්ගඵලලාභීන්, මහ භික්ෂුන් වහන්සේ එහි වැඩ සිටියදීත් කිසිදිනක මොහු මලක් පුදන්නට, බණක් අහන්නට නො ගියේ ය. බත් පිඬක් දන් නො දුන්නේ ය.

මෙසේ වූ චුන්දහට පසු කාලයෙහි සිරුරෙහි ඉවසිය නොහැකි වේදනා සහිත බලවත් රෝගයක් උපන. මැරෙන්නට කලින් ම අවීචිමහ නරකයෙහි වූ මහ ගිනි කදින් දැවී යන්නාක් සේ ඔහුට දැණින. එදා ඌරකුට හතරැස් මුගුරින් තළන විට ඌ නැගූ වේදනාකාරි හඬ සේ මොහුගේ ශරීරයේ ද වූ වේදනාවන් නිසා මොහු ද මරහඬ දෙන්නට විය.

ධර්මයේ සඳහන් වන පරිදි එකසිය තිස් හයක් වූ නිරයන් අනුකණ්ඩ ස්ථාන වශයෙන් බෙදා දක්වා ඇත්තේ යම් කෙනකු මෙලොව දී සිදුකරන ලද ඒ ඒ පාපකර්මවලට වෙන් වෙන් වශයෙන් විපාක දෙන ස්ථාන ලෙස ය.

සතුන් මරන්නා මෙයින් එක් තැනක උත්පත්තිය ලබයි. නුදුන් දේ ගන්නාට, කාමයෙහි වරදවා හැසිරෙන්නාට, බොරු කියන්නාට, කේලාම් කියන්නාට ආදි වශයෙන් විපාක ලැබෙන්නේ ඒ ඒ තැන්හි වෙන් වෙන්ව ය. අනෙක් විශේෂත්වය වනුයේ පුණ්‍ය විපාකවලට දෙව්ලොව ආයුෂ වැඩිවන්නා සේ පව්කළ තැනැත්තාට හිමි නරකයෙහි ද (මෙලොව මෙන් නොව ) දස දහස් ගුණයකින් ආයුෂ වැඩි ය. එනිසා ම ඒවායේ ආයුෂ වැඩි හෙයින් කුඩාවට කළ පවකට (දැන හෝ නොදැන) වුව ද ලැබෙන විපාකය, දිගු කලක් විඳීමට සිදු වේ. තවද මෙම එක්සිය සතිසක් නිරයේ කොපමණ කැපීම් කෙටීම් සහිත දුක් වින්දත් ඒ පාපකර්මය නො ගෙවේ ද?, ඒ තාක් මරණය සිදු නොවන්නේ ය.

මේවා අපේ පෘථග්ජන මසැසට හෝ මනසට නො දැකිය හැකි නිසා සමහරු ප්‍රලාප ලෙසින් සලකා ගණනකට නො ගෙන පව් කරති. ශ්‍රද්ධාවෙන් (ගුණ දැන පැහැදීමෙන්) තුණුරුවන් සරණ යන අපි සියල්ල දක්නා, සියල්ල දන්නා බුදුරජාණන් වහන්සේගේ මෙම බුද්ධ භාෂිත එලෙසින් ම අදහන්නෝ විය යුත්තෝ වන්නෙමු. (ම.නි. 3 සූත්‍ර අංක 129 බාල පණ්ඩිත සූත්‍රය කියවා බලන්න)

මෙසේ ඌරකු සේ කෑගසමින්, ගෙය පුරා එහා මෙහා යමින්, පෙර දොරට හා පසු දොරට දෙදණින් අනිමින් කල්ගෙවූ චුන්ද සූකරයා ගෙදර ඇත්තෝ එකතුව තද කොට අල්වා කට වසති. එහෙත් හඬ තැළීම කර්මානුරූප ව සිදුවුවක් හෙයින් හඬ නැගීම වළකාලන්නට ඔවුහු අසමර්ථ වූහ.

මෙසේ රෑ දවල් දෙකේ දෙදණින් ඇවිදිමින් ඌරු හඬ නඟන්නේ අවට ගෙවල්වල වැස්සෝ නෑයන්ට ඇණුම් බැණුම් කළහ. මෙනිසා නෑයෝ දොරවල් වසා ගෙයින් බැහැර ව සිටියෝ ය. චුන්දසූකර ඌරු වැද්දා මෙසේ අනේක දුක් වේදනා විඳිමින් සත්වන දින මියගොස් අවීචි මහනරකයෙහි උපන.

මේ දිනවල චුන්දසූකරගේ ගේ අසලින් වඩින භික්ෂූන් වහන්සේ ඔහුගේ මේ මරහඬ අසා මොහුගේ ගෙදර මඟුලක් ළං ව ඌරන් මරණවා යැයි සිතා බුදුරජාණන් වහන්සේට පවසන්නේ,

ස්වාමීනි, මෙසේ ඌරන් මරණ මොහුට කරුණාවක්, මෛත්‍රියක් නූපදීම මහා පුදුමයකි. මෙබඳු නපුරු මිනිසකු මෙයට කලින් අප දැක නැතැයි පැවසූහ.

මෙවිට බුදුරජාණන් වහන්සේ, මේ දවස්වල එහි ඌරන් මැරීමක් නැත. චුන්දසූකර මැරෙන්නට ළඟ ය. ඔහු මැරෙන්නට කලින් තමන් කළ පාප කර්මයන්ට අනුරූප වූ අවීචිමහ නරක දුක් විපාක ඔහු මෙහි දී ම විඳවන බව වදාළ සේක.

මහණෙනි, ඔබට ඇසුණේ ඒ හඬයි. මොහු මරණින් පසු අවීචිමහා නරකයෙහි උපදී යැයි වදාරමින් පහත සඳහන් ගාථාවෙන් ධර්ම දේශනා කළ සේක.

ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා යමෙක් පව්කම් කළේ නම්, ඔහු දෙලොව ම ශෝක කරන්නේ යැයි ද, එම ධර්ම දේශනාවෙන් වදාළ සේක. ඒ ධර්මය මහජනයාට වැඩ සහිත වූහ. බොහෝ දෙනා සේවාන් ඵලාදියට පැමිණියෝ ය.

“ඉධ සොචති පෙච්ච සොචති - පාපකාරී උභයත්ථ සොචති
සො සොචති සො විභඤ්ඤති - දිස්වා කම්ම කිලිට්ඨ මත්තනො”

පව් කරන්නා මෙලොව දි ශෝක කරයි. (මරණය සිදුවන කල්හි ඒවා සිහියට එයි) කළ පව් හි විපාක විඳීම් වශයෙන් පරලොවත් ශෝක කරයි. මෙසේ දෙලොව දී ම ශෝක කරයි. එනිසා ම වැනසෙයි. වඩාත් නැසෙයි. ඒ තමා කළ කිලිටි කර්ම හේතුවෙනි.

පොසොන් පුර අටවක

ජුනි 13 බ්‍රහස්පතින්දා අ.භා. 09.37 පුර අටවක ලබා 15 සෙනසුරාදා පූ.භා. 00.06 ගෙවේ.
14 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]