[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මසැසට පෙනෙන දෙය මනසින් දකිමු

මසැසට පෙනෙන දෙය මනසින් දකිමු

ත්‍රිලක්ෂණය, නැතිනම් තිලකුණ ගැන කතා කිරීමේ දී අපට ඒ සමගම මතක් වෙන්න ඕන අපගේ ශාස්තෘන් වහන්සේ යි. ඒ කුමක් නිසා ද? බුදු සමිඳුන් තමයි මේ යථාර්ථය අපට පෙන්වා දෙන්නේ. දකින්නට, අවබෝධ කර ගැනීමට මඟ පෙන්වන්නේ.

මේ ලෝකයේ කාල දෙකක් තියෙනවා. බුද්ධෝත්පාද කාලය සහ අබුද්ධෝත්පාද කාලය. බුද්ධ දේශනාව විවේචනය කරන අය හිතන්නෙ මේ ලෝකෙ නැති දෙයක් බුදුරදුන් ලොව පහළ වෙලා වදාළා කියලා. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මෙම ලෝකයේ ඇති සත්‍යය පෙන්වා දීමට. අපේ සිත් අවිද්‍යාව, තෘෂ්ණාව වැනි ස්වභාවයන්ගෙන් යුක්ත නිසා මේ තත්ත්වය පේන්නේ නැහැ. අවබෝධ වන්නේ නැහැ. නොපෙනෙන්නේ මසැසට නොවේ මනසට. මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ස්වභාවයන් අපි දකින්න ඕන, මස් ඇසින් නොවෙයි මනසින්.

හැම කල්හි ම නොපැවතීම

අනිත්‍ය හෙවත් අනිච්ච යනු නිත්‍ය නො වන, හැම කල්හි නො පවත්නා යනු එහි තේරුමයි. දැන් අපි බලමු නිත්‍ය නො වන්නේ, හැම කල්හි නොපවතින්නේ මොනවද කියලා.

මේ ලෝකයේ ජීවී අජීවී සියල්ල ම අනිච්ච ස්වභාවයෙන් යුක්තයි. වෙනස් වෙනවා. අපට මේ වෙනස්වීම පෙනෙන්නේ වසර ගණනකට පස්සේ. උදාහරණ ලෙස අපි වයසට යනවා. අපේ ඇඳුම් පැළඳුම් පරණ වෙනව, පුටු මේස, දොර ජනෙල්, වළං පිඟං වැනි සියල්ල පරණ වෙනවා. මේවා දෙස හොඳින් බලමු. කාලයක් ගිය පසු අපට වෙනස්වීම, පරණවීම, දිරීම පේනවා. මෙය කුමක ප්‍රතිඵලයක් ද, වෙනස්වීමේ ප්‍රතිපලයක්. කොහොමද මේ වෙනස්වීම සිද්ධ වෙන්නේ? ක්ෂණයක් පාසා යි. ක්ෂණය යනු තත්පරයෙනුත් ඉතාමත් කුඩා කාලයක්. එම ක්ෂණය නම් කාලය ඉතාම වේගවත්.

විදුලි පංකාවක තටු 03කි. විදුලිය ලබා දුන් විට රවුමක් ලෙසට පෙනේ. එය සත්‍යයක් ද? බොරුවකි. විදුලි වේගයේ ප්‍රතිඵලයක් ලෙස පෙනෙන දෙයකි.

ගිනි පෙනෙල්ලක් පුද්ගලයකු විසින් වේගයෙන් රවුමට කරකවන විට ගිනි වළල්ලක් ලෙස පෙනේ. ත්‍රිකෝණාකර ව කරකවන්නේ නම්, ත්‍රිකෝණයක් සේ පෙනේ. එය සැබෑවක් ද? බොරුවක් ද? වේගය නිසා නැති යමක් ඇති සැටියෙන් පෙන්වීමකි. දැන් ඔබට යමක් පැහැදිලි වේ ද? ඒ අයුරින් ‘මම’ යන නාම රූප දෙක ඇතුලු ලොව ඇති සියල්ලෙහි යථාර්ථය මෙසේ වන වග පැහැදිලි වන්නේ ද?

බොහෝ දෙනා ‘මම’ ලෙස ඉහළින් ම පිළිගන්නේ පුද්ගල රූපය යි. එමනිසා පුද්ගල රූපය වෙනස් වන අයුරු ප්‍රඥාවෙන් දකින්නටත් දැක අනවශ්‍ය, තදබල ඇලීම්, ගැටීම් ක්‍රමයෙන් ප්‍රහීණ කොට අතහැරීම යනු කුමක්දැයි අවබෝධ කර ගැනීමටත් වෙර දරමු.

වරදවා සිතීම

ඔබගේ ළදරු වයසේ සිට ගෙන ඇති ඡායාරූප කිහිපයක් ගන්න. මාස 03, අවු.02, 05, 15, 30, 45, 55 වශයෙන් ඔබගේ ඡායාරූප ගෙන එම පින්තූරවලින් කුමන පින්තූරයක ඔබ ඇත්තේ දැයි සොයන්න. ස්ථිර, සදාකාලික ‘මම’ යැයි පුද්ගලයකු ඇත් ද? එක එක වයස් කාණ්ඩවල විවිධ වෙනස්කම්වලින් ඉන්නේ ඔබ ද? තරුණ කාලයේ ලස්සනට තිබුණ රූපය ක්‍රමයෙන් සම රැලිවැටී, කෙස් ඉදී, ඇස් නො පෙනී, කන් නෑසී, දත් ගැලවී, කායිකව දුබල වන්නේ ඇයි? මේ තුළ ස්ථිර ‘මම’ ඉන්නවා දැයි සිතන්න. බලන්න.

නමුත් අපි ‘මම’ යැයි ස්ථිර පුද්ගලයකු ඇතැයි ගෙන අවිද්‍යාවන් වෙළී, තෘෂ්ණාවෙන් අන්ධ ව, මුළා වී ඇති අයුරු බලන්න.

මෙවැනි හේතූන් නිසා ‘දුක’ හටගනී. ‘මම’ සහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සියල්ල ම මේ අයුරින් ‘දුක’ ගෙන දෙන කාරණා නොවේ ද? එවිට අප එම සියල්ල ‘මම කැමති අයුරින් මට වුවමනා ආකාරයට පවත්වා ගැනීමට’ වෙර දරයි. උදා - ලෙස හිස පාට කිරීම, විවිධ ක්‍රම මඟින් සමෙහි තරුණ බව රැක ගැනීමට වෙර දැරීම ආදිය. නමුත් එලෙස දිගු කාලීන ව පවත්වා ගත හැකි ද? නොහැක. “තමා කැමති දේ තමා කැමති ආකාරයට පවත්වා ගැනීමට නොහැක. එම තත්ත්වය බුදුරදුන් ‘ආනාත්ම’ ලෙස හැඳින් වූ සේක.

මෙම ස්වභාවය, අප කැමැති අකැමැති, පි‍්‍රය අපි‍්‍රය, මිහිරි, අමිහිරි, හොඳ, නරක, ආදරය, වෛරය, පිළිකුල මෙම ජීවිතයට පමණක් නොව ඊළඟ ජීවිතවල දී පවා මගේ කර ගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට වෙර දරන සියල්ලෙහි ම ස්වභාවය බව වටහා ගත යුතු වේ.

මේ ලෝකය කුමන ආකාරයක දියුණු තත්ත්වයකට පත්ව, මිනිස් මනස මුළා කරන, කුමන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ බිහි වුණ ද ඒ සියල්ලෙහි යථා ස්වභාවය මෙය බව ද, ඒවා වරදවා නිත්‍යයි ස්ථිරයි, වෙනස් වෙන්නෙ නැහැ. සැපයි යනුවෙන් අප බලාපොරොත්තු වන සැපය , සහනය, සතුට, සැනසුම ඇත. මම කැමති ආකාරයට මගේ වසඟයේ පැවැත්විය හැක. ආදී වශයෙන් වරදවා ගැනීම නිසා නැවත ඉපදීමට හේතු සැකසීම, නැවත ඉපදීම තුළ සතර අපා දුක, වයසට යෑම, ලෙඩ වීම, මරණයට පත්වීම, පි‍්‍රය පුද්ගල වස්තූන්ගෙන් වෙන්වන්නට වීම, අපි‍්‍රය පුද්ගල වස්තූන් සමඟ එක්වන්නට වීම ආදී දුක්ඛයනට කෙළවරක් නොමැති ව මුහුණදීමට සිදුවීම අවබෝධ කොට ගත යුතු ය.

අවබෝධ කොට ගෙන මේවායින් මිදීමට අවශ්‍යය නම්, කැමතිනම් මෙම ත්‍රිලක්ෂණය අප තුළ සහ අපව මුළා කරන, අපට පීඩා පමුණුවන රූප, ශබ්ද ගන්ධාදිය තුළ තිබේ දැයි විමසමු.

මායාව

අනිත්‍යය - නිත්‍ය, ස්ථිර නොවන ස්වභාවය යි. උදාහරණ ලෙසස ‘මම’ ගනිමු. අප මේ සියල්ල කරන්නේ ‘මම’ කියන ස්ථිර පුද්ගල මනෝභාවය නිසා ය. ඒ නිසා ඔබ ඔබගේ වයස මාස 03 සිට අවු. 01, 05 , 10, 20 ආදී වශයෙන් මේ දක්වා පින්තූර කිහිපයක් ගෙන ඒවා තුළ සහ දැන් ඔබගේ ස්වභාවය ද සමඟ ඔබ ඉන්නේ ඔය පින්තූරවල කුමකදැයි බලන්න. ඔබ කියාවි මේ සියල්ලේ ම මම තමා, ටික ටික වයසට ගිහින්නේ කියලා. එතකොට ඒ වෙනස්වීම ගැන ඔබ මොකද කියන්නේ. ස්ථිර වශයෙන් ‘මම’ කියා පුද්ගලයෙක් වේ නම් එක එක වයසට තම රූපය එක එක ස්වභාවය වන්නේ කෙසේද? එපමණක් නොව එහි අවසාන කාලය වන විට තරුණ භව විනාශ වී කෙස් සුදු වී, හම රැළි වැටී, කායික මානසික ශක්තිය දුර්වල වී, සමස්ත, ශරීරය ම විරූපී වන්නේ කෙසේද? ඒ තුළ අපට ඒ ඒ මොහොතේ නො පෙනෙන, කාලයාගේ ඇවෑමෙන් පෙනෙන දෙය බුදු සමිඳුන් අනිත්‍ය ලෙස පෙන්වා වදාළ සේක.

එම වෙනස සිදුවන්නේ තත්පරයෙනුත් ඉතාමත් කුඩා කාලයක් වන සෑම ක්ෂණයක් ක්ෂණයක් පාසා ය. ක්ෂණය යන කාලය අප පියවි ඇසට නො පෙනේ. අප මසැස (මස් ඇස) එපමණ දියුණු නැති නිසා ය. එය මෙසේ වටහා ගැනීමට උත්සාහ දරමු.

දුක්ඛ - මේ දුක කියන වචනය නම් තේරුම් කරන්නට අවශ්‍ය නැති තරම්, හේතුව, අපි ඕන තරම් දුක් අත් විඳිනව ජීවිතේ. එයට හේතුව වරදවා ගැනීම යි. කුමක් වරදවා ගැනීම ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දේ නිත්‍ය, සුඛ, ආත්ම ලෙස වරදවා ගැනීම. අපි ස්ථිරත්වයක්, වෙනස් නොවීමක් බලාපොරොත්තු වෙනවා. නමුත් වෙනස් වෙනවා. ඒ කුමන ආකාරයෙන් ද? ලෙඩවීම, වයසට යාම, මරණය හා අව්ව වැස්ස, සුළි සුළං, නියඟය, වසංගතය සුනාමි වැනි ස්වභාවික දේ නිසත් දුක හටගන්නවා.

අනාත්ම - යනු රූප, ශබ්දාදීන් ‘තමා කැමති ආකාරයට තම වසගයේ පවත්වා ගැනීමට නො හැකි යි. උදාහරණ ලෙස තම ශරීරයේ හම රැළි වැටීම්, කෙස් සුදුවීම්, දුර්වලවීම් වැනි දේ වැළැක්වීමට අපි හැකිතාක් උත්සාහ ගනිමු. එහෙත් කිසිවිටෙක, කිසි දිනෙක කිසි අයුරකින් එසේ කළ නොහැක.

මේ ලෝකයේ මම ය, මාගේ ය, කියා යමක් ඇත්ද? එම තත්ත්වයට පත් කර ගැනීමට උත්සාහ දරන යමක් වෙත් ද ඒ සියල්ලෙහි ම ස්වභාවය මෙයයි.

එම නිසා අප මේ ස්වභාවය අවබෝධ කර ගත යුතුයි. කුමක් නිසා ද? එසේ නොවුණොත් නැවත නැවත ඉපිද ඉපිද මේ දුක් කන්දරාවට නැවත, නැවත මුහුණදීමට සිදුවන නිසා.

අනික හැම ජීවිතයක් ම මිනිස් ජීවිත පමණක් ද? නැත. දරුණු අකුසල් සිදු වුණොත් අපාය උත්පත්තිය නියත යි. අකුසල් ගෙවෙනතුරු ගැලවීමක් නැහැ. කවුද කැමති මේ වගේ දුක් විඳින්න? ප්‍රශ්නය තමා ගිය ජීවිතවල අපි විඳපු දුක් සහ නැවත ඉපදී විඳීමට ඇති දුක් අපට පේන්නෙ නැහැ. ඒ සඳහා ප්‍රඥාව අවශ්‍ය යි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ප්‍රඥාවන්තයාට පමණයි මේ දහම අවබෝධ කර ගත හැක්කේ. අනුවණයාට නොවේ කියලයි.

ඉතින් ඔබ බුද්ධිමත්ව මේ කරුණු දෙස නුවණින් බලා අවබෝධ කර ගැනීමට වෙර දැරිය යුතුයි.

පොසොන් පුර අටවක

ජුනි 13 බ්‍රහස්පතින්දා අ.භා. 09.37 පුර අටවක ලබා 15 සෙනසුරාදා පූ.භා. 00.06 ගෙවේ.
14 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]