[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මොහොතක කම්සැපයට ගිජු ව අහිමි කර ගන්නා අමිල සැපය

මොහොතක කම්සැපයට ගිජු ව අහිමි කර ගන්නා අමිල සැපය

සංසාර ගමන ඉතා දිගුයි. දුක් සහිත යි. සතර අපාය මහ ගෙදර කර ගෙන බොහෝ දෙනා සසර ගමනක් යයි. කලාතුරකින් කෙනෙක් මනුස්ස ලෝකයට එයි. ඊටත් කලාතුරකින් දෙවියන් අතරට යයි. ඊටත් කලාතුරකින් කෙනෙක් අරි අටඟි මඟ ගමන් කර දුක්ඛිත සසරින් එතෙරට යයි.

මේ මනුස්ස ලෝකයට පැමිණි අපි දවසින් දවස මිනිස් ආයුෂ ගෙවා දමමු. මොහොතින් මොහොත වියැකෙන්නේ කාලය යි. කුමන කාර්යයක් කරමින් සිටිය ද, කො තැනක නැවතී ගිමන් හැරිය ද, ආයුෂයට නැවතුමක් හෝ වෙහෙසක් හෝ කොයින් ද? අප සැමගේ ජීවිතය ද මේ රැල්ලට හසු වී ගසාගෙන යයි.

මවුකුසින් බිහිවන සිඟිත්තා ඒ අවදිය පසු කර ළදරුවියට යයි. ළදරුවිය පසුකර ළමාවියට ද, ළමාවිය පසුකර තරුණ වියට ද, තරුණ විය පසුකර මහලු වියට ද, මහලු විය පසුකර මරණය කරා ද යයි. ලොව පහළ වූ බුදු, පසේ බුදු මහරහත් උතුමන්ගේ පටන් සත්වයන්ගේ ඉරණම මෙයයි. මෙවැනි ඉරණමක් ඉදිරියේ දුක් වෙමින්, පසුතැවෙමින්, හඬා වැටෙමින් ඇති ඵලය කුමක් ද?

ඉපදෙන මැරෙන ලෝකයේ උපන් අපගේ සැප, දුක තීරණය කරන්නේ තම තමන් රැස්කළ පින සහ පවයි. පව් කළ පුද්ගලයා ඉතා දුක සේ ජීවිතය ගැටගසා ගන්නා අතර පින් කළ තැනැත්තා ඉතා සුව සේ සැපවත් ජීවිතයක් ගත කරයි. උපන් මොහොතේ සිට සෙවණැල්ල සේ තමා පසුපස හඹා එන පින ජීවිතයට සැප උදාකර දෙයි.

ඉපදීමේ සිට මරණය දක්වා කාලය තුළ ලබන්නා වූ සියලු සැපයන් පෙර ජීවිතයක හෝ මේ ජීවිතයේ හෝ තමා විසින් ම රැස් කර ගත් පුණ්‍ය සංස්කාරවල ඵලයන් ය. ඒ වගේම යම් කෙනෙක් යම් දුකක් විඳී ද, එය ද ඔහු විසින් කර ගත් සංස්කාරක ඵලයක් ම යි.

යමෙක් මේ ජීවිතයේ සතුන් මරනවා නම්, ඔහු අහිමි කර ගන්නේ මතුවට ලැබීමට තිබූ දීර්ඝායුෂ නම් සැපය යි. සොරකම් කරනවා නම් තමන් අහිමි කර ගන්නේ තම වස්තුව දේපළ ආරක්ෂා වීමේ සැපය යි. කෙනෙක් වැරැදි කාම සේවනය කරනවා නම් ඔහු අහිමි කර ගන්නේ විශ්වාසවන්ත ස්වාමි, භාර්යාවක සමඟ ගත කරන විශ්වාසනීය පවුල් ජීවිතයක් ලැබීමේ සැපය යි. බොරු කියනවා නම් අහිමි කර ගන්නේ අභූත චෝදනාවලට ලක් නොවීමේ සැපයයි. මත්වතුර, මත්ද්‍රව්‍ය භාවිත කරනවා නම්, අහිමි කර ගන්නේ හොඳ සිහියත්, නුවණත්, ප්‍රඥාවත් ලැබීමේ සැපය යි.

ඒනිසයි අපගේ ශාස්තෘන් වහන්සේ ගිහි ශ්‍රාවකයාට නිති පන්සිල් ආරක්ෂා කිරීම පනවා තිබෙන්නේ. ඒ ශ්‍රාවකයාගේ මෙලොව ජීවිතය ආරක්ෂා කිරීමටත්, පරලොව ජීවිතයට නො වරදින සුගති සැප ලබා දීමටත් ය. පිරිහෙන මෙවන් කාලයක යමෙක් පන්සිල් ආරක්ෂා කරයි නම්, ඔහු රැස් කර ගන්නේ මතු ලබන්නා වූ සැපයක් ම යි.

අප භාග්‍යවතුන් වහන්සේ වදාළා පින් කිරීම තුළින් සැපය ඉපදෙන බව. පෙර පින් කළ අය මේ ජීවිතයේ කුමන තරාතිරමක උපත ලබා සිටිය ද, සැපය උදා කරමින් පින ඔහු පසුපස හඹා එනවා. ඒ සැපයට තව කෙනෙක් ඊර්ෂ්‍යා කිරීමෙන් කිසිදු දෙයක් නො ලැබෙයි. කෙනකුගේ රූප සම්පත්තිය සැපයක්. දීර්ඝායුෂ සැපයක්. ධනය ලැබීම, සැප සම්පත් ලැබීම සැපයක්. ඔවුන් සසරේ මහා පින් කර ගෙන මෙවැනි සැප විඳින්නේ. පින් නො කර ප්‍රාර්ථනාවලින් පමණක් කාට නම් සැපය ලැබිය හැකි ද? එසේ නම් ධනවතුන් පමණයි මේ ලොව සිටින්නේ. දුප්පතුන් කොහින් ද?

ඇතැම් ලෝකවල ධනවතුන් සුඛෝපභෝගි ජීවිත ගත කරද්දී ඒ ලෝකය තුළ ම අන්ත අසරණ දුප්පතුන්ව ඉපදී හාමතේ මිය යන පිරිස කෙ තරම් ද, එය බාහිරට අසාධාරණයක් සේ පෙනුණ ද එය තම තමන් කර ගත් දේ නොවේ ද? අසාධාරණයට එරෙහි ව හැමදාම ලෝකයේ උද්ඝෝෂණ, විරෝධතා, මතවාද පවතියි. සමානුපාතී ක්‍රමවේදයක් එදා සිට සෙව්ව ද දිළින්දන්ගෙන් ලෝකයේ අඩුවක් නැතිවාක් මෙන් ම, කුසගින්නේ මිය යන්නෝ ද බහුල ය. මේ සියල්ට ම දහමින් පණිවිඩයක් කියා දෙයි. ඒ තම තමන් පෙර ජීවිතවල තමා විසින් ම රැස්කළ පුණ්‍ය සංස්කාරවල ඵලයක් බව. එනිස යි භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ සන්දිට්ඨික දහම සදාකල් ම ලොව බබළන්නේ.

පිනක්, පවක් ගැන නො දැන ආ සසර ගමනක පින, පව අප හඳුනා ගන්නේ සද්ධර්මය ලොව පවතින නිස යි. මේ ගෙවී යන්නේ පව් දුරු කොට පින රැස් කර ජීවිතය පිනෙන් පුරවාගත හැකි කාලයක්. සමාජය පිරිහෙමින් ගියත්, මිනිසුන් මිථ්‍යාවෙන් වැසී ගියත්, තවමත් ශ්‍රී සද්ධර්මය ලොව බබළයි. පින් කෙතක් බඳු මහ සඟ රුවන වැඩ සිටියි. සද්ධර්මය විකෘති කරමින්, බුද්ධ වචනය වෙනස් කරමින් මිථ්‍යාවෙන් වසං කරන්නට හැදුවත් ඒ අකාලික ශ්‍රී සද්ධර්මයට හානි කළ හැක්කේ කාට ද? වළාකුළු අතරින් පෑයූ පුන්සඳ මෙන් තුනුරුවන තවමත් ලොව එළිය කරයි. ශාන්තිය, කරුණාව, මෛත්‍රිය බෙදා දෙයි. ලොවට ආලෝකයක් එක් කරයි. එනිසා ධර්මයේ හැසිරීමට කැමැති කෙනකුටත්, පින්කර ගැනුමට කැමැති කෙනකුටත් ඊට අවස්ථාව තවමත් විවර ව පවතිනවා.

මේ ලෝකයේ දුප්පත්, අසරණ, කිසිම දෙයක් කර ගියා ගන්නට බැරි මිනිසුන් කො තෙකුත් සිටිනවා. එවිට අපේ සිතට මහත් වූ දුකක් කනගාටුවක් ඇතිවෙනවා. සිත උණුවෙනවා. ඔවුන්ට උදව් කරන්නට සිතක් උපදිනවා. නමුත් ඔවුන්ට සැපයක් ලැබීමේ පිනක් නැත්නම් ඒ වෙනුවෙන් අප ගන්නා සියලු උත්සාහයන් ව්‍යර්ථ වෙනවා. ලැබීමට පිනක් ඇත්නම් ලොව කො තැනක වාසය කළ ද, ඒ සිත ඔවුන් කරා එනවාම යි. එවැනි අවස්ථා විමාන, ප්‍රේත වත්ථුවල කොතෙකුත් අපට හමුවෙනවා.

දිනක් අපගේ භාග්‍යවතුන් වහන්සේ සංඝරත්නය පිරිවරා ගෙන ථූන නම් මිසදිටු බමුණන් ජීවත්වන ගමකට පිඬු පිණිස වැඩියා. මේ බමුණෝ භාග්‍යවතුන් වහන්සේ හෝ සංඝරත්නයට හෝ කිසිම නිවසකින් දිය පොදක්වත් ලබා නො දෙන ලෙස තහංචියක් පනවා තිබුණා. බුදුරජාණන් වහන්සේ සහ සඟ පිරිස පා ගමනින් වැඩම කළ නිසා බොහෝ වෙහෙසට පත්වෙලයි සිටියේ. එදින දිය ගෙන යමින් සිටි දාසි තරුණියක් මේ සිදුවීම දුටුවා. ඇය මහත් වූ අනුකම්පා සිතින් තම ජීවිත අපේක්ෂාව ද අතහැර පළමු ව බුදුරදුන්ටත්, ඉන්පසු සඟරුවනටත්, පැන් පූජා කර ගත්තා.

එම සිදුවීම දැනගත් ගමේ බමුණෝ ඇයට චෝදනා කළා. බැණ වැදුනා. නමුත් ඇය සිත අපහදවා ගත්තේ නැහැ. පසු තැවුණෙත් නැහැ. මම උතුම් දෙයක් කර ගත්තා කියා රැස් වූ පින ගැන ම සිතුවා. තවත් කිපුණු බමුණෝ ඇයට පහර දුන්නා. ඒත් ඇය පින් සිත රැක ගත්තා. ඇයගේ හිසට වැදුණු පහරකින් මිය ගියා. එවිටත් ඇය සිත වෙනස් කර ගත්තේ නැහැ.

එකල බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ පින් සිත්වල තිබුණු සවිය විශ්මිතයි. කයට පීඩා ලැබුණ ද, ශරීරයෙන් රුධිරය ගලා ගිය ද, පින් සිත පළුදු වීමට නොදී රැක ගත්තා. තව තවත් තුණුරුවන්ගේ ගුණ සිහි කළා. බමුණන් කෙරෙහිත් කෝපයක්, වෛරයක් හට ගන්නට සිතට ඉඩක් දුන්නේ නැහැ.

එසේ රැක ගත් සිතින් ඇය මෙලොවින් සමු ගත්තා. නිදා පිබිදියාක් මෙන් තව්තිසා දෙව්ලොව දෙව් සිරියෙන් බබළමින් නිල්දිය පිරි දෙව් විමනක් මැද උපත ලැබුවා.

ඇය පිදුවේ පැන් ටිකයි. නමුත් ඒ දෙව්දුවට නිල්දිය පිරි දෙව් විමනක් ලැබුණා. ඇය අග්‍රඵල ලැබුවා. අනුත්තර වූ පින් කෙතෙහි වැපිරූ දෙයින් මහත්ඵල මහානිශංස අස්වැන්නක් ලැබුවා. දෙව් අප්සරාවන් පිරිවරා ඒ දෙව්දුව තමා කළ පිනෙහි ආනුභාවය සියල්ලන්ට ම පසක් කරනු වස් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. සම්බුදු සිරිපතුල වන්දනා කළා. ඒ දුටු බමුණෝ සලිත වුණා. බමුණෝ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සමාව ගත්තා. පින කියන්නේ ඒ හා ආනුභාව සම්පන්න දෙයක් බව දහමේ සඳහන් වෙනවා.

දන් පැන් පිළිගැනීමට සුදුසු උතුමන් සොයා දන් පිදීම මුනිවරයන් ප්‍රශංසා කළ දෙයක්. එවන් උතුමන්ට දෙනු ලබන දානය සරු කෙතක වැපුරූ බීජ ලෙසින් මහත්ඵල ගෙන දෙනවා. රහතන් වහන්සේ සරු කෙත වගේයි. දායකයා ගොවියා වගෙයි. පූජා කරන ලද දෙය බීජ වගෙයි. මේ කරුණු තුන හේතු කර ගෙන මහත්ඵල මහානිශංස ඵල හට ගනියි.

අප පින් කිරීමට වගේ ම, පින් සිත රැක ගැනීමටත් බොහෝ දක්ෂ විය යුතු වෙනවා. එසේ දක්ෂ වුණොත් අහිංසක ව, ශ්‍රද්ධාවෙන් අප කරන පින් සියල්ල ම දිනක අප ඉහළට ම රැගෙන යනවා. දුක සේ පිනක් රැස්කර ගත්ත ද, ඒ පින ජීවිතය සසරින් එතෙර කරවන තුරු සැප සලසාලමින් සෙවණැල්ල සේ අප ළඟින් ම සිටිනවා.

පින ගැන අවබෝධයක් ඇති බෞද්ධයකු ලෙස මෙවන් පින් බිමක උපත ලැබීම ම පිනක් නොවේද? එය මහා පිනක්ම යි. ඒ පින තව තවත් ඔප මට්ටම් කර ගැනීම තම තමා සතු දෙයක්. පින ගැන විශ්වාසයක් ඇත්තේ ද බෞද්ධ අපට පමණයි. දස වස්තුක මිථ්‍යා දෘෂ්ඨියේ එල්බ, මිථ්‍යා මතයන්ගෙන් සැපය වනසා ගන්නවුන් අතර පින ගැන විශ්වාස කරන අප කෙ තරම් වාසනාවන්තයෝ ද? දීර්ඝ සසර ගමනක් යන අප මේ ගෙවා දමමින් සිටින්නේ ඉතා සුළු මොහොතකි. නමුත් ඒ මොහොත කෙනකුගේ සසර ගමන සුගතිය මතින් නිවන කරා ගෙන යන ක්ෂණය විය හැකියි. සුළු මොහොතක කාම සැපයට ගිජු ව අහිමි කර ගන්නේ යළි උදා නොවන සුගතිය නම් වූ අමිල සැපය වෙන්නට පුළුවනි.

තමා කැමැති දේ පත පතා සිටීමෙන් ඵලක් නැහැ. තමා යම් දෙයකට කැමැති නම් ඒ දේ දන් දී පින් කර ගත යුතුම යි. මේ දුකෙන් නිදහස ලැබීමට කැමැති ගිහි වේවා, පැවිදි වේවා, අප කවුරුත් රැස්කර ගත යුත්තේ පිනම යි. මේ පුංචි ධර්මද්වීපය ගෞතම බුදුරදුන් විසින් දායාද ලැබූ මහා පුණ්‍ය භූමිය යි.

ඇතැම් කෙනෙක් මහත් වූ ධනස්කන්ධයක් වියදම් කොට විශාල පින්කම් කරයි. ඒ අතර ඇතැමෙක් කැලයේ ගහක පිපි මලක් ශ්‍රද්ධා සිතින් බුදු ගුණ සිහි කරමින් බුදුරදුන් උදෙසා පූජා කරයි. එයින් ද රැස් වෙන්නේ මහත්ඵල ලැබෙන පිනයි. සුවඳ කූරක් දල්වා ශ්‍රද්ධාවෙන් බුදුගුණ කියා පිදීමට කෙනෙක් පුරදු වුණොත් ඒ පිනත් තමාටම යි.

තැනි නම් අප සිතනවා මට ලොකු මුදලක් ලැබුණ දාට මම පින් කරනවා කියා. නමුත් අවසානයේ කර ගත් පිනකුත් නැහැ. ඉතිරි කර ගත් මුදලකුත් නෑ. ඒ නිසා පැහැදුනු සිතින් බුදුරදුන් ට දිනපතා උදේ සවස පැන් බඳුනක් පූජා කළත් බුදුගුණ සිතමින් සෑයක්, බෝධියක් පැදකුණු කොට වන්දනා කළත්, නිවසේ ඉදෙන බතක මුල් කොටස පූජා කළත් රැස්වෙනුයේ අපමණ පින් ගංගාවක් ම යි.

බුදුරදුන් උදෙසා මෙන් ම, මහ සඟරුවන උදෙසා යමක් පුජා කිරීමෙන් අපමණ පින් රැස්වෙන බව අප විශ්වාස කළ යුතු වෙනවා. ධනවතකු මහා ධනයක් වියදම් කොට මහා පිනක් කරද්දී ඒ පිනට ගරහන්නේ නැති ව, ඒ පින්වතාගේ දොස් දකින්නේත් නැතිව අපට සතුටින් ඒ පින අනුමෝදන් වෙන්නට පුළුවන් නම් එය බුදු සසුනේ ශ්‍රාවකයාගේ ලක්ෂණයක්. නැති නම් බුදු සසුන වෙනුවෙන් මහ වෙහෙර විහාර, සෑ, බෝධින් වහන්සේ ඉදිකරන්නේ කවුරුවත්. ඒවාට මසුරු සිතින් ගරහමින් අනන්ත පව් සිදු කර ගන්නේ කවුරුවත්.

දුප්පත් පොහොසත් බෙදීමකින් තොර ව අප සියලු දෙනාට පින් කර ගැනීමට මේ බුද්ධ ශාසනය විවෘත යි. පින බලවත් වන්නේත්, දුර්වල වන්නේත් තම සිතේ පැහැදීම අඩු වැඩි වන තරමට යි.

මතු උපත කෙසේ වේ දැයි අපට දැනෙනවා නම්, නොකා නොබී, නිදා නො ගෙන ගිනිගත් හිසේ ගින්න නිවා ගැනීමටවත් පෙර පින් කිරීමට, ධර්මයේ හැසිරීමට අප උත්සුක වනු නො අනුමාන යි. ඉපදීම, ලෙඩවීම, ජරාවට පත්වීම මරණය යනු දුකක් ලෙස දකින්නට සිත සංවේදී නොවන තාක් මිනිසුන් සිටින්නේ ධර්මයෙන් බොහෝ ඈතින්. එ නිසා ම අපගේ ශාස්තෘන් වහන්සේ වදාළ පරිදි දාන, ශීල, භාවනාවෙන් ඔපවත් වූ සොදුරු නිවන් මගේ ගමන් කරන්නට අප උත්සුක විය යුතු නො වේද?

තමාට පිහිට තමා ම ය. බාහිරින් කවුරු නම් පිහිට වෙන්න ද? “භාග්‍යවතුන් වහන්සේ වදාළේ එ නිසයි.” දානය නම් වූ අත්හැරීමෙන් රැස්වන පිනට වඩා සීලය ආරක්ෂා කිරීමෙන් රැස්වන පින මහත්ඵල වෙයි. සිල් ආරක්ෂා කිරීමෙන් රැස්වන පිනට වඩා භාවනා කිරීමෙන් රැස්වන පින මහත්ඵල මහානිශංස වෙයි. මේ උතුම් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් තුළින් ජීවිතයට උතුම් පින් ගංගා රැස් කර ගනිමින් උතුම් නිවන ම අරමුණු කර ගන්නේ සංසාර බය ඇති කෙනායි.

භාග්‍යවතුන් වහන්සේ වදාළා, මහණෙනි, පිනට බය නොවව්. මහණෙනි පින යනු සැපයට කියන නමක් කියලා.

මහණෙනි මම වනාහි බොහෝ කලක් කරන ලද පින්වල ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ විපාක බොහෝ කල් විඳින ලද බව හොඳින් දනිමි. සත් වර්ෂයක් මෛත්‍රී චිත්තය දියුණු කළෙමි. සත් වර්ෂයක් මෛත්‍රී චිත්තය දියුණු කොට නැසෙන වැඩෙන සත් කල්පයක් මේ මිනිස් ලොවට නැවත නො පැමිණියෙමි. ලෝකය නැසෙන කල්හි මම අභ්‍යන්තර ලොවට පැමිණියෙමි. ලෝකය හැදෙන කල්හි ශුන්‍ය බ්‍රහ්ම විමානවල උපන්නෙමි.

මහණෙනි, එහිදී මම බ්‍රහ්මයා වෙමි. මහා බ්‍රහ්මණ වෙමි. සියල්ල මැඩලමි. සියල්ල දන්නා සුළු වූයෙමි. වසඟයෙහි පැවැත්වූයෙමි. මහණෙනි, මම වනාහි තිස් හය වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර තනතුර ලැබුවෙමි. ධාර්මික වූ, ධර්මරාජ වූ චක්‍රවර්ති රජු වූයෙමි. සිව් මහා සමුධුර හිමි කොට ඇති පෘථිවිය දිනන ලද්දෙමි. ජනපදයන්හි ස්ථිර භාවයට පත් වූයෙමි. සප්ත රතනය යුක්ත වූයෙමි. මහණෙනි, ඒ මට මේ සප්ත රත්නයක් තිබුණුහ. එනම් වක්‍රරත්නය, හස්ති රත්නය්, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය සහ පුත්‍ර රත්නය යි. මහණෙනි, මට ශූර වීර වූ පර සෙන් මඬින්නට දහසකට වැඩි පුත්‍රයෝ සිටියා වූහ. එබඳු වූ මම සයුර හිමි කොට, පොළොව දඬු මුගුරුවලින් තොර ව, අවි ආයුධවලින් තොර ව ධර්මයෙන් දිනා වාසය කළෙමි. ඒ මා කළ පිනෙහි ප්‍රතිඵලයකි.

(මා. පුඤ්ඤභායි සූත්‍රය අං. නි. 4)

පොසොන් පුර අටවක

ජුනි 13 බ්‍රහස්පතින්දා අ.භා. 09.37 පුර අටවක ලබා 15 සෙනසුරාදා පූ.භා. 00.06 ගෙවේ.
14 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]