[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සියලු සංස්කාරයෝ නැසෙනසුළු ය

සියලු සංස්කාරයෝ නැසෙනසුළු ය

“සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛෙ
ඒස මග්ගො විසුද්ධියා ”

සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. එය ප්‍රඥාවෙන් දැනගත් කල්හි දුක ගැන කළකිරීමට පත්වේ. එම කළකිරීම ම කෙලෙස්වලින් දුරුවී පරම විසුද්ධියට හෙවත් නිර්වාණාවබෝධයට මාර්ගය වන බව බුදුරජාණන් වහන්සේ ධම්ම පදයෙහි මග්ග වග්ගයෙහි දේශනා කොට ඇත.

සංස්කාර යන වචනය බුදුරජාණන් වහන්සේ අර්ථ කිහිපයක් ඔස්සේ විග්‍රහ කොට තිබේ. අප එය වටහාගත යුත්තේ ඒ ඒ තැනට අදාළවයි. ඒ අනුව පටිච්ච සමුප්පාද විග්‍රහයේ දී “අවිජ්ජා පච්චයා සංඛාරා” යනුවෙන් පෙන්වා දෙන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර යන තුනයි. අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ගොඩනැඟෙන බව එමඟින් අවබෝධ කර ගත හැකි ය.

දැනීම වනාහී ඇති සැටියට ම දැනීම ය, වරදවා දැනීම ය යනුවෙන් දෙවැදෑරුම් වේ. තණපත් ආදියෙන් කළ මිනිස් රුවක් දැක එය සැබෑ මිනිසකු වශයෙන් නොව මිනිස් රුවක් සැටියට ම දැනීම ඇති සැටියට දැනීම ය. තණපත් ආදියෙන් කළ මිනිස් රුව දෙස දුරින් බලා එය මිනිසෙකැයි සිතා ගැනීම වරදවා දැනීමයි. මේ දෙවැදෑරුම් දැනුම අතුරෙන් ඇති සැටියට නොවරදවා දැනීම “විද්‍යා” නම් වේ. ඇති සැටිය හැර අන් ආකාරයකින් වරදවා දැනීම “අවිද්‍යා” නම් වේ. මෝහය යනු ද එයට නමකි.

තත්ත්වාකාරයෙන් දැනුම වූ විද්‍යාවට විරුද්ධ වූ බැවින් වරදවා දැනුමට නොදැනීම යැයි ද කියනු ලැබේ.

අවිද්‍යාව කවරක් ද යන බව විභංග පාලියෙහි,

“තත්ථ කතමා අවිජ්ජා? දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛ සමුදයේ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධේ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධ ගාමිනීය පටිපදාය අඤ්ඤාණං, අයං වුච්චති අවිජ්ජා”

දුක නොදැනීම ය, දුක් ඇතිවීමේ හේතුව නොදැනීම ය, දුක්ඛ නිරෝධය නොදැනීම ය, දුක්ඛ නිරෝධයට පැමිණීමේ ප්‍රතිපදාව නොදැනීම ය, යන කරුණු සතර අවිද්‍යාව බව එයින් පැහැදිලි කෙරේ.

“සව් කතර අනිසය -
නුවණින් දැකිය යුතු ම ය
සව් කෙලෙස් සිඳීනට -
මෙය ම මහ මඟ වේ ය නිවනට”

සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. යම් දිනෙක නුවණින් දකී ද එනිසා දුක කෙරෙහි කළකිරේ. මෙය නිවනට මඟ වන බව ඉහත පද්‍යයෙන් ද කියවෙන්නකි.

බුදු දහමේ මූලික හරය හේතුපළ දහමයි. මෙම උතුම් න්‍යාය තේරුම් ගැනීමට ත්‍රිලක්ෂණ ධර්මතාව අත්‍යවශ්‍ය වූවකි. එම ත්‍රිලක්ෂණ ධර්මයන්ගේ පළමුවැන්න නම් “අනිත්‍ය” ලක්ෂණය වේ.

ලෝකයේ නිත්‍ය, ස්ථීර, සුඛ, ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැත. කුමන ආගමක්, දර්ශනයක් විශ්වාස කළ ද, ලෝක යථාර්ථය මෙය වේ. මීට වඩා වෙනස් නොවේ.

-වැසි වස්නා කල්හි ජලාශවල දිය බුබුලු නැඟි නැඟී වහ වහා බිඳී යන්නාක් මෙන් ද,

-බෙරයකට ගසන කල්හී හඬ නැඟි නැඟී වහ වහා අතුරුදහන් වන්නාක් මෙන් ද,

සංස්කාරයෝ ඉපිද ඉපිද වහ වහා නිරුද්ධ වී යති. නිරෝධ යනු කිසිවක් ඉතිරි නොවී නැති වී යාමයි. එයට බිඳීම යයි ද කියනු ලැබේ. ඇසිපිය හෙලීමට ගතවන කාලය තරම්වත් පවත්නා සංස්කාරයක් ඇත්තේ ම නැත. එය තේරුම් ගැනීමට අපහසු කරුණකි. එසේ සංස්කාරයන්ගේ නිරුද්ධ වන්නා වූ ස්වභාවය, බිඳෙන්නා වූ ස්වභාවය අනිත්‍ය ලක්ෂණයයි. අනිත්‍ය ලක්ෂණ ඇති සංස්කාරයෝ අනිත්‍යයෝ ය. සංස්කාරයන්ගේ බිඳෙන බව ප්‍රධාන අනිත්‍ය ලක්ෂණයයි. දිරන බව, ක්ෂය වන බව, ඉදිමෙන බව, මෝරන බව, වියළෙන බව, සිදුරු වන බව, පැලෙන බව, කැපෙන බව, කැඩෙන බව, කැටිවන බව, දියවන බව, පිළුණු වන බව, කුණු වන බව, ඇඟ රැලි වැටෙන බව, කුදු ගැසෙන බව, අත් පා දරදඬු වන බව, වක් වන බව, බිහිරි වන බව, නොයෙක් රෝග හටගන්නා බව, මැරෙන බව යන මේවා සංස්කාරයන්ගේ ස්වභාවය වූ ප්‍රධාන අනිත්‍ය ලක්ෂණය නිසා පෙනෙන අනිත්‍ය ලක්ෂණයෝ ය.

“ උප්පාද, තිථි, භංග ” යන ඇතිවීම, පැවතීම සහ විනාශය යන ධර්මතාවන්ට නොගැනෙන කිසිවක් මෙලොව නැත. ක්ෂණයක් ක්ෂණයක් පාසා ලොව පවතින සියලු දෑ වෙනස් වීමට ලක්වේ. ක්ෂණයක් වනාහී ඇසිපිය හෙලන කාලය, අසුරු ගසන කාලය යනා දී උපමා මඟින් පෙන්වා දිය හැකි ය. එසේ සියුම් කාලයක දී පවා වෙනස් වන ධර්මතාවන් තුළ ගොඩනැඟී ඇත්තේ නිත්‍ය ස්වභාවයක්, ස්ථීර ස්වභාවයක් නොවේ. අනිත්‍යතාවය ම ය.

ධම්ම සංගනී අටුවාවෙහි දී ද ඇතිවීම, නැතිවීම, අනිත්‍ය වන බව පෙන්වා දෙන අතර, ළඟාවිය නොහැකි යමක් ඇද්ද? එය අනිත්‍යතාව වන බව විභාවිනී ටීකාවෙහි දී පෙන්වා දී ඇත. අනිත්‍ය සහ නිවන අතර ඇත්තේ එකිනෙක වෙන් කළ නොහැකි සම්බන්ධතාවකි. ලෝකයේ පවතින දෑ නිත්‍ය යැයි සිතනතාක් කල් නිවන් මඟ ගමන් කළ නොහැකි ය.

බුදුන් වහන්සේගේ මුල්ම බුද්ධ වචනය සහ අවසාන බුද්ධ වචනය තුළ ද දක්නට ඇත්තේ අනිත්‍යතාව පිළිබඳ පැහැදිලි කිරීමකි. එමෙන් ම සමස්ත දේශනාවන් තුළ ද බුදුන්වහන්සේ නිරන්තරයෙන් දේශනා කොට ඇත්තේ මෙම අනිත්‍යතාවය යි. සංයුත්ත නිකායෙහි එන ඓණපිණ්ඩුපම සූත්‍රය වනාහී පඤ්චස්කන්ධයෙහි ඇති අනිත්‍ය, වෙනස්වන බව අවධාරණය කරන සූත්‍ර දේශනාවකි.

“ඵෙණ පිණ්ඩූපමං රූපං -
වේදනා බුබ්බුලූපමා”

රූපය පෙණ පිඩකට උපමා කර ඇති අතර එහි අස්ථීර බව, ඇති වී නැති වී යන ස්වභාවය එයින් හුවා දක්වා ඇත. වේදනාව දිය බුබුලක් ලෙස මෙහිදී උපමා කර ඇති අතර සාමාන්‍ය ජීවිතයේ දී පුද්ගලයාට මුහුණ දීමට සිදුවන ත්‍රිවිධාකාර වේදනාව පිළිබඳ ව දක්වා ඇත. එනම්,

සුඛ වේදනා ,දුක්ඛ වේදනා හා අදුක්ඛම සුඛ වේදනා යනුවෙනි. සදාකාලික සැපක් හෝ දුකක් නැති බවත්, මේ දෙකම අනිත්‍ය බවත් ස්මතු වේ. සංඥාව මිරිගුවකට උපමා කරන අතර දකින පෙනෙන තත්ත්වයන් සැබෑ තත්ත්වය නොවන බවත්, සත්ත්වයා වැලි කතරක දිය පිපාසාවෙන් මිරිගුවක් පසුපස ලුහුබඳීන්නාක් මෙන් අතරමං වී දුකට පත්වන බවත් දක්වා ඇත.

සංස්කාර කෙසෙල් කඳකට උපමා කරන්නේ මෙහි ඇති අස්ථීර ස්වභාවය පාදක කොටගෙන ය. විඥානය ද මායාවකි. සැබෑ තත්ත්වය හෙවත් යතාර්ථය පුහුදුන් මනසකින් දැකිය නොහැකි බව පෙන්වා දී ඇත.

සංයුත්ත නිකායෙහි නඛසිඛ සූත්‍රයේ දී පවා රූපයෙහි අනිත්‍යතාව හෙවත් අස්ථීර බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. රූපය නිසා උඩඟු වූ ඛේමාවට මෙන් ම, තම දරුවා අහිමි වූ දුකෙන් පසු වූ කිසාගෝතමියටත්, සියල්ල අහිමි වූ පටාචාරාවන්ටත් යතාර්ථය පසක් කරන්නට පාදක කර ගත්තේ අනිත්‍යය ලක්ෂණ ම ය.

එමෙන් ම චුල්ලපන්ථක හිමිට කමටහනක් ලෙස සුදු රෙදිකඩක් අතට දී “රජෝ හරණං” යනුවෙන් කිය කියා පිරිමදින්නට දේශනා කළේ ද අනිත්‍යතාව පසක් කරලමිනි. ධර්මයට වන්දනා කරන තැන දී පවා “පච්චත්තං වේදිතබ්බෝ ” වශයෙන් විස්තර වන්නේ ද වෙනස්වීම ප්‍රත්‍යක්ෂ බව හෙවත් තේරුම් ගත් බව ය. යමෙක් ධර්මය දන්නවා යනු හෙතෙම අනිත්‍යතාවය ද දන්නා බව මින් පැහැදිලි ය. ඇතැම් ආගමික පසුබිමයන්හි දී ආත්ම සංකල්ප මෙන්ම නිත්‍ය දේව විශ්වාසයන් පෙරටු කොට ගත් ඉගැන්වීම් ස්මතු වුව ද බුදු දහම ලෝකයේ යතාර්ථය පැහැදිලි කර දෙමින් එම යතාර්ථයට මුහුණ දෙන ක්‍රමය මනාව පෙන්වා දී ඇත.

බුදු දහමේ විවිධ ඉගැන්වීම්වලට පදනම ලෙස භාවිත කළේ අනිත්‍ය සංකල්පයයි. ජීවිතය පසක් කරන භාවනාව ලෙස දක්වන්නේ විදර්ශනාවයි. විදර්ශනාව යනු පඤ්චස්කන්ධය පිළිබඳ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස දැකීමයි. එ නිසාවෙන් එම භාවනාව ත්‍රිලක්ෂණ භාවනාව යනුවෙන් ද හැඳීන්වේ.

ඉහත කාරණා තුළින් පැහැදිලි කෙරෙන්නේ අනිත්‍ය අවබෝධයකින් තොරව විදර්ශනාවක් හෙවත් නිර්වාණයක් නොමැති බව ය.

පොසොන් පුර අටවක

ජුනි 13 බ්‍රහස්පතින්දා අ.භා. 09.37 පුර අටවක ලබා 15 සෙනසුරාදා පූ.භා. 00.06 ගෙවේ.
14 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]