[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අයහපතෙහි ආදීනව නුවණින් දකිමු

අයහපතෙහි ආදීනව නුවණින් දකිමු

තනතුර, ධනය, බලය තුළින් ගොඩනඟා ගත් මානයක්, අනවශ්‍ය අහංකාරයක් ඇතැම් අය තුළ දක්නට ලැබෙයි. මේ නිසා මෙම පුද්ගලයන් පිරිහී ඇති අතර ඔවුන් නායකත්වය දරන ආයතන වේ නම් ඒවායින් ද කිසිදු සේවාවක් සිදු නොවෙයි.

නායකත්වයට ගැළපෙන උසස් ගුණාංගයකි කාය, වාක්, මනෝ, සමාචාරය. ඒ උදාර ගුණය ඇතැම් නායකයින් අසාවත් නැති බව සමහර හැසිරීම් තුළින් ප්‍රකට වෙයි. ඇතැම් නායකයින් බණ පොත නො දනී. වැස්සකින් බේරෙන්නට වත් පන්සලකට ගොස් තිබේ දැයි සැක උපදී. මෙලොව පරලොව නො දනී. පින පව නො දනී. පෙර භව සසර කළ දෙයක් නිසා උසස් තනතුරු, සැප විපාක ලබා තිබේ. මේ අය බණ පොතත් පරිශිලනය කෙරේ නම් මෙම කාය, වාක්, මනෝ සමාචාරයෙන් තොර ව කටයුතු කිරීමේ ඵල විපාක දැන ගනියි.

ධම්මපදට්ඨ කථාවෙහි කපිල නම් රන්වන් මත්ස්‍යයාගේ කථාව මේ සඳහා කදිම නිදසුනකි. සැවැත්නුවර අචිරවතී නදියෙන් කෙවුළන් පිරිසකට රන්වන් මත්ස්‍යයෙක් දැලට අසු විය. ඔවුහු ඒ රන්වන් මත්ස්‍යයා දැක සතුටු ව කොසොල් රජු වෙත ගෙන ගියහ. රජු, බුදු සමිඳු වෙත ගෙන ගියේ ය. මේ මාළුවා රන්වන් පාට නමුදු මුඛය විවර කල කල්හි මහා දුගඳක් පිට වේ. මීට හේතු විචාළ කල තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

මහරජ, මේ තෙම කාශ්‍යප බුදු සසුනේ පැවිදි ව අවුරුදු විසි දහසක් මහණදම් කළ කෙනෙකි. එකල මොහු ත්‍රිපිටකධාරී, බහුශ්‍රැත ධර්ම කථික භික්ෂුවක් වී සිටියේ ය. ඒ පර්යාප්ති ධර්මය දරාගෙන සිටි බැවින් ම පිරිවර ද බොහෝ විය. පිරිවර නිසා බොහෝ ලාභ සත්කාර ද ලැබෙන්නට විය.

හෙතෙම බහුශ්‍රැත මානයෙන් මත් ව ලාභ තණ්හාවෙන් මැඩුණේ, අති පණ්ඩිත මානය බැවින් අකැප දෑ කැප ලෙස ද, කැප දෑ අකැප ලෙස ද වැරැදි සහිත දෑ නිවැරැදි ලෙස ද, නිවැරැදි දෑ වැරැදි ලෙස ද, ධර්ම විනය වරදවා කීය. එහිදී ලජ්ජී පේසල භික්ෂූන් ඔහු හැර දැමී ය.

පසුව හෙතෙම දුරාචාරයෙහි යෙදෙමින් කාශ්‍යප සම්බුදු සසුනේ පරියාප්ති ධර්මය පසුබැස් වූ බැවින්, කෙළෙසූ බැවින් අවීචි මහා නිරයෙහි උපන්නේ ය. බුදු සසුනේ පැවිදි ව සිටි මොහු ගේ සොයුරු සෝධන තෙරුන් වහන්සේ රහත් වී පිරිනිවුණේ ය. භික්ෂුණී ශාසනයේ පැවිදි ව සිටි සාධිනී නම් මොහුගේ මව හා තාපථා නම් වූ බාල නැඟණිය මොහු ගේ දෘෂ්ටි ගෙන පේසල භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කොට එම නිරයෙහි උපන්නී ය. බුද්ධාන්තරයක් ම අවීචියේ පැසී පසු ව අවීචියෙන් මිදී තිරිසන් ආත්මයක් ලැබ මත්ස්‍යයකු වී උපන්නේ ය. පෙර මොහු කාශ්‍යප බුදු සසුනේ ධර්ම දේශනා කළ බුදුගුණ කී පිනෙන් රන්වන් විය. භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කළ පවින් මුවින් දුගඳ හමන්නට වූ බව වදාළ සේක. (ධම්මපද අට්ඨ කථා - 739 පිට)

ඉවක් බවක් නොමැති ව වල්පල් දොඩන අය මේ කථා දැන ගත යුතු ය. නිලය, ධනය රැක ගන්න මොන මොනවා හෝ කිව හැකි ය. එහෙත් ඒ ධනයට, බලයට, තනතුරට, පිරිවරට කර්මය වෙනස් කළ නොහැකි ය. දෙවූ සැණින් කිරි නොමිදේ. මිදෙන්නට කල් යයි. පව විපාක දෙන්නට ද කල් යයි. එය විපාක දෙන කල බොහෝ දුකට පත් වෙයි.

අපේ කවුරුත් පේත වත්තුව කියවිය යුතු පොතකි. කර්ම විපාක විඳින ආකාරය එහි මනාව දක්වා ඇත.

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ තුළ දැක්වෙන ආඝාත රූප ජාතකයෙහි සීවලී මහ රහතන් වහන්සේගේ කථාව මීට කදිම තවත් නිදසුනකි. මේ හිමිට අවුරුදු හතකුත් මාස හතක් දින හතකුත් මව් කුස හිරවී දුක් විඳීමට සිදුවිය. මව්තුමිය වූ සුප්පාවාසාවට ද මෙ තරම් කාලයක් දරු කුස දරා සිටීමට සිදු විය. අවසානයේ දින හතක් දරු ගැබ හරස් වී මහත් කටුක දුක් විඳීමට සිදු විය. මෙයට හේතුව සුගතයන් වහන්සේ වදාළ සේක.

සීවලී හිමියෝ පෙර රජකු ව සිටිය දී කුඩා රාජ්‍යයක් අල්ලා ගැනීමට යුද්ධ කළේ ය. නමුදු ඒ කුඩා රට අල්ලා ගැනීමට නො හැකි විය. එවිට රටට ආහාර පාන එන මාර්ග සියල්ල වසා අවුරුද්දකුත් සත් මසක් රැකවල් දා සිටියේ ය. නමුදු රට අල්ලා ගත නො හැකි වූ අතර මව ගේ උපදෙස් පරිදි ඒ නුවරට ආහාර සපයන එකම උමඟ ද වසා දැමීය. පසුව රට වැසියන් යටත් විය. එදා බලය පාවිච්චි කරමින් දුර්වල රටකට දුන් දුක් හේතුවෙන් මෙදා මෙසේ දුක් වි¼දීමට වූ බව ද මව දුන් උපදෙස් හේතුවෙන් මවට ද ඒ කර්මය ආ බව වදාළ සේක. එබැවින් සත්පුරුෂයෝ තම බලය කිසිවිට නො මඟට නො යෙදිය යුතු ය.

කිසියම් ආයතනයක නායකයන් තම නායකත්වය තබන්නේ පෙර කළ කුසලය පදනම් කොට ගෙන ය. ඒ නායකත්වය ක්‍රියාත්මක කළ යුත්තේ ද කුසල පදනමක සිට යි. නායකත්වය රැක ගන්නට අකුසල නොකළ යුතුයි. විනෝදයට මැස්සකු අල්ලා උතුරන කිරි හැලියකට දැමීමෙන් පවා අහිතකර විපාක ලද අවස්ථා බණ පොතෙහි ඇත.

මේ ධර්ම දීපයකි. අප පෝෂණය වූයේ බුදු දහම තුළිනි. අපගේ සභ්‍යත්වය සංස්කෘතිය ගොඩ නැඟුනේ ඒ තුළිනි. මේ ධර්ම දීපය ඒ අයුරින් රඳවා ගැනීම වර්තමාන නායකත්වයේ වගකීමයි. තමා නිසා හෝ අනුන් නිසා හෝ තමා අදහන ආගම නිසා හෝ මව පියා, දු පුතුන් නිසා හෝ රට රාජ්‍ය නිසා හෝ තනතුරු, ධනය, බලය නිසා හෝ වැරැදි කිරීම බුදු දහම අනුමත නො කරයි.

නිවසෙන් පටන් ගෙන තමන් යම් තැනක නායකත්වයක් දරන්නේ ද එම නායකත්ව ගුණ ධර්ම පිරිය යුතුයි. පන්සිල් සුරැකිය යුතුයි. සතර අගතියෙන් තොර විය යුතුයි. දසරාජ ධර්ම, දස පාරමිතා, දස කුසල අනුගමනය කළ යුතුයි. එවිට නායකයෝ යහපත් වෙති. ධාර්මික වෙති. එවන් නායකයන් යටතේ සිටින අනුගාමිකයන්, පුරවැසියන් යහපත් වෙයි. එවිට රට ධාර්මික වෙයි. ලෝකය ධාර්මික වෙයි.

පොසොන් පුර අටවක

ජුනි 13 බ්‍රහස්පතින්දා අ.භා. 09.37 පුර අටවක ලබා 15 සෙනසුරාදා පූ.භා. 00.06 ගෙවේ.
14 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]