[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය මතක සටහනකට පමණක් සීමා නොකරමු

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය මතක සටහනකට පමණක් සීමා නොකරමු

පන්සල මුල් කොටගෙන ගොඩනැඟුණු සංස්කෘතික අධ්‍යාපනික රටාව පිළිබඳ විමර්ශනය කර බැලීමේ දී මහින්දාගමනය පිළිබඳ අවධානය යොමු කළ යුතු ව ඇත. මිහිඳු මහරහතන් වහන්සේ එදා ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කිරීමේ දී පිරිස වශයෙන් ඉත්ථිය, උත්තිය, සම්බල, භද්ධසාල, සුමන සාමණේර, භණ්ඩුක උපාසක යන අය ද ඇතුළත් වූහ.

මිහිඳු මහරහතන් වහන්සේ එම පිරිසත් සමග මිස්සක පව්වට වැඩම කළහ. එදින රටේ රජු ලෙස නායකත්වය ඉසිලුවේ දෙවන පෑතිස් රජතුමා ය. එතුමා පිරිසත් සමඟ මුව දඩයමේ යමින් සිටියදී මිස්සක පව්ව පාමුල දී මිහිඳු මහරහතන් වහන්සේ හමුවූහ.

එහිදී, පළමු සංවාදයෙන් රජතුමාගේ බුද්ධිය පරික්ෂා කොට අනතුරුව රජතුමාට ධර්මය දේශනා කොට බෞද්ධයකු බවට පත් කළහ. අනතුරුව රට වැසියා ද බුද්ධාගමට නැඹුරු කළහ. එම සිදුවීමෙන් පසු රටවැසියා ද බෞද්ධ සිරිත් විරිත්වලට අනුකූලව හැඩ ගැසුණු අතර ම, රට වැසියා තිසරණ පන්සිල් රකින්නකු බවට පත් වීම ද, ලක්දිව තුළ සිදු වූ සුවිශේෂී සිදුවීමක් විය.

ඊට අමතර ව දන්දීම, සිල් රැකීම, බණ භාවනා කිරීම ආදී උසස් පින්කම්වලට ද ඔවුන් නැඹුරු වූහ. තවද භික්ෂූන් වහන්සේට වඳීන්නට, ගරු කරන්නට, වැඩිහිටියන්ට සලකන්නට, මවුපියන්ට වඳීන්නට, පුදන්නට, සලකන්නට හැකි පිරිසක් වශයෙන් රට වැසියා උසස් චාරිත්‍ර ධර්මවලට අනුගත ව ජීවිතය හුරු පුරුදු කර ගත්හ. පන්සල මුල් කොටගෙන ජීවන චර්යාව පවත්වා ගෙන යෑමත් පන්සලේ ඇති චෛත්‍යය, බෝධිය, බුදුපිළිම වහන්සේ දැක බලා වැඳ පුදා ගැනීමටත් අමතක නොකළහ.

ගමයි පන්සලයි වැවයි දාගැබයි යන තේමාව යටතේ පිහිටා කටයුතු කිරීමට රට වැසියා නිතැතින් ම හුරු පුරුදු වූහ. වන්දනීය පූජනීය වස්තූන්ගේ වටිනාකම පාලි භාෂාව තුළින් ගාථාවලට පෙරලා පාඩම් කරන්නට ද, හුරු පුරුදු විය.

මහින්දාගමනයත් සමග ඇති වූ බෞද්ධ ප්‍රබෝධය නිසා ගමේ මධ්‍යස්ථානය හැටියට බොහෝ දෙනා පන්සල කේන්ද්‍රස්ථානය කර ගත්තා පමණක් නොව, සියල්ලෝ ම එකට වාඩි වී භික්ෂූන් වහන්සේගේ දේශනා ඇසීම උදෙසා පන්සලට ධර්ම ශාලාවක් ද ඉදි කළහ. එම ධර්ම ශාලාව බණ මඩුව කියා ව්‍යවහාර වූ අතර, එම බණ මඩුව ගම්වාසී ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ කවුරුත් ඉගෙන ගන්නා පාසල බවට ද පත් විය.

පාසලේ ගුරුවරයා වූයේ භික්ෂූන් වහන්සේයි. බණ අසන ලොකු කුඩා සියල්ලෝ ම ගමේ හාමුදුරුවන්ගේ ශිෂ්‍යයන් බවට ද පත් වූහ. මේ නිසා ගමේ නායකත්වය නිරායාසයෙන් ම පන්සලේ ලොකු හාමුදුරුවන්ට ලැබුණි. පන්සලේ ලොකු හාමුදුරුවන්ට වඩා ප්‍රධානියකු තවත් සිටියේ නැත. ගම්වැසියන්ගේ නඩු ඇසූ, ආරවුල් විසඳූ විනිශ්චයකාරයා වූයේ ද, පන්සලේ ලොකු හාමුදුරුවෝ ම ය. ගමේ ආරක්ෂකයා සේ ම ගමේ මුර දේවතාවා වූයේ ද, පන්සලේ ලොකු හාමුදුරුවෝ ම ය. පන්සල් ආභාෂයෙන් ගොඩනැඟුණු මහා පැරකුම්බා, දුටුගැමුණු, වළගම්බා ආදී රජවරුන් විශාල මහල්, ගොඩනැඟිලි තනවන්නට, මහවැව් ඉදිකරන්නට, වෙහෙර විහාර ගොඩනඟන්නට අවශ්‍ය සියලු කලාවන්, සියලු හැකියාවන්, ලබා ගත්තේ ගමේ පන්සල මූලික කොටගෙන ය.

මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලද පන්නරය මූලික කොට ගෙන ගොඩනඟාගත් සංස්කෘතික අධ්‍යාපන රටාව පන්සලත්, භික්ෂුවත් මුල් කොට ගෙන බිහිවී රට පුරා ව්‍යාප්ත වීම ඉතා බලවත් ම සිදුවීමකි. එහිදී අධ්‍යාපනික රටාව තුළ සුවිශේෂී පෙරළියක් ඇති කිරීමට පන්සල මුල්වූවාට කිසිදු සැකයක් නැත. එයට උදාහරණයක් ලෙස මහා විහාර, අභයගිරි ජේතවන ආදි ජාත්‍යන්තර මට්ටමින් අධ්‍යාපනික ආයතන බිහිවීම පෙන්වා දීමට පුළුවන.

තමන් ළඟ ම තිබුණ අඹ ගසක් මූලික කොට ගෙන ඒ පිළිබඳ ඉතාම ලිහිල්, සරල ආකාරයෙන් ප්‍රශ්න විචාරණ ලද්දේ බුද්ධි පරීක්ෂණයක් උදෙසා ය. දෙවන පෑතිස් රජතුමා එම ප්‍රශ්න සියල්ලට ම නිසි ආකාරයෙන් පිළිතුරු දීම තුළින් රජුගේ උසස් බුද්ධිය පිළිබඳ තේරුම් ගත් මිහිඳු මහරහතන් වහන්සේ පැහැදීමට පත්විය.

මෙම ශ්‍රේෂ්ඨ ධර්ම දූතයා එතුළින් සිදු කළේ රටේ එකල පැවති ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමක් නොව රටේ ප්‍රධානියා වන දෙවන පෑතිස් රජුගේ බුද්ධි මට්ටම පරීක්ෂා කර බැලීමකි. මෙය ලේඛනගත ඉතිහාසයෙහි සඳහන් වන පළමුවැනි බුද්ධි පරීක්ෂණයයි.

අනුරාධපුර මහා විහාරයේ අධිපති මහ තෙරුන් බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ බුද්ධි පරීක්ෂණය කළේ ඉන් බොහෝ කලකට පසුව ය. මෙහි ප්‍රතිඵලය ”විසුද්ධි”මාර්ගය වැනි අගනා ග්‍රන්ථයක් පහළවීම හා අටුවා රාශියක් ඇතිවීමයි.

මුලින් කියන ලද බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵලය වූයේ සිංහල ජාතිය බුදු දහම වැළඳගත් පිරිසක් වීමයි. එම සුවිශේෂී සිදුවීම් සියල්ල ගත් කල්හි ලක්දිව මහින්දාගමනය යනු මතක සටහනක් පමණක් ම නොව උසස් සංස්කෘතියක් සමඟ දියුණු වූ අධ්‍යාපනික රටාවක් ද ඒ තුළ ගම්‍යමාන වූ බව පෙන්වා දීමට පුළුවන.

පොසොන් පුර අටවක

ජුනි 13 බ්‍රහස්පතින්දා අ.භා. 09.37 පුර අටවක ලබා 15 සෙනසුරාදා පූ.භා. 00.06 ගෙවේ.
14 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]