සදහම් ආලෝකයෙන් ලක්දෙරණ ඒකාලෝක වූ වගයි
ශාස්ත්‍රපති
බෝදාගම සීලවිමල හිමි
අප තථාගයන් වහන්සේගේ ධර්මය මෙලොව ජීවිතය සැපවත් ව, නීරෝගිමත් ව, දීර්ඝායුෂ ව
සැනසිලිදායක ලෙස ජිවත් වන්නට මහත් වූ රුකුලකි. මිනිස් සංහතියට පමණක් නොව අපා, දෙපා,
සිව්පා, බහුපා, ක්ෂුද්‍ර ජීවීන්ට හා සමස්ත පරිසර පද්ධතියට ම යහපත පිණිස ම පැවැතුණි.
මේ උසස් දර්ශනය දඹදිව මධ්‍ය දේශයට පමණක් සීමිත වූ දර්ශනයක් නොවීය. තෙවැනි ධර්ම
සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකිකයන් වන අපට ද.
ශ්‍රේෂ්ඨ ආගමක් ලැබුණේ ය. ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක්, සංස්කෘතියක් උරුම කර ගත් පිරිසක්
ලෙස ථේරවාදී බුද්ධ ධර්මය සුරක්ෂිත රටක් ලෙස ලෝකයාගේ ගරුත්වය අපට ලැබී ඇත.
මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම වීමට පෙර විධිමත් වූ රාජ්‍යත්වයක්, අභිචාර විධි,
අක්ෂර මාලාවක්, ගෘහ නිර්මාණ ශිල්පයක් නොවීය. දෙවන පෑතිස් රජ දවස මිහිඳු මාහිමියන්
ප්‍රමුඛ ධර්ම දූත පිරිස සිරිලක් දිවයිනට රැගෙන ආයේ නිර්මල වූ ගෞතම බුදුරජාණන්
වහන්සේ දේශනා කළ බෞද්ධ දර්ශනයයි.
එදා තිබූ පිළිවෙත අනුව රජු හා පිරිස් සතුන් දඩයමේ ගිය අවස්ථාවේ දී රජු පිරිසෙන්
වෙන් කොට හුදකලාව හමුවීම මිහිඳු මහරහතන් වහන්සේ විසින් කරන ලද ප්‍රඥාගෝචර ම
ක්‍රියාවකි. උන්වහන්සේ තමන් වහන්සේ හා පිරිස කවුදැයි යන්න හඳුන්වා දුන්නේ ගාථාවක්
දේශනා කරමිනි. තමන් වහන්සේ කවුරුන්දැයි හඳුන්වා දීම තුළින් රජුගේ බිය පහව ගියේ ය.
තමාගේ අදෘෂ්ඨ භාරතීය මිත්‍රයා වූ ධර්මාශෝක මහ රජුගේ එකම පුතණුවන් වූ මිහිඳු මහ
රහතන් වහන්සේ, සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයන් බව දැක ප්‍රසන්න වූ සිතින් යුතු ව තමා
අතැති දුනු හී පසෙක ලා උන්වහන්සේ සමඟ පිළිසඳරෙහි යෙදිණි.
මෙහිදී මහින්ද මහරහතන් වහන්සේ සමඟ පැමිණි ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහත්
තෙරවරු ද, සුමන නම් රහත් සාමණේරයන් වහන්සේ ද, භණ්ඩුක අනාගාමී උපාසකතුමා ද මහරජුට
පිළිවෙලින් හඳුන්වා දුන්හ. මෙම හඳුන්වා දීම තුළින් උන්වහන්සේගේ නායකත්වයේ විශිෂ්ට
ලක්ෂණයනුත්, බුදු දහමේ ඇති බුද්ධිමත් භාවයත්, ප්‍රඥාගෝචර බවත් කදිමට පිළිබිඹු වන
සාධකයන් ය.
මෙහිදී සන්සුන් වූ රජුට ප්‍රථමයෙන් ධර්ම දේශනා නොකොට තමන් වහන්සේ දේශනා කිරීමට
අපේක්ෂිත ධර්ම කාණ්ඩය අවබෝධ කර ගැනීමට තරම් මේ පුද්ගලයා ප්‍රඥාගෝචර දැයි දැන ගැනීම
සඳහා අඹ ප්‍රශ්නය හා ඥාති ප්‍රශ්නය විචාළෝ ය. මෙම ප්‍රශ්න විමසීම එක් අතකින් රජු
දහම් ඇසීම සඳහා පෙළඹවීමක් කිරීමකි. මිහිඳු මහරහත් චරිතයේ මෙම අවස්ථාව නියම
ධර්මදූතයකුගේ ලක්ෂණ සහ දක්ෂ ගුරුවරයකුගේ ලක්ෂණ ප්‍රකට කරන අවස්ථාවකි.
මොහඳුරෙහි මුලා වී, මුව කෙළියෙහි යෙදුණු මුටසීව රජුගේ පුත් දෙවන පෑතිස් නිරිඳු දුනු
හී පොළොව මත පතිත කොට නැණ නුවන් යොමා මිහිඳු මාහිමියන් එදින විහිද වූ දහම් එළියෙන්
ආලෝකවත් වූ මාවතට පිවිසියේ ය.
බුදු දහම ලැබීමත් සමඟ ම ලාංකික සමාජයේ සංවර්ධන රැසක් ම සිදු විය. ආධ්‍යාත්මික
වශයෙන් හා සදාචාරමය වශයෙන් සිංහලයන් තුළ ඇති වූ වෙනස බොහෝ ය. පන්සිල් රකිමින් තම
ජීවිත හැඩගසා ගත් ලාංකික ජනතාව විශේෂයෙන් අවිහිංසාව ගරු කරන්නන් බවට පත් වූහ. මින්
පසු ක්‍රීඩාව සඳහාවත් ඔවුහු දඩ කෙළියෙහි නොගියහ. පසුකාලීන බෞද්ධ රජවරුන් තිරිසන්
සතුන්ට පවා රෝහල් සාදා බෙහෙත් කිරීමෙන් පෙනී යන්නේ ඔවුන් තුළ සත්ව කරුණාව වර්ධනය වී
තිබූ අයුරු ය.
පරාර්ථය සැලසීම ද බෞද්ධයන්ගේ විශේෂ ලක්ෂණයක් විය. මේ නිසා පොදු ජනතාවගේ ශුභ සිද්ධිය
සඳහා කෙරෙන කටයුතු කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විණි. ලිවීමේ ශිල්පය හා බෞද්ධ
සාහිත්‍යයක් ද හෙළ ජනයාට ලැබුණේ බුදු දහම නිසාම ය. අනුරාධපුරයේ මහා විහාරය,
අභයගිරිය හා ජේතවනාරාමය යන විහාරස්ථාන ආශි‍්‍රත ව විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපන
ආයතන බිහි විය. ශ්‍රී ලාංකිකයන්ට ජාතියක් වශයෙන් දියුණු වීමට හැකි වූයේ බුදු දහමින්
ඔවුන්ට ලැබුණු දායාද නිසා ය.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ශ්‍රී දළදා වහන්සේ හා බුදු දහම ඇතුළත් පාලි ත්‍රිපිටක
සාහිත්‍යය දෙදහස් පන්සිය වසරකට වැඩි කලක් රැක ගෙන ආවේ සිංහල බෞද්ධයන් විසිනි.
එබැවින් බුදු දහම ශ්‍රී ලාංකික වන අපගේ උරුමයකි.
පැවිදිවීමට පුන පුනා බලා සිටි අනුලා දේවි ඇතුළු පන්සියයක් කාන්තාවෝ සංඝමිත්තා රහත්
තෙරණින් වහන්සේගෙන් පැවිද්ද ලැබූහ. මහා අරිට්ඨ කුමාරයා ද මිහිඳු මා හිමියන් වෙතින්
පැවිදි උපසම්පදා ලබා රහත් බව ලැබීය. දේශීය භික්ෂු පරම්පරාවේ නායකත්වය හිමි වනුයේ
අරිට්ඨ මහරහතන් වහන්සේට ය. සිංහල අපේ රටේ උපන් භික්ෂූන් වහන්සේ නමක් පැවිදි
උපසම්පදා ලබා දේශීය භාෂාවෙන් ම දහම් දෙසීමෙන් පෙනෙන්නේ බුදු දහම ශ්‍රී ලංකාවේ මුල්
බැසගත් බව ය. ඉන් පසු ලක්දිව පුරා ම බුදු දහම ව්‍යාප්ත විය.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදු සමය ස්ථිර ව පිහිටුවීමට කටයුතු යෙදීමත්
සමඟ ම ශ්‍රී ලංකාවේ ද ගමයි, පන්සලයි අතර සම්බන්ධය ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම සැකසිණි.
ලක්වැසි ජනයාගේ ආගමික, අධ්‍යාපනික හා සංස්කෘතික මධ්‍යස්ථානය වූයේ පන්සලයි. ගැමියාගේ
පටන් රජකුමරු තෙක් සියල්ලන් ම අධ්‍යාපනය ලැබුයේ පන්සලෙනි. ඒ සඳහා ඇප කැප වන
භික්ෂූන් වහන්සේ රැක ගැනීම හා පෝෂණය කිරීම රජුගේත්, රටවැසියාගෙත් යුතුකමක් ලෙස
සැලකිණි.
ධාර්මික දිවි පෙවෙතක් වශයෙන් වැඩි දෙනෙක් කෘෂිකර්මය තෝරා ගන්නා ලදී. අස්වනු පැසෙන
තුරු විවේක කාලයක් ද නියම කර ගත්තේ ය. විවේකය ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා යොදා
ගත්හ. වෙහෙර විහාර ගොඩනැඟී, කලා ශිල්පාදිය දියුණු වූයේ මේ නිසා ය.
කලා ශිල්ප තුළින් ශ්‍රී ලාංකික ජනතාව ලැබුවා වූ නිරාමිස ආස්වාදය අතිශයින් ම
උත්කෘෂ්ට ය. බුදු සිරිත තේමා කර ගෙන නිර්මාණය වූ විවිධ කලා කෘති හෙළයේ අතීත උරුමයන්
ලෙස විරාජමාන වේ. මෙම උරුමයන් ආරක්ෂා කර ගැනීම තුළින් වර්තමානයට ලැබෙන්නේ
දේශාභිමානි හැඟීම් විකසිත වන අරුත්බර චින්තනයකි. දාගැබ්, පෙති පිළිම, විහාරංග මෙන්
ම සඳකඩ පහන, මුරගල වැනි කැටයම් නිර්මාණයන් ද, චිත්‍ර නිර්මාණයන් ද ලක්වැසි ජනතාවගේ
කලාත්මක අතීත උරුමයන් ය. ඉතා දියුණු තාක්ෂණයක් ඔස්සේ නිම වන ලද මෙම කලා කෘති
ඇසුරින් ජන විඤ්ඤාණය බෞද්ධ සංකේත මඟින් පුබුදු වන බව නොරහසකි.
විශේෂයෙන් ම චිත්‍ර කලාව පිළිබඳ කතා කරන විට සීගිරි බිතු සිතුවම් මඟින් ශ්‍රී
ලංකාවේ අභිමානය ඉහළ නැංවේ. ඒ අනුව මේ සියලු කලා නිර්මාණ ලාංකික ජනතාවගේ ශ්‍රේෂ්ඨතම
උරුමයන් ය.
මේ අයුරින් සමාජ, සංස්කෘතික, ආගමික නවෝදයක් ඇති කළ පොසොන් පොහොය ලක්වැසි ජනතාවගේ
සදානුස්මරණීය උතුම් පූජනීය දිනයක් බවට පත් ව ඇත.
මිහිඳු මහ රහතන් වහන්සේ සිදු කළ තවත් වැදගත් ම කාර්යයක් වූයේ බුදු සසුන ආරක්ෂා
කිරීමේ වගකීම ශ්‍රී ලාංකිකයන්ට පැවරීමයි. මෙරට මව්පිය දෙපළකගේ දරුවකු මේ රටේ දී ම
මහණ උපසම්පදාව ලබා, ධර්ම විනය හදාරා, මෙහි දී ම විනය සංගීතියක් පැවැත්වීමෙන් සසුන
මුල් බැස ගන්නා බව උන්වහන්සේ වදාළේ දේශීයත්වයට ප්‍රමුඛස්ථානය දෙමිනි.
එසේම සිංහල කුල පුත්‍රයන් පැවිදි කර අටුවා සහිත ත්‍රිපිටක ධර්මය උන් වහන්සේට
ඉගැන්වූහ. ත්‍රිපිටකයට සිංහල භාෂාවෙන් අටුවා ද පිළියෙල කළහ. ශ්‍රී මහා බෝධීන්
වහන්සේගේ බීජවලින් හට ගත් බෝ අංකුර දිවයිනේ සෑම දිසාවක ම පාහේ රෝපණය කරවා, දිවයින
පුරා ම තවත් වෙහෙර විහාර ඇති කරවූහ. මහා විහාර සීමා පිහිටුවා සංඝයාගේ සුරක්ෂිතභාවය
තහවුරු කළහ.
උන්වහන්සේ එදා මිහින්තලාවෙන් අරඹා දිවයිනේ දසත විහිද වූ ධර්මාලෝකය ශ්‍රී ලාංකිකයාගේ
ජන ජීවිතයේ සෑම අංගයකට ම කාවැදී ඇත. මිහිඳු මහරහතන් වහන්සේගෙන් මෙරටට සිදුවුණු
අපරිමිත සේවාව නිසා ම උන්වහන්සේ “අනුබුදු” නමින් හැඳින්වීමට පුරුදු ව ඇත.
වසර 28 ක් පමණ මෙරට ශාසනය වෙනුවෙන් ම ඇප කැප වී ක්‍රියා කළ අනුබුදු මිහිඳු මා
හිමියන් දෙවන පෑතිස් රජුගෙන් පසු රජ පැමිණි උත්තිය රාජ සමයෙහි පිරිනිවන් පා වදාළහ.
මිහින්තලා උදාගිරෙන් ලක්දිවට පෑයූ පොසොන් සඳ එසේ බැස ගියත් එයින් විහිදී ගිය ආලෝකය
අද දක්වාත් පැතිරෙමින් පවතී. |