[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මියගිය ඥාතීන් වෙනුවෙන් කළ හැකි උසස් ම පින්කම

මියගිය ඥාතීන් වෙනුවෙන් කළ හැකි උසස් ම පින්කම

බිම්බිසාර මහරජු වේළුවනාරාමය බුදුරදුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේට පූජා කළ පසු ප්‍රථම ආරාම පූජාව සිදුවිය.

වේළුවනාරාමය පූජා කළ දින රාත්‍රී බිම්බිසාර මහ රජු මහ හඬින් වැලපෙන පේ‍්‍රතයන් රාශියක් දුටුවේ ය. පසුදා මහරජු මේ බව බුදුරදුන්ට දැන්වීය. එසේ වැලපෙන්නේ පින් බලාපොරොත්තුව සිටින මහරජුගේ ඥාති පේ‍්‍රතයන් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ඉක්බිතිව උන් වහන්සේගේ අවවාද පරිදි බුදුපාමොක් මහ සඟනට දානය පූජා කළ රජු ඥාති පේ‍්‍රතයන්ට පින් අනුමෝදන් කළේ ය. පේ‍්‍රතයන්ට පින් අනුමෝදන් කිරීමේ දී බුදුරදුන් දේශනා කළේ “තිරෝකුඩ්ඩ සූත්‍රය යි. ඛුද්දක නිකායට අයත් එකී තිරෝකුඩ්ඩ සූත්‍රය හා එහි සිංහලාර්ථ මෙතැන් සිට ඉදිරිපත් කෙරෙයි.

තිරෝකුඩ්ඩෙසු තිට්ඨන්ති සන්ධිසිංඝාටකෙසු ච
ද්වාරබාහාසු තිට්ඨන්ති ආගන්ත්වාන සකං ඝරං

පේ‍්‍රත ලෝකයෙහි උපන් ඥාති පේ‍්‍රතයෝ තමන් පෙර විසූ ගෙය කරා අවුත් බිත්තියෙන් පිටත ද, ගෘහ සන්ධි, බිත්ති සන්ධි, සතරමං සන්ධි, තුන්මං හන්දි, දොර උළුවහු යන තැන්හි ද බලා සිටිති.

පහූතෙ අන්නපානම්හි ඛජ්ජභොජ්ජේ උපට්ඨිතෙ
න තෙසං කොචි සරති සත්තානං කම්මපච්චයා

බොහෝ වූ ආහාරපාන ද, කෑ යුතු බිඳිය යුතු දේ ද පිළියෙල වී ඇති කල්හි (භෝජන සංග්‍රහ) පවා එම පේ‍්‍රත ලෝකයෙහි උපන් සත්ත්වයන්ගේ අකුසල කර්ම හේතුවෙන් කිසිම නෑදෑයෙක් ඔවුන් සිහි නො කරත්.

එවං ද දන්ති ඤාතීනං යෙ හොන්ති අනුකම්පකා
සුචිං පණීතං කාලෙන කප්පියං පානභෝජනං

නෑදෑයන් අතුරෙන් ඔවුනට අනුකම්පා කරන යම් කෙනෙක් වෙත් ද ඔවුහු “මෙම පින පරලොව ගිය අප නෑයනට වේවා! එම නෑයෝ සුවපත් වෙත්වා යි කියා ඔවුහු එම නෑදෑයන් උදෙසා පවිත්‍ර වූ, ප්‍රණීත වූ, කැප වූ ආහාරපාන දන් දෙති.

ඉදං වො ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො
තෙච තත්ථ සමාගන්ත්වා ඤාතිපේතා සමාගතා
පහූතෙ අන්නපානම්හි සක්කච්චං අනුමෝදරෙ
චිරං ජීවන්තු නො ඤාතී යෙසං හෙතු ලභාමසෙ
අම්හාකංම කතා පූජා දායකා ච අනිප්ඵලා

ඒ ඥාති පේ‍්‍රතයෝ ද ඒ දන් දෙන තැනට නොයෙක් දෙසින් රැස්ව තමන් උදෙසා බොහෝ ආහාරපාන දෙන්නා වු කල්හි එම පින කර්මපල අදහමින් පින් අනුමෝදන් වෙති.

“යම් නෑ හිතවතකු නිසා අපට මේ පින ලැබුණේ ද ඒ අපේ නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා! ඔවුන් විසින් දන් දී පින් පැමිණවීම් වශයෙන් අපට ද පූජා කරන ලදී” යනුවෙන් ස්තුති කරති. ඒ දන් දුන් දායකයෝ ද ඵල රහිතයෝ නොවෙති.

න හි තත්ථ කසී අත්ථි ගොරක්ඛෙත්ථ න විජ්ජති
වණිජ්ජා තාදීසි නත්ථි හිරඤ්ඤෙන කයාක්කයං
ඉතො දින්නෙන යාපෙන්ති පෙතා කාලකතා තහිං

එම පේ‍්‍රත ලෝකයෙහි සී සෑමක් නැත්තේ ය. ගව පාලනයකුත් එහි නැත්තේ ය. වෙළඳාමකුත් නැත්තේ ය. රන් රිදියෙන් කරන ගනුදෙනුවකුත් නැත්තේ ය. හුදෙක් මියගොස් එම පේ‍්‍රත ලෝකයට පැමිණියෝ මේ මිනිස් ලොව වසන නෑ මිතුරන් විසින් දෙන ලද පිනකින් යැපෙති.

උන්නමෙ උදකං වට්ඨං යථා නින්නං පවත්තති
එවමෙව ඉ තො දින්නං පෙතානං උපකප්පති

යම් සේ උස් බිමෙක වට ජලය පහත් බිම් කරා ගලා බසින්නේ යම් සේ ද එපරිද්දෙන් ම මෙලොව නෑ මිතුරන් විසින් දෙන ලද දානයෙහි පින ඒ පේ‍්‍රතයන්හට ලැබෙයි.

යථා වාරිවහා පූරා පරිපූරෙන්ති සාගරං
එව මෙව ඉතො දින්නං පෙතානං උපකප්පති

පිරී ඉතිරී ගලා ගෙන යන ගංගා හෝ දිය සාගරය පුරවා ලන්නේ යම් සේ ද එ පරිද්දෙන් ම නෑ මිතුරන් විසින් මිනිස් ලොව දී දෙන ලද එම පින ඒ පේ‍්‍රතයන්ට ලැබෙයි.

අදාසි මෙ අකාසි මෙ ඥාතිමිත්තා සඛා ච මෙ
පෙතානං දක්ඛිණං දජ්ජා පුබ්බේ කතමනුස්සරං

මට මෙබඳු ධනයක් හෝ ධාන්‍යයක් දුන්නේ ය. මාගේ මේ කාර්යය කළේ ය. මොහු මගේ ඥාතිවරයා ය. කුඩා කල පටන්ම මිතුරා ය, යනුවෙන් පෙර කළ උපකාර සිහිපත් කරමින් මිය පරලොව ගිය නෑ හිතමිතුරන් උදෙසා දන් දිය යුත්තේ ය.

න හි රුන්නං ව සොකො වා යා වඤ්ඤා පරිදෙවතා
න තං පෙතානමත්ථාය එවං තිට්ඨන්ති ඤාතයො

හැඬීමක් හෝ ශෝක කිරීමක් හෝ යම් අනෙක් වැලපීමක් හෝ වේ ද එය පරලොව ගියවුන්ගේ ප්‍රයේජනය පිණිස නොවේ. ඒ පේ‍්‍රතයෝ එහි උපන් පරිද්දෙන් ම සිටිති. (දුක් විඳිති)

අයං ඛො දක්ඛිණා දින්නා සංඝම්හි සුප්පතිට්ඨිතා
දීඝ රත්තං හිතායස්ස ඨානසො උපකප්පති

මහරජ ඔබ විසින් අද ස්වකීය ඥාති සමූහය උදෙසා යම් දානයක් දෙන ලද්දේ ද ඒ මේ දක්ෂිණාව උතුම් පින් කෙත වූ සංඝයා කෙරෙහි මනාව පිහිටියා වන්නේ ය. එහෙයින් එය එම පේ‍්‍රත සමූහයාට දීර්ඝ කාලයක් හිත සුව පිණිස වන්නේ ය. එකෙණෙහි ම විපාක දෙන්නේ ය.

සො ඤාතිධම්මො ච අයං නිදස්සිතො
පෙතාන පූජා ච කතා උළාරා
බලඤ්ච භික්ඛූනමනුප්පදින්නං
තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං

මේ දක්ෂිණාව දෙන්නා වු ඔබ විසින්, නෑයන් විසින් නෑයන් සඳහා කළ යුතු වු ඥාති ධර්මය සිදු කරන ලදී. පේ‍්‍රතයන් හෙවත් මිය පරලොව ගිය අය වෙනුවෙන් කළ හැකි උසස් ම පූජාව ද කරන ලද්දේ ය. භික්ෂූන් වහන්සේ හට ආහාරපානාදිය පූජා කිරීමෙන් මහත් බලයක් ද දෙන ලද්දේ ය. ඔබ විසිනුදු මහත් වු පිනක් රැස් කර ගන්නා ලදී.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 23 අඟහරුවාදා පූ.භා. 03.27 පුර පසළොස්වක ලබා
24 බදාදා පූ.භා. 05.20 ගෙවේ.
 23 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]