බක් පුර පසළොස්වක පෝ දා
2024-04-23
වෛරයේ ගිනිදැල් නිවීමට
බෞද්ධාගමික සිරිත්විරිත්වලට මුල්තැන දෙමින් සැමරූ අපූර්වතම සංස්කෘතික මංගල්ලයක
නිමාවත් සමඟින් පින්බර බක් පුන් පෝය උදා වී තිබේ.
අසමගිකම් දුරු කොට, නෑ හිතමිතුරුකම් අලුත් කරමින්, නැවුම් හැඟුමෙන් සිංහල බෞද්ධයෝ
අතීතයේ සිටම සිංහල අවුරුද්ද සමරති. ඔවුහු ධාර්මික ව ලබන සතුට පවා සම්බුදු දහමින් ලද
වටිනාකම්, හර පද්ධතීන් ජීවිතයට බද්ධ කර ගැනීමකි. වැඩිහිටියන්ට ගරු සැලකිලි දැක්වීම,
එකිනෙකාට උදව් උපකාර කර ගැනීම, අමනාපකම් අමතක කිරීම, ආගමික වතාවත්වලට මුල්තැන දීම
ආදි ගුණාංගයන්හි සේ ම සිංහල අවුරුදු ක්‍රීඩා තුළ ගම්‍ය වනුයේ ද සහයෝගය හා සමඟියයි.
ඉවසීමයි. දරා ගැනීමයි.
බක් පුන් පෝ දිනය විශේෂයෙන් සමගියේ මිහිර, වෛරයේ අමිහිරි බව සිහිපත් කරවන
පුණ්‍යවන්ත පෝ දිනයකි. මේ ලක් දෙරණ සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් කළ
තථාගතයන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සුවහසක් බොදු දන සිත් සතන් අමන්දානන්දයට
පත්කරනවා සේ ම එම ලංකාගමනයට තුඩු දුන් චූලෝදර - මහෝදර බෑනා සහ මාමා අතර ඇතිවන්නට
ගිය මහා යුද්ධය සංසිඳවීමේ සිද්ධිය අපගේ හැසිරීම් හා ක්‍රියාකාරීත්වයන් පිළිබඳ නැවත
සිතා බලන්නට කරන පෙළඹවීම ගැන ද අවධානය යොමු කළ යුතු ම ය.
ඒ, අතීතයට සාපේක්ෂ ව අපේ ආධ්‍යාත්මික ගුණධර්ම, පිරිහී, නොවටිනාකම්වලට වටිනාකමක් දෙන
අකාරයටත්, අක් මුල් සිඳී ගිය, මං මුළා වූ ජාතියක් බවට පත්වෙමින් සිටින ආකාරයටත්
නිදර්ශන අපට බොහෝ තැන්හි දී අසන්නට, දකින්නට ලැබෙන බැවිනි.
චූලෝදර – මහෝදර බෑනා මාමාවරු යුද වදින්නට සැරසුණේ මිණිපලඟක් හේතු කොට ගෙන ය. භෞතික
සම්පතකට ලොබ බැඳ, ආධ්‍යාත්මික ගුණධර්ම අමතක කිරීම හේතුවෙන් ඔවුනොවුන් අතර ඇතිවන්නට
ගියේ විනාශකාරි යුද්ධයකි. එහෙත් තථාගතයන් වහන්සේ ඔවුන්ට ශ්‍රී සද්ධර්මය දේශනා කොට
වදාළහ. තිසරණ සරණ ගිය ඔවුහු ජීවිතයේ යථාර්ථය අවබෝධ කොට ගත්හ.
බෞද්ධයා යනු තිසරණ සරණ ගිය පුද්ගලයෙකි. තිසරණගත පුද්ගලයා ධර්මයට පිටුපාන්නේ නැත.
එසේ නම් තමන් සැබෑ බෞද්ධයෙක් ලෙස දහම් මඟ යනවා ද? නමට පමණක් බෞද්ධ වී තමන් ම රවටා
ගන්නේ ද යන්න තම තමන්ට ම අවබෝධ කර ගත හැකි ය.
ඇතැම් කෙනෙක් පැල ඉනි වැටට, කොස් ගෙඩියට, දෙල්ගෙඩියට ගහ මරා ගනිති. වෛරී සිතින්
විවිධ අකටයුතුකම් කරති. අසුරුසැණක් ගසන මොහොතක දී වුව මේ ජීවිතය හැර යන්නට සිදු විය
හැකි බව දැන දැනත් කෙනෙක් වෛරය, ක්‍රෝධය වපුරන්නේ නම් හේ සැබෑම අභාග්‍ය
සම්පන්නයෙකි. මෙලොව ජීවිතය ද විනාශ කර ගෙන පරලොව ද වනසා ගන්නෙකි.
වෛරය, ක්‍රෝධය, තමන් දවයි. අනුන් ද දවයි. මෛත්‍රියේ සිසිලස. තමන්ටත්, අනුන්ටත් සුව
සදන්නේ ය.
තථාගතයන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ දී දේශනා කොට වදාළේ ඇසට පෙනෙන්නාවූත්, ඇසට
නොපෙනෙන්නාවූත්, භූත යන නමින් හඳුන්වන්නා වූත්, සම්භවේසී යන නමින් හඳුන්වන්නා වූත්
සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා’යි මෙත් වඩන ලෙසට ය. මේ උතුම් පෝදා ඒ අපූර්වතම
සිතිවිල්ලට අපේ සිත පුරුදු පුහුණු කරන්නට අදිටන් කර ගනිමු. |