ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයකු ලෙස බුදුසසුන තුළ අප්‍රමාදී වෙමු
රාගම - හොරපේ ශ්‍රී සුදර්ශනාරාමාධිකාරී
රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී
උඩවලවේ මහින්ද හිමි
බුදුරජාණන් වහන්සේගේ පුද්ගල වර්ගීකරණය තුළ අශ්‍රැතවත් පෘථග්ජන හා ශ්‍රැතවත් ආර්‍ය
ශ්‍රාවක යන ප්‍රභේදය අපට සූත්‍රපිටකයේ නිතර හමුවේ. මේ දෙදෙනාගෙන් බුදුදහමේ සාරය තම
ජීවිතය තුළ විඳගන්නට අවකාශ ලබන්නේ ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයාට ය.
අශ්‍රැතවත් පෘථග්ජනයා යන එන මං නොදැන, අන්දමන්දව, ඒ මේ අත යමින්, මොනමොනවා හෝ
කරමින් අගනා මුතු ඉවත දමා, නොවටිනා ඔළිඳම ගෙන සසර අතරමං ව කටයුතු කරයි. ඔබ
ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයෙක් ද ? අශ්‍රැතවත් පෘථග්ජනයෙක් ද? යැයි හඳුනාගන්නේ කෙසේද?
බොහෝ දෙනාගෙන් මේ පිළිබඳ විමසූ විට; තමන් අශ්‍රැතවත් පෘථග්ජනයන් බව ඔවුහු මහත්
උජාරුවෙන් කියති. මෙය මහත් නින්දාවට කාරණයකි. මෙ තරම් බුදුබණ ඇසෙන, බුදුසසුනට ගෞරව,
සත්කාර, සම්මාන, සැලකිලි දක්වන, බලන බලන අත වෙහෙර විහාර පන්සල් තිබෙන, සුළඟේ පවා
බුදුසුවඳ පවතින රටක ඉපිද ඒ සංස්කෘතිය තුළ ජීවත් වන ඔබ තවමත් අශ්‍රැතවත් පෘථග්ජනයෙක්
වන්නේ ඇයි ?
අපේ මුතුන් මිත්තන් තම ජීවිතය ම කැප කොට මෙ තරම් වෙහෙර විහාර තැනුවේ, තම
දරුමුණුබුරන් සසුන්ගත කොට භික්ෂු සංස්ථාව ගොඩනැඟුවේ මේ අයුරින් අශ්‍රැතවත් පෘථග්ජන
පරපුරක් අනාගත රට තුළ දැකීමට ද?
සැබෑ වශයෙන් ම ගත් කල තවමත් ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයන්ට වඩා අශ්‍රැතවත්
පෘථග්ජනයින් ම ලක්දිව බුදුසසුන තුළ වැඩි බව කිවයුතු ය.
අශ්‍රැතවත් පෘථග්ජන භාවයෙන් මිදී ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයකු බවට පත්වන්නේ කෙසේද ?
අශ්‍රැතවත් පෘථග්ජනයා උතුම් සිල්ගුණ ඇත්තන් නොසලකයි. ආර්‍ය ශ්‍රාවකයන් දැකීමට,
ඇසුරු කිරීමට කැමැත්තක් නොදක්වයි. උතුම් සිල්ගුණ හඳුනා ගැනීමට අසමත් වෙයි. එමෙන්ම
ඔහු ආර්‍ය ධර්මයෙහි අදක්ෂ වෙයි. ඔහු ධර්මය යැයි මොන මොනවාදෝ තමාට නොතේරෙන දේවල්
ටිකක් ඔලුව තුළ හිර කර ගෙන සිටී. මේ ධර්මය ප්‍රායෝගික ව අනුගමනය කොට නොහැක්කක් ලෙස
සලකයි. එම නිසා ධර්මය දේශනා කිරීමට හා ඇසීමට පමණක් ඇත්තක් ම කොට සලකයි. එම නිසා ඔහු
ආර්‍ය ධර්මයෙහි නොහික්මෙයි. තමාගේ ජීවිතය, රාජකාරී ජීවිතය, ව්‍යාපාරික ජීවිතය,
සමාජයීය ජීවිතය, ආගමික ජීවිතය, පෞද්ගලික ජීවිතය යැයි කොටස් කර ගනී.
ඔහුගේ ධර්මයේ හික්මීම ආගමික ජීවිතයේ දී පමණක් දක්නට ලැබේ. සෙසු තැන්වල දී ඔහු තමාගේ
දුර්වලකම්, අඩුපාඩු මකා ගැනීමට ආගමික ජීවිතය පලිහක් ලෙස යොදා ගනී. මේ සියල්ල තුළ
ඔහු තම ජීවිතයේ ඇසුරු කළ යුතු දේ හා ඇසුරු නොකළ යුතු දේ හඳුනා ගැනීමට අසමත් වෙයි.
ඔහු කළ යුතු දේ නොකරයි. නොකළ යුතු දේ ම කරයි. මේ තුළ ඔහු තවදුරටත් අශ්‍රැතවත්
පෘථග්ජන භාවයේ ම ගිලෙයි.
ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයා සිල් ගුණයට සලකයි. එය අගය කරයි. සිල්ගුණ වහා හඳුනාගනී.
ආර්‍ය ධර්මයෙහි දක්ෂ වෙයි. ධර්මය, ධර්මය ලෙස හඳුනාගනී. අධර්මය, අධර්මය ලෙස
හඳුනාගනී. ධර්මය තුළ මුළා නොවෙයි. එමෙන්ම ඔහු ධර්මවිනය තුළ හික්මෙයි. ඔහුට ජීවිත
කීපයක් නැත. තම ජීවිතයේ හැකි සෑම අවස්ථාවක් ම ඔහු ධර්මය මත පිහිටා ගතකරයි.
තමා කළ යුතු දේ නොකළ යුතු දේ, පිළිබඳ මනා අවබෝධයක් ඔහුට ඇත. ‘සම්මාදිට්ඨි’ යනු
මෙයයි. “සම්මාදිට්ඨිපුරේජවං”(ස.නි. අච්ඡරා සූත්‍රය.) මෙහිදී ශ්‍රැතවත් ආර්‍ය
ශ්‍රාවකයකු වීමට උත්සාහවත් වන ඔබ ඇසුරු නො කළයුතු කාරණා පහක් සහ ඇසුරු කළ යුතු
කාරණා පහක් විමසා බලමු.
කමටහනක්
කේන්තියාම, තරහයාම, කිපීම වැනි දෙයට විරුද්ධ කාරණය වන්නේ ඉවසීම යි. ඔබ තුළ ක්‍රෝධය
කොතෙක් පවතී ද සහ ඔබ තුළ ඉවසීම කොතෙක් පවතී ද යන කාරණාව පදනම් කර ගෙන ඔබේ
අශ්‍රැතවත් පෘථග්ජන භාවය හා ශ්‍රැතවත් ආර්‍යශ්‍රාවක භාවය තීරණය වේ. බුද්ධත්වයෙන්
අවුරුදු විස්සක් පමණ ගතවනතුරු බුදුරදුන් භික්ෂු සමාජයට කිසිදු විනය නීතියක් පනවා
තිබුණේ නැත. මුළුමහත් භික්ෂු සමාජය ම පාලනය කළේ සුළු අවවාදයකිනි. එය
‘ඕවාදපාතිමොක්ඛය’යි. එය ආරම්භ වන්නේ ‘ඛන්තීපරමං තපෝ තිතික්ඛා’ යනුවෙනි. ඉවසීම
උතුම්ම තපස යි. ඉවසීමෙන් තොර පැවිදි බවක් නැත. ඉවසීම බලය කොට ඇති, එයම බලඇණිය කොට
ඇති උතුම් පුද්ගලයා මම බ්‍රාහ්මණ යැයි කියමි. ‘ඛන්තීබලං බලාණිකං, තමහං බ්‍රෑමි
බ්‍රාහ්මණං’ (ම.නි. වාසෙට්ඨ සූත්‍රය.)
මේ ඉවසීම දවසින් දෙකින් පුහුණු කළ හැක්කක් නොවේ. ඒ සඳහා කාලය අවශ්‍ය ය. එමෙන් ම එය
ක්‍රමානුකූල ව පුහුණු කළ යුතු ය. ඔබට ඔබේ ශරීරය සංවරව, නලියන්නේ නැතිව තබා ගැනීමට
ඇති හැකියාව මෙහි පළමු පියවර යි.
මැසිමදුරුවන්ගෙන්, ස්වභාවික පරිසරයෙන් එන පීඩා ඉවසීමට ඇති හැකියාව ඊළඟ පියවර වශයෙන්
හඳුනාගත හැකි ය. ‘අත්ථි භික්ඛවේ ආසවා අධිවාසනා පහාතබ්බා’ (ම.නි. සබ්බාසව සූත්‍රය.)
මෙම ඉවසීමේ ඉහළම අවස්ථාව ම.නි. කකචූපම සූත්‍රයේ සඳහන් වේ. එනම් කිසියම් කෙනෙක්
පැමිණ තමාගේ අතපය කපද්දී පවා එම පුද්ගලයා කෙරෙහි ක්‍රෝධ සිතක් ඇති කර නො ගෙන,
කේන්ති නො ගෙන, තමාගේ සිත වෙනස් කර නො ගෙන සිටීමට ඇති හැකියාවයි. මේ ඉවසීම
පාරමිතාවකි. ක්‍ෂාන්තිවාදී ජාතකයේ බෝසතුන්ගේ මෙම ඉවසීම අපට දැකිය හැකි ය.
නමුත් බුදුදහම යනු තමාගේ අතපය කපද්දීත් සුවපත් වේවා'යි කියමින් සිටින, නිවට
නියාලුන් බිහිකරන දහමක් ලෙසින් මෙය වරදවා තේරුම් නො ගත යුතු ය. මෙය උපමාවකි. මේ
කියත් උපමාව බුදුරදුන් දේශනා කරන්නේ; අපට ක්‍රෝධය පාලනය කර ගැනීමට කමටහනක් වශයෙනි.
මේ කියත් උපමාව මතක තිබේ නම් තැඹිලි ගෙඩියට, පිදුරු ටිකකට, පොළොස් ගැටේකට මනුෂ්‍ය
ඝාතන සිදු නොවේ.
තමන් කළ දේ ම සොයන්න
බුදුදහම තමන් ගැන සොයන්නවුන්ට අදාළ වන දහමකි. භද්දවග්ගිය කුමාරවරුන්ගෙන් බුදුරදුන්
විමසා සිටියේ; කුමාරවරුනි, ස්ත්‍රියක් ගැන සෙවීම ද උතුම් ? තමන් ගැන සෙවීම ද උතුම්
? යනුවෙනි. “තං කිං මඤ්ඤථ වෝ කුමාරා, කතමං නු ඛො තුම්හාකං වරං, යං වා තුම්හේ ඉත්ථිං
ගවේසෙය්‍යාථ, යං වා අත්තානං ගවේසෙය්‍යාථ” (වි.පි. භද්දවග්ගිය වත්ථු.) මෙහිදී
කුමාරවරු තමන් ගැන සෙවීම උතුම් බව ප්‍රකාශ කළහ. බුදුරදහු එහිදී එසේ නම් මේ දහම
ඇසීමට පැමිණෙන ලෙස ඔවුන්ට ආරාධනා කළහ. බුදුරදුන්ගේ ප්‍රමුඛ දේශනාවක් වන්නේ; අනුන්
කරන කියන දෑ නොසොයන්න. තමන් කළ නොකළ දෑ සොයන්න යන්න යි.
න පරේසං විලෝමානී - න පරේසං කතාකතං
අත්තනෝව අවෙක්ඛෙය්‍ය - කතානි අකතානි ච
(ධම්මපද, පුප්ඵ වග්ග.)
ඔබ කොතරම් දුරට අනුන් ගැන සොයන්නෙක් දැයි සොයා බලන්න. අනුන් යන එන තැන්, කරන කියන
දෑ සොයමින් ඔබේ ජීවිතයේ වටිනා කාලය කා දැමීම මොන තරම් අභාග්‍යයක් ද ?
ජීවිතයට වටිනාකමක් එකතු කර ගන්න. අනුන් ගැන සෙවීමෙන් හා කතාබහ කිරීමෙන් වළකින්න.
තමාගේ ම වැඩ ගැන සොයා බලන්න. ඒ තුළ ඔබගේ ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකභාවය තහවුරු වේ.
ඝෝෂාකාරී වුණොත්
බුදුදහම යනු කුමක්දැයි යමකු විමසුවහොත් ඒ නිහඬ බව යැයි කෙටි උත්තරයක් දියහැකි ය. ඔබ
කොතරම් ඝෝෂාකාරී දැයි සොයා බලන්න.
ඔබ ආර්‍ය භාවයට පත්වන විට නිහඬ බවේ සුන්දරත්වය ඔබට ටිකෙන් ටික දැනෙන්නට පටන්ගනී. ඔබ
ඒ නිහඬ බව රසවිඳීයි. ඒ නිහඬබව තුළ ඔබ අමන්දානන්දයට පත්වෙයි.
නිග්‍රහ කිරීම
වර්තමානයේ; තමා සමග සමාජයේ වෙසෙන්නන්ට නිග්‍රහ කිරීම බොහෝ සෙයින් දක්නට ලැබේ. තමාගේ
වටිනා කාලය විනාශ කර ගැනීම, තමාගේ සිත අපද්‍රව්‍ය පිරී ඉතිරී යන නරාවලක් බවට පත්කර
ගැනීම හැර මෙසේ අනුන්ට නිග්‍රහ කිරීමෙන් ඔවුන්ට ලැබෙන්නේ මොනවාද ? සමාජයේ ප්‍රභූන්,
දේශපාලනඥයින් හා ආගමික උතුමන් වැනි අය මෙසේ විහිළුවට ගැනීම තුළ; තමා පමණක් නොව
තමාගේ ඉදිරි පරම්පරාවත් සමාජය තුළ මුල් නොබසින සමාජ විරෝධීන් බවට පත්වේ.
බුදුරදුන් පෙන්වා දෙන්නේ අප එකිනෙකාට ගෞරවය දැක්විය යුතු බව යි. ආචාරශීලී විය යුතු
බවයි. එකිනෙකාගේ වටිනාකම් හොඳීන් හඳුනාගත යුතු බවයි. පණ ඇති මිනිසුන්ට පමණක් නොව පණ
නැති තමාගේ ජීවිතයට අතිශයින් උපකාරී වන මේස, ඇඳ, පුටු ආදියට පවා ගෞරව කළ යුතු බව
බුදුරදහු භික්ෂුවට පෙන්වා දුන්හ.
ඔබ අශ්‍රැතවත් පෘථග්ජන භාවයෙන් අතමිදෙන්න. ශ්‍රැතවත් ආර්‍යශ්‍රාවකයකු වන්න. අනුන්ට
නින්දා, අපහාස, නිග්‍රහ කිරීමෙන් වළකින්න. ආචාරශීලී වන්න. |