[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පින සම්පූර්ණ වෙන්න නම් ප්‍රමිතියෙන් යුතු අටපිරිකර පූජා කරන්න

පින සම්පූර්ණ වෙන්න නම් ප්‍රමිතියෙන් යුතු අටපිරිකර පූජා කරන්න

ධර්මයේ සඳහන් වන පරිදි අටපිරිකර පූජාව මහත්ඵල මහානිශංස ලබා දෙන බව අපි දනිමු. එකවරම අටපිරිකර පූජා කිරීමට වත්කමක් නැති නම් එකින් එක බැගින් අටවරක දී පූජා කිරීමෙන් ආනිශංස අඩුවක් නොමැති ව ලබා ගත හැකි ය. ඒ නිසා දුප්පතකුට වුව ද මේ ආනිශංසවලට හිමිකරු විය හැකි ය.

මුලින් අටපිරිකරට අයත් අංග අට සිහිපත් කරමු. දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර, පාත්‍රය, ඉණ බඳින පටිය, දැළි පිහිය, ඉදිකටුව, පෙරහන්කඩය යන පිරිකර අටෙන් අට පිරිකර සමන්විත වේ.

අටපිරිකර පූජාවේ ආනිශංස රාශියක් මේ ආත්මයේ දී මෙන් ම මතු ආත්මවල දී ලබා ගත හැකි ය. ඉන් ප්‍රධාන වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගෙන් බණ අසා පැවිදිවීමට කැමැත්ත පළ කළ පුරුෂයකුට “මහණ මෙහි එන්න” යි වදාළ විට සෘද්ධියෙන් හිස මුඩු වී සිවුරු පෙරවී ශ්‍රමණභාවය ලබා රහත් ව නිවන් දැකීමට අවස්ථාව ලැබීමයි.

ස්ත්‍රී පක්ෂයට විශාඛා, බන්ධුල මල්ලිකා ආදි සිටු දියණිවරු ලැබූ පරිදි රූප සම්පත්තියෙන් අග්‍ර ව, සද්දන්ත ඇතුන් පස් දෙනකුගේ කාය ශක්තිය ලැබීමටත්, ‘මහා ලතා ප්‍රසාදනය’ ලබා ගැනීමටත් අටපිරිකර අනුසස් හේතු වේ.

අද වෙළෙඳපළේ අලෙවි කරන අටපිරිකර පරීක්ෂා කිරීමේ දී ඒවායින් 90%කටත් වඩා අදාළ ප්‍රමිතියෙන් තොර බව ප්‍රත්‍යක්ෂ වී ඇත. සිවුරු නියමිත දිග පළලට මසා නොතිබීම, මල බැඳුණු පාත්‍රා, හිස කෙස්, රැවුල් බෑමට භාවිත කළ නොහැකි ආදේශක, දැළිපිහියා යොදා ඇතැම් වෙළෙන්දෝ අටපිරිකර අලෙවි කිරීම නිසා ශ්‍රද්ධාවන්ත පින්වතුන්ට මුලින් සඳහන් කළ මහානිශංස ලබා ගැනීමට නොලැබීම ඉතා කනගාටුදායක කරුණකි.

මේ කූට වෙළෙඳාම පිළිබඳ මහානායක මාහිමිවරුන් ප්‍රමුඛ සංඝරත්නය ද, ගිහි බෞද්ධයන් ද රජයට කරුණු ඉදිරිපත් කරනු ලැබිණ. එහි ප්‍රතිඵලයක් ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික අධිකාරිය එක්ව සිවුරු හා පාත්‍ර පිළිබඳ ප්‍රමිතියක් සකස් කරන ලදි. එය 2015 වර්ෂයේ ජුනි මස 11 දිනැති ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කරන ලදි.

එනමුත් අටපිරිකරවල තිබූ අඩුපාඩු එපරිදි ම පැවතීම බෞද්ධ ජනතාවට කරන ද්‍රෝහීකමක් නොවේද? කවර නීතියක් පැනවුවත් ඒවා නොසලකන කූට වෙළෙඳුන් බෝවී සිටින බැවින් මහජනතාවගේ සහාය මෙම කරුණෙහි ද අත්‍යවශ්‍ය බව පෙන්වාදිය හැකි ය.

අටපිරිකර නිෂ්පාදකයින් හා වෙළෙන්දන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු ය. එහිදී ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ද ලබා ගත යුතු ය.

අටපිරිකර විකිණීමේ දී උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ ලිපිනය හා දුරකතන අංකය, නිෂ්පාදිත දිනය යන කරුණු එම භාණ්ඩයේ හෝ ඇසුරුමෙහි ප්‍රදර්ශනය කළ යුතු ය. සැදැහැති ඔබ කළ යුතු පිරිකර මිල දී ගැනීමේ දී වෙළෙඳ නාමය ආදිය ඇද්දැයි පරීක්ෂා කිරීමයි. වෙළෙඳ නාමය ආදිය නැති පිරිකර මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන්න.

කිසි විටෙකත් අඩු මුදලට පිරිකර ඉල්ලා නොසිටින්න. අඩු මුදලට ඇත්තේ විනයානුකූල නොවන, ප්‍රමිතියෙන් තොර, බාල, පෙරවිය නොහැකි සිවුරු ය. එම නිසා ඒවා පූජා කිරීමෙන් ඔබට මහත්ඵල මහානිශංස ලැබේ ද? සිතන්න.

ඔබ එක් පින්කමක දී ප්‍රමිති කළ එක් අටපිරිකරක් පමණක් පූජා කරන්න. ප්‍රමිති කළ පිරිකර මිල තරමක් අධික බැවිනි.

පන්සල් කීපයකින් වැඩම කළ හිමිවරුන්ට හෝ පින්කමට ආරාධනා ලැබ වැඩමකළ හිමිවරුන්ට වුව ද පූජා කළ යුත්තේ බාල අටපිරිකර නොව ප්‍රමිතියෙන් යුක්ත ඒවා පමණකි. මහත්ඵල මහානිශංස ලැබෙන්නේ එවිට බව සලකන්න.

අද වෙළෙඳපළේ ඇති ප්‍රමිතියෙන් තොර පිරිකර සහ පූජා භාණ්ඩ මිල දී ගැනීමෙන් වළකින්න.

ධර්මයේ කොතැනකවත් දොළොස් පිරිකර, සොළොස් පිරිකර කියා උගන්වා නැත. ඒවා ද ප්‍රමිතියෙන් තොර ය. මිලෙන් අධික ය.

බෙහෙත් වට්ටි, පලතුරු වට්ටි, කැවිලි වට්ටි ආදී අලුත් පිරිකර වර්ග පූජා භාණ්ඩ වෙළෙන්දෝ හඳුන්වා දී ඇතත් ඒවා ද පන්සලට ප්‍රයෝජනයක් නැති බව පෙන්වා දෙමු. විශේෂයෙන් අනුකරණවලට හසු නොවන්නැයි අවවාද කරමු.

ඉහත සඳහන් කළ කරුණු අවධානයෙන් කියවා මනාව සිතට ගෙන පිරිකර පූජා කිරීමට ඔබ කටයුතු කළහොත් ඔබේ පින සම්පූර්ණ වනු නිසැක ය. ඔබට රෙදි මිලදී ගෙන සිවුරු මස්වා පූජා කළ හැකි නම් එය ද බුද්ධිගෝචර ය.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 23 අඟහරුවාදා පූ.භා. 03.27 පුර පසළොස්වක ලබා
24 බදාදා පූ.භා. 05.20 ගෙවේ.
 23 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]