දහම් පාසල් අවසාන විභාගයට අත්වැලක්:
බුද්ධ ධර්මය හා
පාලි භාෂා පරිචය - 01 කොටස
යටදොළවත්තේ ජිනසිරි හිමි
2547 - දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2003
I කොටස
1 (අ) පටිච්ච සමුප්පාදයේ මූලික සිද්ධාන්තය නම් කරන්න.
(ආ) සත්ත්වයාගේ හා ලෝකයේ ඇතිවීම
පිළිබඳ පැවති මූලික මතවාද අතුරෙන් දෙකක් නම් කර ඒවායින් එකක් හඳුන්වන්න
(ඉ) බෞද්ධ හේතුඵලවාදය ගැන කෙටි
හැඳින්වීමක් කරන්න.
(ඊ) දුක පිළිබඳ යථාවබෝධය ලබා
ගැනීමට පටිච්ච සමුප්පාදය හේතු
වන ආකාරය පෙන්වා දෙන්න.
2. (අ) ආර්ය සත්‍ය සතර පිළිවෙළින් නම්
කරන්න.
(ආ) දෙවන ආර්ය සත්‍ය හඳුන්වන්න
(ඉ) බුදුසමයේ පරම නිෂ්ටාව දුක්ඛ නිරෝධය බව පෙන්වා දෙන්න.
(ඊ) ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල,
සමාධි, ප්‍රඥා යන පියවර තුනකින්
දැක්වීමේ වැදගත්කම පැහැදිලි
කරන්න.
(3) (අ) අවිද්‍යාව නිසා රැස් කරන
සංස්කාර නම් කරන්න.
(ආ) බුදු දහම කර්මය ලෙස සලකන්නේ කවරක් දැයි ලියා ඒ හා සම්බන්ධ ප්‍රකට දේශනා පාලි
පාඨය ලියන්න.
(ඉ) “සියලු කෙලෙස් නැසූ උතුමන් පවා අතීත කුසලා කුසල කර්මයන්හි විපාක ලබයි.” නිදසුන්
මඟින් එම කාරණා දෙක පහදන්න.
(ඊ) පුනර්භවයට කර්මය හේතුවන ආකාරය පැහැදිලි කරන්න.
4 (අ) පංචස්කන්ධය මූලික වශයෙන් බෙදෙන ධර්ම කොටස් දෙක නම් කරන්න.
(ආ) මග – ඵල වශයෙන් නිවනෙහි පියවර කොටස් කර දක්වන්න.
(ඉ) නිවනෙහි තුන් වැදෑරුම් ලක්ෂණය නම් වශයෙන් ලියා ඒවායින් එකක් හඳුන්වන්න.
(ඊ) භූමි වශයෙන් සිතෙහි ප්‍රභේද දක්වා ක්‍රියා සිත් පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.
II කොටස
5 (අ) අභිධර්මයෙහි දැක්වෙන ලෙසට බුද්ධ දේශනාවේ මූලික ප්‍රභේද දෙක නම් කරන්න.
(ආ) එම දේශනාවන් කෙටියෙන් හඳුන්වන්න.
(ඉ) සංඛත – අසංඛත ධර්මයන්ගේ ස්වභාවය පහදා සංඛත ධර්මයන් අනිත්‍ය ලෙස සැලකීමට හේතු
සාධක දක්වන්න.
(ඊ) නිවන පරම සැපයක් කොට සැලකීමට හේතු සාධක ඉදිරිපත් කරන්න.
6 (අ) භාවනා යන පදයෙහි අර්ථ විග්‍රහය දක්වන්න.
(ආ) භාවනාවෙහි මූලික ප්‍රභේද දෙක දක්වා ඒවා පිළිබඳ හැඳින්වීමක් කරන්න.
(ඉ) විචිකිච්ඡාව නීවරණයක් වන අයුරු පහදා එහි අවස්ථා දක්වන්න.
(ඊ) සාර්ථක ජීවිතයක් සඳහා භාවනාව උපයෝගී කර ගත හැකි ආකාරය විස්තර කරන්න.
III කොටස
7. පහත සඳහන් ගාථාවල තේරුම සිංහලට නඟන්න.
පහූත භක්ඛො භවති –
විප්ප වුත්තො, සකා ඝරා
බහු නං උපජීවන්ති -
යො මිත්තානං න දූභති.
යං යං ජනපදං යාති –
නිගමෙ රාජධානියො
සබ්බත්ථ පූජිතො හොති -
යො මිත්තානං න දූභති.
නාස්ස චොරා පසහන්ති –
නාතිමඤ්ඤෙති ඛන්තියො
සබ්බේ අමිත්තෙ තරතී -
යො මිත්තානං න දූභතී
අක්කුද්ධෝ සඝරං එති -
සහාය පටිනන්දිතො
ඤාතීනං උත්තමො හොති -
යො මිත්තානං න දූභිතී
8. පහත දැක්වෙන පාලි පාඨය සිංහලයට
නඟන්න.
තතො තස්මිංයේ’ච වස්සෙ විහාරදේවී අඤ්ඤාං පුත්තං විජායි. තස්ස තිස්සොති නාමමකංසු. උභො
තෙ කුමාරා දෙව කුමාරා විය මහන්තෙන පරිවාරෙන වඩ්ඪෙන්ති, අථ සිත්ථප්පවෙසනමංගලෙ
සම්පත්තෙ රාජා පඤ්චසතමත්තෙ භික්ඛුසංඝෙ නිමන්තෙත්වා මහාදානං පවත්තෙත්වා භික්ඛුනං
භුඤ්ජන කාලෙ සුවණ්ණසරකං ගහෙත්වා දෙවියා සද්ධිං සබ්බෙසං උච්චිට්ඨභත්තං ථොක තොකං
ගහෙත්වා එවං සපථං කරොන්තා කුමාරානං අභිමුඛෙ ඨපෙසුං ලෝකසාසනභාරං හි යදි තුම්හෙ
කඩ්ඪෙථ පුත්තකා මා ජිරත කුච්ඡිගතං ඉදං වෝ’ති අදාපයි.
පිළිතුරු
I කොටස
(01) අ) පටිච්ච සමුප්පාදයේ මූලික සිද්ධාන්තය යම්කිසි ධර්මයක් නිසා තවත් ධර්මයක් ඇති
වීමයි. විශ්වයත් එහි විද්‍යමාන සියලු දේත් ඇති වන්නේ යම් කිසිවක් නිසා ය. යමක්
ඇසුරු කොට ගෙන ය. යමක් හේතුකොට ගෙන ය යන්න හේතු ඵල න්‍යාය යනු ද මෙයයි.
ආ) 1. මහා බ්‍රහ්මයා හෝ වෙනත් ඊශ්වරයකු විසින් මවනු ලැබූ බව (ඉස්සර නිම්මාණ හේතු)
2.පෙර ආත්ම භාවයන්හි දී කරන ලද කුසලා, කුසල කර්මයන් හේතු කොට ගෙනම සත්වයාගේ උපත,
මරණය, දුක සැප විඳීම ආදිය සිදු වන බව (පුබ්බේකත හේතු)
මහා බ්‍රහ්මයා හෝ වෙනත් ඊශ්වරයකු විසින් මවනු ලැබූ බව පවසන අදහස අනුව සත්ත්වයාගේ
උපත හා මරණයත්, දුක සැප ආදියත් ඉරහඳ, අව්ව, වැස්ස ආදී වශයෙන් බාහිර ලෝකයෙහි පෙනෙන
ස්වභාවික වස්තූන්ගේ ක්‍රියාකාරීත්වයක් සිදු වන්නේ දිව්‍ය බ්‍රහ්ම ආදි යම්කිසි
ඊශ්වරයෙකුගේ මැවීමක් නිසා බව අදහස් කරන ලදී.
ඉ) බෞද්ධ හේතුඵලවාදය පැහැදිලි කිරීමේදී එය ලොව සදහට ම පවත්නා සත්‍යයක් බව දේශනා
කළහ. කවර ආකාරයකින් හෝ එකිනෙකට සම්බන්ධ වූ ධර්ම දෙකක්, සාපේක්ෂක වූ දේවල් දෙකක් වේ.
මෙහිදී ද්‍රව්‍යයන් හා සංයුක්ත කොට ගෙන හේතුඵල සිද්ධාන්තය විමසා බලන කල්හී,
“බීජය ඇති කල්හි පැළය ඇති වේ.”
“බීජය නැති නම් පැළයක් ඇති නොවේ” යනුවෙන් සරල නිදසුනක් මඟින් තේරුම් ගැනීම පහසු ය.
බෞද්ධ හේතු ප්‍රත්‍ය ධර්ම මාලාවෙහි අංග දොළහකි. අවිජ්ජා, සංඛාරා, විඤ්ඤාණ, නාමරූප,
සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ යනුවෙනි.
ඊ) පටිච්ච සමුප්පාද ක්‍රමය අවබෝධ කර ගැනීමෙන් බුදු දහමේ ප්‍රධාන පරමාර්ථය වන දුක
පිළිබඳ යථාවබෝධය ලබා ගත හැකි ය. සංසාරික ගමන නැවැත්වීම හෙවත් පුනර්භවය නැති කිරීම
බෞද්ධ පරමාර්ථයයි. මිනිසා සසර සැරිසරන්නේ හෙවත් පුනර්භවයක් ලබන්නේ කවර හේතුවක් නිසා
ද? යන පැනයට පිළිතුරු මේ අංග දොළොසකින් යුත් ප්‍රතීත්‍ය සමුප්පාද ධර්ම විග්‍රහය
තුළින් සාක්ෂාත් කර ගත හැකි ය. අවිද්‍යාව හෙවත් නොදැනීම එක් හේතුවකි. නොදැනීම නිසා
කුසලා කුසල කර්ම රැස් කරයි. එනම් අවිද්‍යාව නිසා සංස්කාර හට ගැනීමයි. විඥානය මවු
කුසට බැස ගන්නේ ් සංස්කාරයන් නිසා ය. විඥානය නිසා නාමරූප පහළ වේ. නාමරූපයන් හේතු
කොට ගෙන චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය මන යන ආයතන සය හට ගනී. ස්පර්ශය ඇති වන්නේ එකී
ආයතන මඟිනි. ස්පර්ශය නිසා වේදනාව (විඳීම) ඇතිවේ. තණ්හාව නිසා කාමාදී අරමුණු
හාත්පසින් ම අල්වා ගනු ලැබේ. උපාදාන යනුවෙන් හැඳින්වෙන්නේ ඒ අල්ලා ගැනීම ය. භවය ඇති
වන්නේ එයිනි. භවය නිසා ජාති (ඉපදීම) ද ජාතිය නිසා ජරා මරණ ආදිය ද හට ගනී. මේ සමස්ත
දුක්ඛ සමූහයාගේ සම්භවය යි.
(02)
1. දුක (දුක්ඛ)–
2 දුක හට ගැනීම (දුක්ඛ සමුදය)
3 දුක නැති කිරීම (දුක්ඛ නිරෝධ)
4 දුක නැති කරන මඟ (දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා)
ආ) දෙවැනි ආර්ය සත්‍ය ලෙස සැලකෙන්නේ දුක හට ගැනීමයි. දුක හට ගැනීමට හේතු වන්නේ
ප්‍රධාන වශයෙන් තෘෂ්ණාවයි. නැවත නැවත ඉපදීමට හේතු වන, සතුට ඇලීම ඇති කරන ඒ ඒ ආත්ම
භාවයන්හි ඇලී, ගැලී සිටීමට හේතුවන, එම තෘෂ්ණාව දුක හට ගැනීමේ හේතුව ලෙස බුදුරජාණන්
වහන්සේ විසින් පෙන්වා දී ඇත. එය ත්‍රිවිධ ය.
1 පස්කම් සැප පිළිබඳ තෘෂ්ණාව (කාම තණ්හාව)
2 නැවත නැවත ඉපදීම පිළිබඳ තෘෂ්ණාව (භව තණ්හාව)
3 නැවත නො ඉපදීම පිළිබඳ තෘෂ්ණාව (විභව තණ්හාව) යනුවෙනි. ඒ අනුව සෑම දුකෙහි ම හේතුව
තෘෂ්ණාව බව වැටහේ.
ඉ) බුදුදහමේ පරම නිෂ්ටාව දුක්ඛ නිරෝධයයි. හේතුවක් නිසා ඇති වන්නක් වෙතොත් එය එකී
හේතුව නැති කිරීමෙන් පසු නැති වී යා යුතු ය. දුක, තෘෂ්ණාව හේතු කොට ගෙන ඇති
වූවක්නම් තෘෂ්ණාව නැති කිරීමෙන් පසු දුක ද නැති විය යුතු ය.” හේතුං පටිච්ච සම්භූතං
හේතු භංගා නිරුජ්ඣති” යනුවෙන් “සේලා” භික්ෂුණියට වදාළේ එම ධර්මයයි. දුක ඇති කරන
තෘෂ්ණාව බිඳකුදු ඉතිරි නොකොට මුලිනුපුටා දැමීම, ඉවත් කිරීම, එයින් මිදීම, එහි
නොබැඳීම දුක්ඛ නිරෝධයයි. මෙහිදී බාහිර ලෝකය පිළිබඳ සියලු ආශා අපේක්ෂා ඉවත්ව යයි.
තමා පිළිබඳ මිථ්‍යා දෘෂ්ටිය (ආත්ම දෘෂ්ටි) නිරවශේෂයෙන් බැහැර කෙරේ. දුකින් මිඳීම
මඟින් විමුක්තිය පිළිබඳ පූර්ණ අවබෝධයක් ද ඇති වේ. බුදු සමයෙහි පරම නිෂ්ටාව මේ දුක්ඛ
නිරෝධයයි.
ඊ) සාමාන්‍ය පෘථග්ජන සමාජය පිළිබඳ සලකා බැලීමේ දී ප්‍රථමයෙන් ශීලය මඟින් කායික
වාචසික සමාචාරයන් සකස් කර ගත යුතු ය. පුද්ගලයා බාහිර ලෝකය කෙරෙහි දක්වන
ප්‍රතිචාරයන් ක්‍රමවත් භාවයට පත් කිරීම ඉන් අපේක්ෂිත ය. දෙවැනිව මානසික සංවරය ඇති
කිරීම සඳහා ඉරියව් පැවැත්වීම හා ආශ්වාස ප්‍රශ්වාස ආදී කොට ඇති සියලු ක්‍රියාවලිය
මනා සිහියකින් යුක්තව සකස් කොට ගෙන චිත්ත ඒකාග්‍රතාව වශයෙන් දැක්විය හැකි ය. අවසාන
පියවර ප්‍රඥාවයි. මෙහිදී ත්‍රිලක්ණාවබෝධය ලබා ගැනීම මේ පියවරට අයත් ය.
03) අ) අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව,
ජාති, ජරා, මරණ
ආ) “චේතනා හං භික්ඛවේ කම්මං වදාමි” චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා” බුදු
දහම කර්මය ලෙස සලකන්නේ චේතනාව ය.
ඉ) කර්ම විපාකය පුද්ගලයා කෙරෙහි බලපැවැත්වීම ඇතැම් විට ඒ හේතුවට සම්බන්ධ වු
ආත්මභාවය තුළදීම, එකී පඤ්චස්කන්ධය පවතිද්දීම සිදු විය හැකි ය. එසේ නැතහොත් ඊට
ආසන්නම වූ ආත්මභාවයේ දී විය හැකි ය. එසේ නැතහොත් සංසාර ජීවිතයේ කවර හෝ අවස්ථාවක
මුහුණ දීමට සිදු වේ.
බුදුන් වහන්සේට ද බුදු වූ පසුව වුව ද, අතීතයේ කර්මවල විපාක විඳීමට සිදු විය. එමෙන්ම
මුගලන් මහ රහතන් වහන්සේ, චක්ඛුපාල මහ රහතන් වහන්සේ, ලෝසක රහතුන් වහන්සේට තම අතීත
භවයන්හි සිදු කරන ලද පාපයන් විපාක රහත්වන ආත්ම භාවයේ දී පවා විඳීමට සිදු වූහ. අතීත
භවයන්හි කරන ලද කුසලයන්හි සැප විපාක ලැබූ රහතන් වහන්සේ අතර සීවලී රහතන් වහන්සේ,
බක්කුල රහතන් වහන්සේ වූහ.
පූතිගත්ත තිස්ස රහතන් වහන්සේට කුෂ්ඨ රෝගයක් වැළඳුණේ පෙර ආත්ම භාවයක දී සතුන්ට කරන
ලද හිරිහැර පීඩා නිසා ය. බුදුන් වහන්සේට පවා කර්ම විපාක නවයක් බලපෑ බව සඳහන් වේ. ඒ
අනුව පෙර කරන ලද අකුසලයන්හි විපාක රහතන් වහන්සේට පවා බලපෑ බව මේ අනුව පැහැදිලි ය.
ඊ) කර්මය නම් කිරීමයි. එය කුසල කර්ම හා අකුසල කර්ම ලෙස දෙවැදෑරුම් වේ. කුසල හෝ
අකුසල රැස්කිරීම පුනර්භවයට හෙවත් නැවත ඉපදීමට හේතු වේ. කුසලා කුසල ලෙස කර්ම රැස්
කිරීම නිසා ඒවායේ විපාක ඇති වේ. පුනර්භවය ඇතිවන්නේ එම විපාක කර්මය මඟිනි. මවකගේ ඍතු
වීම, මවුපිය සමාගමය යන කරුණු දෙකට අමතරව ගන්ධබ්බයකුගේ පැමිණීම ද පුනර්භවය සඳහා
එකතුවිය යුතු කරුණු වේ. මෙහි ගන්ධබ්බයාගේ පැමිණීම යනු තමන් කළ කුසලාකුසල චිත්ත
වේගයයි. එනම් කර්මයයි. පුනර්භවයට හේතුවන්නේ කුසල් – අකුසල් ලෙස බලපාන සචේතනික
කර්මයයි.
(04) අ) නාම
රූප
ආ) සෝවාන් මාර්ගය – සෝවාන් ඵලය
සකෘදාගාමි මාර්ගය – සාකෘදාගාමී ඵලය
අනාගාමී මාර්ගය – අනාගාමී ඵලය
අරහත් මාර්ගය – අරහත් ඵලය
ඉ) 1.සුඤ්ඤත 2. අනිමිත්ත 3.අප්පිණිහිත
සුඤ්ඤත – “මම ය, මාගේ ය” යි ගත යුතු කිසිවක් නොමැති හෙයින් අනාත්ම වශයෙන් සැලකීමේ
දී නිවන ශුන්‍යතා ලක්ෂණයෙන් යුක්ත ය. එය සුඤ්ඤත ලක්ෂණය ලෙස හැඳින්වේ.
ඊ) කාම භූමි සිත් 54
රූප භූමි සිත් 15
අරූප භූමි සිත් 12
ලෝකෝත්තර භූමි සිත් 08
ක්‍රියා සිත්
අහේතුක ක්‍රියා සිත් 03
කාමසොභන ක්‍රියා සිත් 08
රූපාවචර ක්‍රියා සිත් 05
රූපාවචර ක්‍රියා සිත් 04
අකුසලත් නොවන, කුසලයත් නොවන ක්‍රියා මාත්‍ර පමණක් වන මෙම සිත් (20) රහතන් වහන්සේට
පමණක් ඇති වේ.
II කොටස
(05)
අ) 1.සම්මුති දේශනා
2. පරමාර්ථ දේශනා
ආ) සම්මුති දේශනා වශයෙන් හඳුන්වනු ලබන්නේ යම් කිසි ද්‍රව්‍යයක එක් එක් අවස්ථාවක්
හඳුනා ගැනීම සඳහා තබන ලද නම් සම්මුති වශයෙන් හැඳින්වේ. නිදසුනක් දෙස බලමු.
“වී ඇටයක් හඳුනා ගන්නා ආකාරයෙහි විවිධත්වය සලකා බැලිය හැකි ය. වී ඇටයේ පොත්ත ඉවත්
කර ගත් විට එය දහයියා නම් වේ. ඇතුළත කොටස හාල් ය. එය තම්බා ගත් පසු බත් ය. කුඩු කර
ගත් විට පිටි ය යන්න ය. එනම් මේ තුළින් සම්මුති දේශනා වශයෙන් තේරුම් ගත හැකි ය.
මොහොතින් මොහොත විපරීත ස්වභාවයට පත් විම ද එහිදීම දක්නට ලැබේ. එකී ධර්මයන්ගේ මුලික
ස්වභාවය හෙවත් හුදු ශක්ති ස්වභාවය පරමර්ථ නමින් ද හැඳින්විය හැකි ය. සම්මුති දේශනා
හා පරමාර්ථ දේශනා අතර වෙනස මේ සංක්ෂිප්ත විස්තරය තුළින් අවබෝධ කර ගත හැකි වනු ඇත.
ඉ) හේතු – ප්‍රත්‍ය මුල් කොටගෙන ඇති වන සියල්ල සංඛත වේ. ජීවි, අජීවි සියලු
ද්‍රව්‍යය කිසියම් හේතුවක් මුල් කොටගෙන ඇතිවී ඇත. ඒ නිසා ඒවා සංඛත නම් වේ. චිත්ත,
චෛතසික, රූප යන ධර්මයන්හි හට ගැනීම සිදු වනුයේ ඒවා ඇතිවීමට හේතුවන ධර්මයන්ගේ ඒකරාශි
වීම නිසා ය. මෙය සංඛත නමින් හැඳින්වේ.
ඉපදීම හා විනාශවීම ස්වභාව කොට ඇති හෙයින් සංඛත සියල්ල අනිත්‍යය වශයෙන් හැඳින්විය
හැකි ය.
නිවන හේතු ප්‍රත්‍ය මඟින් හේතු ධර්මයන්ගේ ඒකරාශිවීම නිසා ඇති වූවක් නොවේ.
ප්‍රත්‍යක්ෂ කර ගත යුත්තකි. එය අසංඛත ය. චිත්ත චෛතසික හා රූප ලෞකික ඥානය අරමුණු වන
අතර නිවන අරමුණු වනුයේ ලෝකෝත්තර ඥානයට ය.
ඊ) නිවන යන පදයෙන් නිවීම, පැවැත්ම, නො පැවැත්ම වශයෙන් අර්ථකතනය කෙරේ. බුද්ධ ධර්මය
නිර්දේශය කරන විමුක්තිය හැඳින්වෙන්නේ නිර්වාණ (නිබ්බා) නිවන යන නමින් ය. බුදු දහමේ
ඉගැන්වෙන පරම නිෂ්ටාව නිවනයි.”නිබ්බාණ පරමංසුඛං” නිවන උතුම් සැපයයි. (ධම්ම පදය)
නිවන සාක්ෂාත් කළ බුදුරජාණන් වහන්සේ හඳුන්වා ඇත්තේ නිබ්බුත සිතිභූත (නිවුන
සිසිලවුණ) පුද්ගලයකු ලෙසයි. පහන නිවී යන්නාක් මෙන් විමුක්තිය පුද්ගලයා ද නිවී යන බව
සඳහන් වන නිබ්බන්ති ධීරා යථා යම්පදීපො යන්න රතනසූත්‍රයෙන් එය වඩාත් පැහැදිලි වෙයි.
නිවන විවිධ උපමා ආශ්‍රයෙන් විවරණය කොට ඇත. නිර්වානගාමි පුද්ගලයා සියලු දුක්වලින්
මිදේ (සංයුත්ත නිකාය) නිවන පරම සුවයකි. නිවන් සුවය සාක්ෂාත් කළ පුද්ගලයා නැවත
කවදාවත් සංසාරික දුකට පත් නොවේ. මෙසේ නිවන පරම සැපයක් ලෙස හැඳින්විය හැකි ය.
6. අ. මිනිස් සිත මොහොතක් පාසා ලෝහ, ද්වේෂ, මෝහ යන කෙලෙස්වලින් කිලිටි බවට පත් වේ.
නුවණ ඇති පුද්ගලයා කල්‍යාණමිත්‍ර ආශ්‍රය ද ලබා ගෙන ප්‍රථමයෙන් ස්වකීය බාහිර ජීවන
රටාව පිරිසුදු කර ගැනීමට උත්සාහ ගනී. කය හා වචනය සංවර කර ගැනීමෙන්, හික්මවා
ගැනීමෙන් බාහිර සමාජයෙන් පැමිණෙන දුක් ගැහැට ඉවත් කර ගනී. ආශි‍්‍රත සමාජය තුළ
පි‍්‍රයජනක බවට පත්වෙයි. හෙතෙම තවදුරටත් ඉදිරියට ද පියවරක් තබා සිත හික්මවා ගැනීමට
ද ක්‍රියා කරයි. සිතට නැඟ එන රාගාදී අකුසල සිතුවිලි මැඬ පවත්වා කුසල සිතුවිලි
වැඩීමේ එම ක්‍රියා මාර්ගය භාවනාව නමින් හැඳින්වේ.
ආ. සමත, විදර්ශනා භාවනා
ශීල සංවරය හුදු තාවකාලික හික්මීමකි. එයින් ලැබෙන පරිචය සිත් එක් අරමුණක තබා ගැනීමේ
ක්‍රියා මාර්ගය සඳහා මහෝපකාරී වෙයි. සිත වනාහි දියෙන් ගොඩ ගත් මසෙකු සේ නිතර
සැලනේනකි. එක් අරමුණක නො නැවතී විසිරී පවතින්නකි. බුද්ධි සම්පන්න පුද්ගලයා ජීවිතයේ
වටපිටාව හා අත්දැකීම් මාර්ගයෙන් සිය සිත දෙස හැරී බැලීමට උත්සුක වෙයි. එමඟින් සිත
එක් අරමුණකට නංවා ගැනීමෙන් කුසල් සිතෙහි රඳවා තැබීම සමාධී නාමයෙන් ගැනේ. එය ශීල
සංවරය තුළින් පිහිටු වන මූලික පදනම මත ම රැඳවිය යුතු හෙයින් කුසල් සිත්හි
ඒකාග්‍රතාව සමාධිය යි කියනු ලැබේ.
බාහිර හා ආධ්‍යාත්මක ලෝකය අරමුණු කොට ගෙන සිත දෙස බැලීම නම් වන මේ භාවනාව සමථ –
විපස්සනා යනුවෙන් දෙවැදෑරුම් කොට හැඳින්වේ. විමුක්තිගාමී මාර්ගයෙහි දෙවන පියවර වන
සමාධිය සමථ මාර්ගයෙන් ලබා ගන්නා අතර බෞද්ධ භාවනා ක්‍රමයෙන් ම සාක්ෂාත් කටයුතු වු
ප්‍රඥාවබෝධය විපස්සනා මඟින් ලබා ගත හැකි ය.
ඉ) කෙලෙස් යන වචනය බෞද්ධ අපි හැම කෙනෙක් ම අසා ඇත්තෙමු. කෙලෙස් යනු කයින් හෝ
වචනයෙන් පුද්ගලයා අයහපතට යොමු කරවන චෛතසික ධර්මයන් ය ප්‍රකෘතියෙන් පිරිසුදු වූ සිත
අපිරිසුදු කිරීමත් කිලිටි කිරීමත් ක්ලේශධර්මවල ස්වභාවය යි. එබැවින් ක්ලේශ ධර්ම
පුද්ගලයාගේ ආධ්‍යාත්මික දියුණුවට බාධා පමුණුවයි.
කෙලෙස් ධර්ම අතරින් පංච නීවරණ යන විශේෂ නමයකින් හඳුන්වයි. ධ්‍යාන ආදී වශයෙන් ඇති වන
කුසල සිත් වළක්වන හෙයින් ද, නිවන් මඟ අවුරාලන හෙයින් ද එම ධර්ම නීවරණ නාමයෙන්
හැඳින්වේ. සැම ක්ලේශ ධර්මයන් ම නිවනට බාධක වන නමුත් ප්‍රධාන වශයෙන් මෙම ක්ලේෂ ධර්ම
පහ නිවනට බාධක බැවින් නීවරණ යන විශේෂ නමින් හඳුන්වා ඇත.
විචිකිච්ඡාව යනු සැකයයි. මෙහි නීවරණයක් හැටියට ගන්නා සැකය නම් බුද්ධාදී අටතැන් හී
ඇත් කර ගන්නා සැකයයි. එනම්,
1. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකය,
2. නව ලෝකෝත්තර සද්ධර්මය පිළිබඳ සැකය
3. ආර්ය සංඝයා පිළිබඳ සැකය
4. ශික්ෂා පද පිළිබඳ සැකය
5. අතීත භාව පිළිබඳ සැකය
6. අනාගත භාව පිළිබඳ සැකය
7. අතීත අනාගත භව දෙකම පිළිබඳ සැකය
8. හේතු ඵල ධර්ම පිළිබඳ සැකය.
යන කරුණු 8 පිළිබඳ ඇති කර ගන්නා විමතිය මෙහි සැකය හෙවත් “විචිකිච්ඡාව“ යනුවෙන්
අදහස් කෙරේ.
ඊ) අකුසල සිතිවිලි පහළ වීම මිනිස් සිතේ ස්වභාවයකි. ලෝභ, දෝෂ, මෝහ යන අකුසල මූල නිසා
රාගාදී කෙලෙස් සිතිවිලි පහළ වේ. එසේ පහළ වන රාගාදි කෙලෙස් සිතිවිලි මැඬ පවත්වා කුසල
සිතිවිලි සිත්හි උපදවා ගැනීමට සිත පුරුදු පුහුණු කිරීම භාවනාවයි.
යහපත් කුසල් සිත්හි එකඟතාව සමාධි නමින් හැඳින්වේ. සමාධිය නිවනට මුල් වෙයි. සමාධිය
ඇති කර ගත හැක්කේ විවිධ අරමුණු කරා විසිරී යන සිත යහපත් එක් අරමුණක රඳවා ගැනීමෙනි.
එය කළ හැක්කේ කිසියම් අරමුණක් මුල් කොට භාවනාව මඟින් ඇති කර ගන්නා සිතේ එකඟතාවයෙනි.
ඒ සඳහා සමථ භාවනාවට අදාළ සම සතළිස් කමටහන් හෝ විදර්ශනා භාවනාවට අදාළ ත්‍රිලක්ෂණ
අරමුණු කොට ගත හැකි ය.
භාවනාව හුදෙක් ලෝකෝත්තර සම්පත් සඳහා පමණක් ඉවහල් වන්නක් නොවේ. මෙලොව වශයෙන්
මිනිසාගේ හැසිරීම යහපත් අතට යොමු කර ගැනීමට භාවනාව ඉවහල් කර ගත හැකි ය. මිනිස් සිත
බාහිර ලෝකයේ සීමා රහිත ලෙස හැසිරීමෙන් රාගාදි කෙලෙස්වලින් නිතර කිලිටි වේ. කිලිටි
මනසින් යුත් මිනිස්සු නිරන්තරයෙන් ම වැරැදි ක්‍රියාවලට පෙළඹෙති. එය පුද්ගලයාගේ
මෙන්ම සමාජයේ ද යහපත් පැවැත්මට බාධාවකි.
ඒ නිසා මිනිස් සිත බාහිර ලෝකය වෙත අසීමිත ආකාරයෙන් විසිරී යාමට ඉඩ හැරීම බුදු දහම
අනුමත නොකරයි. විවිධ අරමුණු වෙත නිරායාසයෙන් විසිරී යන සිත එක අරමුණක් මුල් කොට තමා
දෙසට යොමු කිරීමේ ප්‍රායෝගික මාර්ගය භාවනාවයි.
එමඟින් සිත දමනය කර ගැනීම නිසා අවශ්‍ය අවස්ථාවක අවශ්‍ය අරමුණ කරා පහසුවෙන් සිත යොමු
කිරීමට අවශ්‍ය මානසික හැඩගැසීම ලැබේ.
යාම්, ඊම්, ඉඳීම් හිටිම් යන සතර ඉරියව් සංවරය සන්සුන්ව මැනවින් පවත්වා ගැනීමට
භාවනාව උපයෝගී කර ගත හැකි ය.
සාර්ථක ජීවිතයක් සඳහා භාවනාව ලෝකෝත්තර සම්පත සඳහා මෙන් ම පුද්ගලගත හා සමාජගත සුභ
සිද්ධියට ඉවහල් වන බව මෙයින් පැහැදිලි වේ.
III කොටස
7) යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහි නොකෙරේ නම් හෙතෙම සිය ගෙයින් බැහැර ගියේ නමුදු බොහෝ
ආහාර ඇත්තෙක් වෙයි. බොහෝ දෙනෙක් ඔහු ඇසුරෙන් ජීවත් වෙයි.
යමෙක් මිතුරන්ට ද්‍රෝහි නොකෙරේ නම් හෙතෙම යම් යම් ජනපද නියම් ගම් රාජධානි ආදිය කරා
ගියේ නමුදු ඒ සියලු තන්හි පුදන ලද්දේ වෙයි.
යමෙක් මිතුරන්ට ද්‍රෝහි නොකෙරේ නම් ඔහුට සොරු හිරිහැර නො කරති. රජු අවමන් කොරයි.
ඔහු සියලු සතුරන් මැඬ ගෙන යයි.
යමෙක් මිතුරන්ට ද්‍රෝහි නොකෙරේ නම් හේ කෝපයෙන් තොරව සිය ගෙට එයි. සභායෙහිදි සතුටු
වූයේ වෙයි. නෑයන්ගේ උතුම් නෑයා වෙයි.
8) අනතුරුව ඒ අවුරුද්දේ ම විහාරමහා දේවිය අනෙක් පුතකු වැදුවා ය. ඔහුට තිස්ස යයි නම්
කළාහු ය. ඒ කුමාරවරු දෙදෙන දිව්‍ය කුමාරවරුන් මෙන් මහත් පිරිවරක් වැඩෙත්.
ඉක්බිති බත් කැවීමේ මඟුල පැමිණ කල්හි රජතුමා පන්සියයක් පමණ භික්ෂු සංඝයාට ආරාධනා
කොට මහදන් පවත්වා භික්ෂූන් වළඳන කල්හි රන් බඳුනක් ගෙන දේවිය සමඟ සියල්ලන්ගෙන් ඉඳුල්
බත් ටික ටික ගෙන මෙසේ දිවිරීම කරමින් කුමරුන් ඉදිරියෙහි තැබූහ. පුතුනි තොප මේ ලෝක
ශාසනභාරය උදුරා ඉවත් කර දමන්නාහු නම් නුඹලාගේ කුසට ගිය මේ ආහාරය නො දිරවා යි දෙමිය.
|