[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් පුර අටවක පෝ දා 2024-04-15

අදැහැමිකම් එපා

න අත්තහෙතු න පරස්ස හෙතු
න පුත්ත ම්ච්ඡෙ න ධනං න රට්ඨං
න ඉච්ඡෙය්‍ය අධම්මෙන සමිද්ධි මත්තනො
ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා

“අදැහැමි ව යස ඉසුරු ලැබීම කැමැති නොවන පුද්ගලයා සිල්වතෙකි. නැණවතෙකි. දැහැමියෙකි.” යි ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ දී අප බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. සමාජයක සැබෑ සංවර්ධනය සිදු වන්නේ, සාමකාමී, ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය වන්නේ මෙවැනි සත්පුරුෂයන් බහුල වන තරමට ය.

එහෙත් අද සමාජය එවැනි ආශ්චර්යවත් තැනක සිටී ද යන්න පිළිබඳ ඇත්තේ ගැටලුවකි. ඇස ගැටෙන බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ ඉක්මනින් පොහොසත් වන්නට ය. විශේෂයෙන් අසල්වැසියෙක්, තමන්ගේ සමීපතමයෙක්, ඥාතියෙක් ධනයෙන්, බලයෙන් ඉහළට යන්නේ ද තමන් ද ඒ තැනට ළඟා වෙන්නට, එසේත් නැතිනම් තමන් ධනවතෙකැයි ලෝකයට පෙනෙන්නට කටයුතු කරන්නට පෙළඹෙන අය අපමණවත් වෙති.

තමන් ඉන්නා තැනින් යම් තරමකට හෝ ඉහළට යෑම නුසුදුසු නොවේ. සම්බුදු දහම පුද්ගලයාගේ ලෝකෝත්තර දියුණුව සේ ම ලෞකික දියුණුව ද අත්‍යවශ්‍ය බව අවධාරණය කොට තිබේ. දිළිඳු බව දුකක් යැයි ද උගන්වා තිබේ. දිළින්දෙකුට ජීවිතය ගැට ගසා ගන්නට, එදා වේල සරි කර ගන්නට වෙහෙසෙනවා විනා ආධ්‍යාත්මික දියුණුවක් ලබන්නට, ඒ ගැන සිතා බලන්නට මානසික වාතාවරණය ඉතා අවම ය.

එහෙත් මම ඉතා දිළිඳු වූයෙමි. හොඳින් හෝ නරකින් හෝ මුදල් උපයා මම ඉක්මනින් පොහොසතෙක් වන්නෙමි යන අදහසින් හෝ, මගේ අසල්වැසියාට, මගේ සතුරාට, මගේ මිතුරාට උසස් ලෙස ජීවත් වන්නට හැකි නම් මට ද ඊට නොහැකියාවක් නැත. මම ද කෙසේ හෝ උසස් තැනකට පැමිණෙමි'යි හෝ ආදී ලෙස සිතා අර්ථ අනර්ථ නොසලකා ධනය උපයන්නට යෑම තමනුත් අනතුරේ වැටී අනුන් ද විපතට හෙළන වෑයමකි. යම් සුළුතරයක් මේ තැනට වැටී සිටින නිසා බහුතරයක් දුකට, පීඩාවට ගොදුරු වී සිටින ආකාරයක් අද අපි අත්විඳිමින් සිටිමු.

සිත, කය වෙහෙසවා දෑතේ දෙපයේ වීර්යයෙන්, දහදිය මහන්සියෙන් ධාර්මික ව උපයාගත් ධනය උතුම් වන බව ධර්මයේ සඳහන් ය.

එහෙත් අද ඇතැම් කෙනෙක් එසේ ධාර්මික ව උපයන ධනය ද මොහොතින් කොල්ලකෑමට වෙහෙසෙති. තවත් කෙනෙක් පහසුවෙන් ඉක්මනින් ධනවත් වන්නට නොකළ යුතු වෙළෙඳාම් කරති. මත්ද්‍රව්‍ය වෙළෙඳාම අද වන විට ඒ අතර මුල් තැනට වැටී ඇති බව පෙනෙන්නේ ඈත ගම් දනව්වල අපේ ඇතැම් තරුණ දරුවන් ගෙදර තිබෙන සේසතම සූරාගෙන ගොස් විකුණා මත්වෙන්නට දරන වෑයම දකින විට ය. මේ එක් පැත්තක් පමණි.

ජීවත්විය යුතු නිවැරැදි මාර්ගෝපදේශ සද්ධර්මය තුළ අන්තර්ගත ය. තථාගතයන් වහන්සේ සරණ ගිය අප වෙතින් කිසිවිටෙක, කිසිදු කරුණක් උදෙසා දුරාචාර සිදු නොවිය යුතු ය.

සරලව කියනවා නම් තමන් නිසා පව්නොකළ යුතු ය. තමන්ගේ දිවි පැවැත්මට, සුව පහසුවට වුවමනා දේ පිරිමසා ගන්නට පව් නොකළ යුතු ය. පවෙහි අනුබල නොදිය යුතු ය. අනුන් හේතුකොට ගෙන ද එපරිදිම ය. කිසිවක් කිසිවිටෙක අදැහැමෙන් නොපැතිය යුතු ය. සිල්වතෙක්, නැණවතෙක්, දැහැමියෙක් වන්නේ ඒ තැනට එන්නට සිත පුරුදු පුහුණු කළ පුද්ගලයා ය.

බක් පුර අටවක

අප්‍රේල් 15 සඳුදා අ.භා. 12.17 පුර අටවක ලබා 16 අඟහරුවාදා
අ.භා. 01.29 ගෙවේ.
15 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]