අනුන් කරන කියන දෙයට තමන්ගේ පින පව තීරණය කළ නොහැකියි

අනුන් කරන කියන දෙයට තමන්ගේ පින පව තීරණය කළ නොහැකියි

අප්පමාද රතො හොථ
සචිත්තමනුරක්ඛථ
දුග්ගා උද්ධරථත්තානං
පංකෙ සත්තොච කුඤ්ජරෝ
– ධම්මපදය, නාග වර්ගය

“නොපමා වන්න. තම සිත මොනවට රකින්න. විෂම වූ කෙලෙස් මඩින් තමන් ගොඩගන්න”

අප්‍රමාදවීමේ ඇති වැදගත්කම පැහැදිලි කරමින් දේශනා කළ ධර්මෝපදේශයක් ඉහතින් දැක්වේ. සම්බුදු හිමියන් සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කරන සමයේ එක් අවස්ථාවක සිදු වූ විශේෂ සිදුවීමක් නිසා මෙම දම්දෙසුම සිදු කර ඇත. මෙම ගාථාව දේශනා කිරීම සඳහා හේතු කාරණා වූ අවස්ථාව පිරික්සීම වැදගත්කමකින් යුක්ත ය.

බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ සිටින කාලයයි. උන්වහන්සේ සමඟ ඉතා සමීපව ඇසුරු කළ අයෙකි කොසොල් රජතුමා. මෙම රජතුමාට බද්ධේරක යන නමින් ශක්තිසම්පන්න ඇතකු විය. එම ඇතා, රජුගේ මෙන් ම ඇමැතිවරුන්ගේ, රාජපුරුෂයන්ගේ සහ නගර වැසියන්ගේ මහත් ආදරයට බඳුන් විය. ඒ සඳහා උදක්ම බලපෑවේ බද්ධේරක ඇතාගේ දක්ෂතා බව පැවසීම වරදක් නොවේ. ඌට ඕනෑම සතුරකු සමඟ සටනට ගොස් පරාජය කිරීමේ හැකියාව පවතී. ඉතින් මේ ඇත්රාජයා දවසක් මහා අවාසනාවන්ත අවස්ථාවකට මුහුණ දුන්නා.

බද්ධේරක ඇතා දිනක් මඩ සහිත වළකට වැටුණා. ගොඩට එන්න දැඟලුවත් ගොඩට එන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඉතින් ටිකින් ටික මඩ ගොහොරුවේ එරෙනවා මිසක ගොඩඒමක් නම් වුණේ නෑ. රජතුමාත්,රාජ පුරුෂයන් ඒකරාශි කර ගෙන ඇතා ගොඩට ගන්න මහන්සි ගත්තත් ඒක ලෙහෙසි දෙයක් වුණේ නෑ. ඉතින් මේ අවාසනාවන්ත අවස්ථාව දැක බලා ගන්න නගරවාසි මිනිස්සු බොහෝ සෙයින් රැස්වුණා. ඔවුන් මේ සිදුවීම දැකලා මහත් සේ කම්පාවට පත් වුණා.

මේ අතරේ ඇතා මෙහෙම කල්පනා කරන්නට වුණා.

“මං වෙන දවස්වල නම් මේ විදිහට ලජ්ජාසහගත අවස්ථාවකට මුහුණ දීලා නෑ. මං කොයිතරම් දක්ෂ වුණත් මෙතැනට රැස් වෙලා ඉන්න අය දකින්නේ මං මේ වෙලාවේ ශක්තිසම්පන්න භාවයෙන් තොර තැනැත්තෙක් කියලා. ඒ නිසා මම ම කොහොමහරි අනෙකාගේ උදව්වෙන් තොරව ම මේ වලෙන් ගොඩට එන්න ඕන. නැතිනම් ඒක මට මහ අපකීර්තියක්.

මෙහෙම හිතපු ඇත්රාජයා සියලු ශක්තිය යොදවා වළෙන් ගොඩට පැමිණියා. රැස්ව සිටි අය ඔල්වරසන්, දන්න පටන් ගත්තා. මේ සිදුවීම බලාගෙන සිටිය භික්ෂූන් වහන්සේ කිහිප නමක් බුදුන් වහන්සේ හමුවට ගොස් සිදුවූ සියලු දෑ උන්වහන්සේ හමුවේ ප්‍රකාශ කර සිටියහ. එම අවස්ථාවේ බුදුන් වහන්සේ මෙම ගාථාව දේශනා කරමින් උන්වහන්සේට සහ එම අවස්ථාවට පැමිණ සිටි ශ්‍රාවකයින් පිරිසට ධර්මය දේශනා කළ සේක.

මෙම ගාථාවෙන් පෙන්වා දෙන ජීවන දර්ශනය සුළුපටු එකක් නොවේ. අපගේ ජීවිතයේ තිබිය යුතු වැදගත් ම මනෝභාවයක් ලෙස අප්‍රමාදී වීමේ ගුණාංගය දක්වාලිය හැකි ය. මෙය මනෝභාවයක් ලෙස විශේෂයෙන් හඳුන්වා ඇත්තේ අප්‍රමාදීවීම යනු පුද්ගලයාගේ සිතිවිලි සමඟ ක්‍රියා කරන්නක් වන බැවිනි. ඉතින් අප්‍රමාදී වනවා නම් සිත මනාව මෙහෙයවා ගත යුතු නොවේද?

සිතක් හරි හැටි මෙහෙයවා ගන්නා හැටි බෞද්ධ අප අමුතුවෙන් ඉගෙන ගත යුතු නැත. බුදු දහමේ එන සරල කාරණාවලින් පවා සිත මෙහෙයවා ගැනීමේ ආකාරය පෙන්වා දී ඇති බව මේ මොහොතේ සිහියට නඟා ගන්න. හැකි සෑම විටක ම යහපත් දේ කිරීමට සිත මෙහෙයවා ගැනීම බෞද්ධයාගේ මූලික ලක්ෂණයක් මෙන්ම අභිප්‍රායයක් ද විය යුතු ය. ඉතින් අප්‍රමාදී වන්න. සිත පෙරටුවේ තබාගෙන යහපත් ක්‍රියා සිදු කරන බව අමුතුවෙන් කිය යුත්තක්ද?

එපමණක් ද නොව අප්‍රමාදීවීමේ වැදගත්කම සහ ප්‍රමාදවීමේ ආදීනව දක්වමින් ධම්මපදයේ අප්පමාද වග්ගයේ සුවිශේෂ ගාථා 12ක්ද අන්තර්ගතව ඇත. ඉන් වැදගත්ම ගාථාව ලෙස පහත ගාථාව පෙන්වා දිය හැකි ය.

අප්පමාදො අමතපදං
පමාදො මච්චුනො පදං
අප්පමත්තා න මී යන්ති
යෙ පමත්තා යථා මතා

මෙම ගාථාවෙන් පෙන්වා දෙන්නේ අප්‍රමාදී වන්නා නිවන් පදය සාක්ෂාත් කර ගන්නා බවයි. එසේම ප්‍රමාදී වන්නා මරණයට පත්වන බව පෙන්වා දෙයි. අප්‍රමාදී වූවෝ කිසිදිනෙක නොමැරෙන අතර, ප්‍රමාදීවූවන් ජීවත් වී සිටිය ද මැරුණා හා සමාන බව දක්වාලීමෙන් අප්‍රමාදී වීමේ වැදගත්කම අවබෝධ කර ගත හැකි වන්නේ ය. අප අප්‍රමාදී විය යුත්තේ කුමක් නිසාද යන්න ඉන් පසු අවබෝධ කර ගත යුතු ය.

අප බෞද්ධයන් වශයෙන් ක්‍රියා කරන නිසා අප සැමගේ ඒකායන පරමාර්ථය විය යුත්තේ නිර්වාණ පදය ශාක්ෂාත් කර ගැනීම කෙරෙහිය. ඒ සඳහා අප්‍රමාදී ව ක්‍රියා කිරීමයි. මේ ලබාගත් දුර්ලභ ගණයේ මනුෂ්‍ය ආත්මය කිසිදු කුසලකර්මයක් නොකර හිස් එකක් බවට පත් කරගෙන ජීවත් වන්නේ නම්, වර්ෂ සියයක් ජීවත් වුවත් කිසිදු ඵලයක් නෙැත්තේ ම ය. මේ කරුණ දැන හඳුනාගෙන ලෞකික ජීවිතය සාර්ථක කර ගන්නා ගමන් ම ලෝකෝත්තර ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා වෙහෙස ගත යුතු ම ය. නොඑසේ නම් අප ද ජීවත් වූවත් මැරුණා හා සමාන ය.

අප්‍රමාදී වීමට නම් උත්සාහය තිබිය යුතු ය. උත්සාහය කියන්නේ ද අතිශයින් වැදගත් මනුෂ්‍ය ලක්ෂණයකි. උත්සාහයෙන් තොරව කිසිම දෙයක් සාර්ථක කර ගැනීමට නොහැකි බව ඔබට ඔබේ ජීවිතයෙන් ම පසක් කර ගත හැකි නොවේද? එසේ හෙයින් ලෞකික සහ ලෝකෝත්තර ජීවිතයන් සඳහා සාර්ථකත්වයක් උදා කර ගැනීම පිණිස අපි අප්‍රමාදි වෙමු.

දෙවැනිව පෙන්වා දී ඇත්තේ තමාගේ සිත සංවර කර ගන්නා ලෙසයි. සිත සංවර කර ගන්නවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නොවේ. තම තමන් සිත දමනය කර නොගැනීමේ විපාක අද අපි සමස්තයක් වශයෙන් භුක්ති විඳිමින් සිටී. සමාජයේ දිනෙන් දින හිස ඔසවන දූෂණය, වංචාව, මිනීමැරුම් ආදි දේ සඳහා ප්‍රබලව බලපාන්නේ සිත සංවර කර නොගැනීම බව ඔබට අමුතුවෙන් කියා දිය යුතුමද? කෙසේ හෝ අද සමාජය පිළිකුල්සහගත තත්ත්වයකට ඇද දමා ඇත්තේ ආශාවන් කරා දිව යාම නිසා නොවේද? කෙසේ නමුත් පෞද්ගලික වශයෙන් හෝ සිත සංවර කර ගැනීම ඔබ සතු වගකීමයි. අනෙකා විසින් කරන කියන දෑ තමන්ගේ කුසල් අකුසල් ගොඩට නොවැටෙන බව දැන තමා විසින් ම කරන කියන දෑ තමන් වෙතටම වැටෙන බව පමණක් සිත්හි තබා ගෙන කටයුතු කළ යුතු වේ. ඒ නිසා සිත සංවර කර ගැනීම අත්‍යවශ්‍යම කරුණක් බව ඔබ අවබෝධ කර ගන්න.

සම්බුදු හිමිවරුන්ගේ අනුශාසනාව වන්නේ,

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
ඒතං බුද්ධානසාසනං

යන්නයි. මෙහි තෙවැනි ව ඇත්තේ තමාගේ සිත දමනය කරගත යුතුයි. (සචිත්ත පරියෝදපනං) යන්නයි. එය තවත් හොඳින් දැක්වූ අවස්ථාවක් ධම්මපදයේ ම පෙනේ.

කායෙන සංවරො සාධු
සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු
සාධු සබ්බත්ථ සංවුතො

යනුවෙන් හැඳින්වෙන තැන කයෙන්, වදනින්, සිතින් යන ද්වාරත්‍රයෙන් ම සංවර වීම නිසි සංවරත්වයට පත්වීම ලෙස දක්වා තිබේ. සිතින්, කයින්, වචනයෙන් සිදුවන අකුසල කර්ම දුරලීම ම පුද්ගල සංවරභාවයට පත්වීම බව දැන් ඔබට වැටහෙනවා නේද? එසේ නම් අපත් කළ යුතු වන්නේ මෙකී කරුණු සඵල කර ගැනීමයි. මෙකී ධර්මෝපදේශ මනාව වටහා ගෙන අපගේ ජීවිත සාර්ථක කර ගැනීමට අපිත් වෙහෙසෙමු. ජීවිතයට සැහැල්ලුවක් ඔබට දැනේවි.

බක් පුර අටවක

අප්‍රේල් 15 සඳුදා අ.භා. 12.17 පුර අටවක ලබා 16 අඟහරුවාදා
අ.භා. 01.29 ගෙවේ.
15 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]