මා නැවතිණි ඔබ නවතින්න

මා නැවතිණි ඔබ නවතින්න

සම්බුද්ධ දේශනාව සමාජගත වූ ක්‍රි.පූ. හයවන සියවස භාරතය තුළ සොළොස් මහා ජනපද නිර්මාණය වූ කාල වකවානුවක් වූ අතර, එය ඇසුරේ විවිධ භාෂා ද නිර්මාණය විය. ගුජරාටි, මරාටි, ද්‍රවිඩ, බෙංගාලි, සංස්කෘත, මාගධී, පංජාබ, හිංගල ආදියයි. ඇතැම් භාෂා ප්‍රාකෘත වූ අතර, ප්‍රාකෘත හා අර්ධ ප්‍රාකෘත ද ඒ අතර විය.

මේ අතරින් සම්බුද්ධ දේශනාවට සුදුසුකම් ලද භාෂාව වූයේ පාලි හෙවත් මාගධිය යි. එයට හේතු භූත වූයේ පාලි යනු එවකට සමාජයේ සෑම ස්ථරයකට ම ඇමතිය හැකි පොදු භාෂාවක් හා සරල භාෂාවක් වීම ය. තවත් අතකින් බුදුදහමේ අරුත ඒ ආකාරයෙන් ම ග්‍රහණය කර ගත හැකි භාෂාව වීම ද විශේෂත්වයකි. පාලි හෙවත් මාගධිය යනු තුන් ලොවකට වැටහෙන බසක් වීම ද තවත් කරුණකි. බුද්ධ දේශනාව වූයේ භාෂාව යනු දැලි පිහියක් බවත්, එනම් ප්‍රවේශමෙන් භාවිත කළ යුතු බවත්, එය මෙවලමක් පමණක් බවත්, එම මෙවලම මනා ලෙස හසුරුවා ධර්ම සන්නිවේදනය කළ යුතු බවත් ය.

ඒ අනුව අංගුත්තර නිකායේ සුභාෂිත වාචා සූත්‍රයේ දී කරුණු පහක් යටතේ වචන සුභාෂිත වන අයුරු දැක්වීය. කාල භාෂා, සත්‍ය භාෂා, ශලක්ෂණ භාෂා, අර්ථ සහිත භාෂා, මෙත් සංහිත භාෂා ලෙස ය. ඒ අනුව යමින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා සරල ව, උපමා සහිත ව, ව්‍යංගාර්ථ සහිත ව සිදු කළහ. එබැවින් උන්වහන්සේගේ සුමධුර දේශනා කාලවාදී, භූතවාදී, අත්ථවාදී, සත්‍යවාදී හා විනයවාදී විය. භාෂාව තුළින් මනසේ චිත්තරූප මැවීමට සමත් විය. සුමධුර විය, මුල, මැද, අග සියලු තන්හි ධර්ම රසය ම මිස අනෙකක් නොවීය. ගමේ පිළිබඳ අරණ විභංග සූත්‍රය තුළ දී අපූරු ලෙස වර්ණනා කළහ.

ඒ ඇසුරින් රණ යනු යුද්ධ වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ යුද්ධය මෙහෙය වූයේ කෙලෙස් දුරු කිරීමට ය. ඒ තම සිත සමඟ කල සටනක් විය. අරණ යනු එම කෙලෙස් නසා ලැබු ජය හෙවත් නිර්වාණය වේ.

බුද්ධ දේශිතය වුයේ භාෂාව තුළ වුව ද නො ඇලෙන ලෙස ය. භාෂාවක පද තුළ නොව ඉන් ගම්‍ය වන දහම් කාරණා පසුපස හඹා යන්න. භාෂාව යනු මෙවලමකි. නිදර්ශන ලෙස පාත්‍රය පිණ්ඩපාතය උදෙසා භාවිත වන්නක් මිස කම්සැප උදෙසා ආභරණයක් නොවීය. බුදුන් වහන්සේ න භිති වෙසෙස්‍යෙය සමඤ්ඤං නාභිධා වෙයියානි ලෙසින් අරණ විභංගයේ දී දේශනා කරන ලද්දේ ද එය යි. ගැඹුරු අර්ථයට සිත යොදන්න. ලෝක ව්‍යවහාරය දැඩි ලෙස අල්ලා නො ගන්නා ලෙස ය. එබැවින් බුදුරජාණන් වහන්සේ භාෂාව තුළ සංගීත රසයක් ඉස්මතු නො කළහ. හීනං ගම්මං පොථුජ්ජනීයං ලෙසින් වදාළහ. ක්ලේශ ගින්නෙන් නිවීමේ යහපත් පරම සුඛය නිර්වාණය බව වදාළහ. දේශනාව මධ්‍යස්ථ විය. ඒ තුළ කිසිවකුත් උස් පහත් නොකළහ. අභ්‍යන්තර බාහිර සැමතැන්හි ම ධර්ම රසය විනා කාම රසය ඉස්මතු නොවීය.

බුදුරජාණන් වහන්සේ ගීත රසය ප්‍රතික්ෂේප නො කළහ. එබැවින් පංචශිඛගේ ගීතය ද රසවිඳ අගය කළහ. පංචශිඛ ධම්ම රසය තම ප්‍රියාවියගේ ආදරය හා සමකොට විඳගත්තෙකි. එහෙත් ඒ තුළ කිඳා නොබසින ලෙසත්, යථාවබෝධය තුළ ජීවිතය විඳීන්න යැයි ද බුදුන් වහන්සේ වදාළහ.

ඇසෙන දේ ඇසීම පමණක් ය, දකින දේ දැකීම පමණක් ය, එහි අල්ලා ගැනීමක් නොවීය යූතු ය. තම සිතින් යමක් තදින් විඳිනා කල්හී රණ භූමිය නිර්මාණය වන බවත්, ඒ සියල්ල ඒ මොහොතේ බැහැර කරන කල්හි අරණවන අයුරුත් මනාව පැහැදිලි කළහ. හදවත අරණ වූ කල්හි සංඛාර උදෙසා තෝතැන්නක් නොමැත. එබැවින් කාම, භව, විභව තණ්හා කොහේ හට ගන්නෙහි ද අරණ වූ සිතක් වූ කලි සසරක නිමාව සනිටුහන් වූවකි. හට ගැනීමට හේතු කාරණා නැසූ කල ඵලයක් ද නූපදිනු ඇත.

නිවන් සැප ලැබේවා කියා භාෂාව තුළ පැවසුව ද එය මරණයෙන් මතු උදාවන්නක් නොව නිවීම සිදුවනුයේ ජීවත්ව සිටිනා විට දී ය. එසේ නම් නිවන් සැප පැතිය යුත්තේ මරණයෙන් මතු නොවන බව ඔබට වැටහෙනු ඇත. එබැවින් භාෂාවක මතුපිට අරුත නොව යටි අරුතට සිත යොමු කළ යුතු ය.

අංගුලිමාල දමනයේ දී භාග්‍යවතුන් වහන්සේ මා නැවතිණි, ඔබ නවතින්න ලෙස වදාළේ ද එවැනි අරුතිනි. බුදුන් වහන්සේ ක්ලේශ පසුපස හඹායාම නතර කළ උත්තමයෙකි. අංගුලිමාල යනු ක්ලේශ ලුහුබඳීමින්, ක්ලේශ එකතු කරමින්, එය ගෙල පැළඳ සිටි‌යෙකි. බුද්ධ භාෂිතය තුළ ඔහුගේ සංග්‍රාමය කෙළවර විය. එයට බුදුන් වහන්සේ භාවිත කරන ලද්දේ භාෂාවේ සුළු වදන් කිහිපයක් පමණි.

සසර පිනැති උතුමෝ වරදේ බැඳුණු නමුදු ධම්ම පදයක් සවන වැකුණු සැණින් සම්මා දෘෂ්ටිය ලැබ ප්‍රමාදී ව වැඩ කළ ද වළාකුළින් මිදුණු චන්ද්‍ර මණ්ඩලය සේ අප්‍රමාදී වීමෙන් අමාමහ නිවන් ඵලය ලබා ගන්නා සේක. එම නිවන උදෙසා භාෂාවක් අත්‍යවශ්‍ය නො වන්නේ ය. අවශ්‍ය වනුයේ අවබෝධය ම පමණි. අවබෝධයට අවශ්‍ය වනුයේ ප්‍රඥාව පමණි. එයට කදිම නිදර්ශනය ගෙනහැර පානුයේ චුල්ලපන්ථක තෙරුන්ගේ කතා වස්තුව වේ.

උන්වහන්සේට යථාවබෝධයට මෙවලම වුයේ පිරිසුදු රෙදි කඩක් මිස භාෂාව නොවේ. ආර්ය මඟෙහි කෙළවර ද අපට විග්‍රහ කරන ලද්දේ එම ප්‍රඥාව උදා කර ගන්නා මාර්ගය ම වේ. ඒනම් සීල, සමාධි, ප්‍රඥා මඟට පිවිසීමෙනි.

සැබවින්ම නිවනේ යථා ස්වභාවය භාෂාවක් තුළින් විග්‍රහ කිරීම අසීරු ය. අති පරම නිවීම ප්‍රකාශ කිරීමට තරම් භාෂාවක වදන් ප්‍රමාණවත් නොවෙයි.

එබැවින් බුදුන් වහන්සේ තමන්වහන්සේගේ ධර්ම සන්නිවේදනයේ දී නා නා විධ දේශනා ක්‍රම භාවිත කරන ලදී. මජ්ක්‍ධිම නිකාය අරිය පර්යේෂණය තුළදී ලෝකය පියුම් විලක් සේ ස්තර තුනකින් අවබෝධ කොට ගෙන ඊට උචිත පරිදි ධර්ම දේශනා විවිධාංගීකරණය කළ බව පැහැදිලි කර දක්වා ඇත.

සමාජ මට්ටම් විෂම වන විටදී එකම ක්‍රමවේදයක් ඔස්සේ නිවන අවබෝධය අපහසු බැවින් භාෂාව තුළින් විවිධ ක්‍රම අනුගමනය කළහ. සම්මුති ලෝකයේ භාෂාත්මක ප්‍රයෝග රැසක් අනුගමනය කළහ.

මෙසේ සංයුත්ත නිකාය තුළ දී සෙය්‍යථාපී වු පෘථග්ජනයාට බුදුන් වහන්සේ නිර්වාණය සරල කොට අවබෝධයට පහසුව සැලසු බව නිදසුන් ලෙස දැක්විය හැක. මේ හේතුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ශ්‍රවණයට බොහෝ ජනකායක් නිබඳ එක්රැස් වූ බව සෝණදණ්ඩ සූත්‍රයේ දී ද විස්තර වේ.

සැබැවින් ම යම් යම් ක්‍රමවේද තුළින් නිවනට මාර්ගය දැක්වීම පමණක් තථාගතවරුනට කළ හැක. නිවනේ ස්වභාවය දැක්වීම පමණක් භාෂා ප්‍රයෝග තුළින් කළ හැක. එහි නියම නිවීමේ ඵලය ප්‍රඥාවට පමණක් ස්පර්ශ වන තම තම නැණ පමණින් නිවනේ ස්පර්ශය යථාවබෝධය ලබා ගත යුත්තකි. එවන් උත්තරීතර නිවීමක් අභියස ප්‍රඥාව මිස භාෂාවක් යනු කුමක්දැයි ඔබට වැටහෙනු ඇත.

එබැවින් ලෝක සත්‍යයන් ද්විත්වයක් නොමැත. ඇත්තේ එකම එක සත්‍යයක් පමණි. ඒ දුක්ඛ සත්‍යයි. එබැවින් භාෂා ප්‍රයෝග තුළ නො ඇලී, නො ගැටී ප්‍රඥාවන්ත ව එය අවබෝධ කර ගැනීම ඔබ සතු කාර්යයක් වේ. බුද්ධ ශ්‍රාවකයෝ ද ථෙර ථෙරීගාථා තුළ උදාන ලෙස සලකුණු කොට භාෂාවේ රසය නොව නිවන් රසය මෙබඳු යැයි දක්වා නැවත කිසිදා නොඑනා ඒ පරම සුවයට පත්වූ සේක.

බක් පුර අටවක

අප්‍රේල් 15 සඳුදා අ.භා. 12.17 පුර අටවක ලබා 16 අඟහරුවාදා
අ.භා. 01.29 ගෙවේ.
15 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]