පහන් සිතක කවි

බුදුපිළිම වහන්සේ

යනෙන මාවත
දැනෙන විඩාව
නසන මඟ
නගරය මැද
වැඩ සිටින
බුදුපිළිම වහන්සේ


සිතක පැතුම්

ගෙයක් නොවේ මට ඇත්තේ අම්බලමක්
ඒ ගැන සිතනවිට ඇත්තේ සැනසීමක්
ගෙන ආවේද නැහැ ගෙනියන කිසිම දෙයක්
මෙයින් පෙනේ දහමේ තිබෙනා දහමක්

උපත විපත මරණය ගැන මෙනෙහි කර
කෙලෙස් සතුරාව සිහියෙන් මෙල්ල කර
සනාතනික දහමට සිත නැඹුරු කර
නිවනින් නිවී සැනසෙමු සිත දියුණු කර

දහමට අපේ සිත නිතරම යොමු වේවා
මැද මාවතට හරි සිහියෙන් පැමිණේවා
අමා දහම් රස ගඟුලේ නැහැවේවා
අවසන් සිහියෙ බුදු බණ පද සිහිවේවා


සිරිපා නමදිමු

වීතරාගි මුනිඳු සිරිපද තැබුවෙ සමනල ශිඛර මත්තේ
සාධු නාදේ දසත පැතිරේ නිවන් දොරටුව ඇරී ඇත්තේ
සුමනදෙව් රජ තම අඩවියෙහි තෙද බලය පතුරුවා ඇත්තේ
සැදැහැයෙන් මුනිසිරිපා වඳින හැම දෙන රකියි සත්තේ


යශෝධරාවත

බුදු වෙන්නට පෙරුම් පිරූ
උත්තමයා නමින් දැරූ
කැපවීමයි මහා විරූ
යශෝධරා දිරිය හුරූ

බුදු මුවගින් අගය පිදූ
චරිත දෙකකි රැඳුණු සුදූ
මහා ප්‍රජාපතිය මුදූ
යශෝධරා අනෙක් ළඳූ

ඔහු දුක් විඳිනවා බැඳී
සැප කුමට ද මට ම රැඳී
තම දිවි පරදුවට පිදී
නොපැකිළ බුදු ගමන සැදී

බිඳුවක් නොපිටකට නොදී
වනගත වී ළඟම රැඳී
පෙරුම් පෙරූ වගට බැඳී
මෙහෙය ලියනු වදන් මදී


පින්පෙත් පුදා

සම්බුදු හිමි පහස ලද සමනල මුදුන
සුමන සමන් දෙවිඳුන් වැඩ සිටින
ලෝ වැසි සැමට සෙත දෙන සිත් සොඳින
සිරිපා සමය ඇරඹුණි සෙත් සුව සදන

දුක් දොම්නස් දුරු කරමින් මෙත් සිසිල දෙන
හදවත් සනසලා දුක් දුරු කර දෙමින
මෙත් කරුණා ගුණයෙන් ඔද තෙද වඩන
කරුණා කරමු සිරිපා දුක් ගිනි නිවන

ලෝ සතහට මෙත් කරුණා නෙත් විහිදූ
අම දම් රස බෙදා දී හදවත් සැනසූ
සෝ ගිනි දැල් නිවා ලොව්තුරු මග සෑදූ
පින් පෙත් පුදා සිරිපා නමදිමු සාධු

ඇල්.ජේ. ආනන්දශීලී පෙරේරා


අපේ විහාරය අපේ විහාරය

අල්ගම ග්‍රාමයෙහි ටවුමට යාබද ව
බැබළෙයි සෑ රදුන් කිරිපාටින් යුතු ව
මළුවෙන් විහිද එන දම් සිසිලෙන් මුසු ව
සුනන්දාරාමයයි මගෙ හදවත රැඳු ව

බෝ සමිඳුන් සැමට සිසිලස ගෙන එන්නේ
බෝ සමිඳුන් අපේ සිත් සනහාලන්නේ
දායක පින්වතුන් සතුටින් නමදින්නේ
නිවනට යන්න මඟ මේ බව දැන ගන්නේ

විහාරයේ වැඩ සිටිනා සඟ රුවන
කඩිසරකමින් නිතරම කටයුතු කරන
දායක පිරිස සමගි ව සතුටින් සිටින
හාරය අපේ බැබළෙයි දිනෙන් දින

සදහම් සිසිල මුළු ගම තුළ පැතිරේවා
වෛරය මාන්නය ක්‍රෝධය දුරුවේවා
සැම දෙන සැමට එක සේ මෙත් පැතිරේවා
පන්සල අපෙ දහම් සිසිලෙන් බැබළේවා

බක් පුර අටවක

අප්‍රේල් 15 සඳුදා අ.භා. 12.17 පුර අටවක ලබා 16 අඟහරුවාදා
අ.භා. 01.29 ගෙවේ.
15 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]