පවුල් ජීවිතයේ පැවැත්ම හෝ නැවැත්ම හෝ තීරණය කරන්නේ බිරිඳයි

 (සප්ත භරියා සූත්‍රය)

පවුල් ජීවිතයේ පැවැත්ම හෝ නැවැත්ම හෝ තීරණය කරන්නේ බිරිඳයි

භාග්‍යවතුන් වහන්සේගේ මහත්වූ අනුකම්පාවක්, මහත්වූ කරුණාවක් කාන්තාවන් කෙරෙහිත් යොමු වුණා. බුද්ධ දේශනාවේ තිබෙනවා කෙනෙක් කාන්තාවක් වී ඉපදෙන්නේ කෙලෙස් වැඩි නිසා කියලා. පුරුෂ ආත්මයක් ලබන්නට විශාල පිනක් රැස්කර ගෙන තිබෙන්නට ඕනෑ.

සසරේ බහුල වශයෙන් කරන ලද කර්ම දායාද කර ගෙන කාන්තාවක් වී ඉපදුණත් ඇයටත් පිහිටක් පිළිසරණක්, රැකවරණයක් ධර්මය තුළ තිබෙනවා. මේ ජීවිතයේ පුරුෂයාට නැති, කාන්තාවට ආවේණික වූ දුක් තිබෙනවා. කායිකව වගේම මානසිකවත් විවිධ දුක් පීඩාවන්ට, නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින ඇය ධර්මය වෙත ළං වුණොත් ඒ ජීවිතය සාර්ථක වෙනවා. බොහෝ දුක් පීඩා දුරු කර ගන්නට ශක්තිය ලැබෙනවා. ගුණධර්මයන්ගෙන් පෝෂිත කාන්තාවටත් පුළුවන් සුගති රැකවරණ සලස ගන්න.

ඒ වගේම කාන්තාව සතු වටිනාම ආභරණය තමා සීලය කියන්නේ. අප මේ මිනිස් ලොව ඉපදුණෙත් යම් සීලයක් සසරේ රැස් කළ නිස යි. එනිසයි අපි සද්ධර්මය ඇසෙන මානයක ජීවත් වෙන්නේ. ඇතැම් කාන්තාවන් සසරේ සිල් රැකලා ඒ හුරුව නිසා මේ ජීවිතයේ සීලයට දිවි පුදා සිල්වත් ජීවිත ගත කරනවා. ඒ වගේම ඇතැම් පිරිසක් දුස්සීලවීමේ ආදිනව දැකලා ඒ ගැන අහල බය උපදවා ගෙන සිල්වත් වෙනවා. තවත් පිරිසක් සසරේ දී සීලයට අනුග්‍රාහ කරලා නැති නිසා බොහෝම දුෂ්කරවයි සිල් රැකීම සිදු කරන්නේ. නමුත් ඇය සීලයට ආශා කරනවා.

මේ ආකාරයට විවිධ පැතිකඩයන් ඔස්සේ කාන්තාවගේ ජීවන රටාව ගලා යනවා. මේ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ වදාළ සුන්දර දේශනාවක් අපට අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සත්තභරියා සුත්තං (සත්ත භාර්යාවන් ගැන වදාළ දෙසුම) නමින් දේශනාවක් හමුවෙනවා. මේ දේශනාවෙන් විස්තර වන්නේ යම් බිරිඳක් සුගතියට යනවා ද දුගතියට යනවා ද කියා ඇයට ම තීරණය කරන්නට හිතන්නට අවස්ථාව ලබාදීමක්. මරණින් මතු තමාගේ උපත සුගතියට ද, නිරයට ද කියා ඔබට ම තීරණය කරන්න පුළුවන්කම තිබෙනවා.

අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ දිනවල සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටියා. දිනක් අනේපිඬු සිටාණන්ගේ ආරාධනය පරිදි භාග්‍යවතුන් වහන්සේ එතුමාගේ නිවසට දනට වැඩම කළා. වැඩම කරලා පණවන ලද ආසනයේ වැඩ සිටියා.

ඒ වෙලාවේ නිවස ඇතුලේ මහා කලබලයක්, ඝෝෂාවක්, රණ්ඩුවක් ඇසුණා. සිටුතුමා හිටියේ භාග්‍යවතුන් වහන්සේ අසලයි. භාග්‍යවතුන් වහන්සේ සිටුතුමාගෙන් මෙසේ අසා වදාළා.

“ගෘහපතිය, ඔබගේ නිවස ඇතුළෙන් එන මේ ඝෝෂාව කුමක් ද? හරියට මසුන් මරණ තැනක උස් හඬින් මහා හඬින් ඝෝෂා කරනවා වගේ. ඒ වෙලාවේ අනේපිඬු සිටුතුමා කියනවා.

“අනේ භාග්‍යවතුන් වහන්ස, විශාඛා සිටු දියණියගේ නැගණිය වන සුජාතාවෝ අපේ නිවසට ලේලියක් ලෙස කැඳවා ගෙන ආවා. ඇය ඉහළ කුලයක දියණියක්. නමුත් ඇය නැන්දණියට සවන් නො දෙයි. මාමණ්ඩියට සවන් නො දෙයි. සැමියාට ගෞරවයක් හෝ සවන්දීමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේට පවා ගෞරව බුහුමණක් කරන්නේ නැහැ. පුද සත්කාර කරන්නෙත් නැහැ.

භාග්‍යවතුන් වහන්සේ වදාළා. “සිටුතුමනි, සුජාතා සිටු දියණියට එන්න කියන්න”

සුජාතා භාග්‍යවතුන් වහන්සේගේ වදන පිළිගෙන ඉදිරියට ආවා. පැමිණ වන්දනා කර එකත්පසව සිටියා. භාග්‍යවතුන් වහන්සේ සුජාතා කුල දියණියගෙන් මෙසේ අසා වදාළා.

“සුජාතාවනි, මේ ලෝකයේ බිරින්දෑවරුන් හත්දෙනෙක් ඉන්නවා. සියලුම බිරින්දෑවරියන් මේ හත් කොට්ඨාශයෙන් එකකට අයිති වෙනවා. ඒ වධක සමා, චෝරි සමා, ආර්ය සමා, මාතු සමා, භගිනි සමා, සඛී සමා සහ දාසි සමා.

“අනේ භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කෙටියෙන් කියන ඒ බිරින්දෑවරු ගැන තේරෙන්නේ නැහැ.

“එසේ නම් සුජාතාවනි, අසන්න. මැනවින් මෙනෙහි කරන්න. පවසන්නම්.’ විවාහක කාන්තාවක් වධකයකුට සමාන වූ බිරිඳක්, සෙරකට සමාන වූ බිරිඳක්, ආර්යාවකට සමාන වූ බිරිඳක්, නැතිනම් මවකට සමාන බිරිඳක්, යෙහෙළියකට සමාන බිරිඳක්, සොහොයුරියකට සමාන බිරිඳක්, දාසියකට සමාන වූ බිරිඳක් වශයෙන් හත් දෙනෙක් සිටිනවා. ඔබ මෙයින් කවර තැනැත්තියක් ද?

“ස්වාමීනි ඒ බිරින්දෑවරුන් ගැන මට විස්තර වශයෙන් පහදා දෙන සේක්වා”

වධක භරියා

මේ බිරිඳ නිතර ම තම ස්වාමියාට වධ දෙන කෙනෙක්. සැමියාට සැනසීම දෙන්නේ ම නැහැ. පොඩි දෙයටත් රණ්ඩු කරනවා. නිතරම ඝෝෂාකාරිව කියවනවා. ඇය දුෂ්ඨ සිතින් යුක්ත යි. කිසිදු හිතානුකම්පාවක් නැහැ. අන් පුරුෂයන් කෙරෙහි ඇලුනු ස්වභාවයෙන් යුක්තයි. තම ස්වාමියා ඉක්මවා සිතනවා. නිතරම ස්වාමියාට වධ දීම පිණිස උත්සාහ කරනවා. සැමියා දුක් මහන්සියෙන් උපයන දේ නිකරුණේ වියදම් කරනවා. අවශ්‍ය දේ වගේම අනවශ්‍ය දේත් ඉල්ලමින් වධ දෙනවා. පුරුෂයකුට මෙවැනි බිරිඳක් සිටීනම් ඔහු වධක භාර්යාවයි.

චෝර භරියා

ඇය සෙරක්. ස්වාමියා ශිල්පයෙන් වේවා, වෙළඳාමෙන් වේවා, ගොවිතැනින් වේවා, කර්මාන්තයෙන් වේවා, යම් ධනයක් උපදවයි ද, ඒ බිරිඳ ධනය සොරකම් කරනවා. අන්

පුරුෂයන්ට ඒ ධනය දෙනවා. සැමියා ඉක්මවා බිරිඳ යම් දෙයක් කරයි ද ඇය සෙරක්. මෙබඳු බිරිඳක් යම් සැමියකුට ලැබෙයි ද, චෝර භාර්යාව වෙනවා.

ආර්ය භරියා

සුජාතා, මේ බිරිඳ ළමා තැනී හා සමාන බිරිඳක්. ඇය නිවසේ වැඩ කරන්නට කැමැති නැහැ. අලස යි. ඇය ගෙදර පාලනය තමා අතට ගන්නවා. ස්වාමියා යටත් කර ගන්නවා. ඒ වගේම ඇය බොහෝ සේ අනුභව කරනවා. සැඩ පරුෂ යි. දරුණු වචන කියනවා. ස්වාමියාගේ උපස්ථාන මඟ හරිනවා. මෙවැනි බිරිඳක් යම් සැමියකුට සිටීනම් ඇය ආර්ය භාර්යාව යි.

මාතු භරියා

පින්වත් සුජාතා, මැය මවක හා සමාන යි. සැමියා නිවසින් ගිය පසු ඔහු ගැන සොයා බලනවා. ලෙඩකට දුකකට අත නොහැර උපස්ථාන කරනවා. හැම කල්හිම සිය සැමියාට හිතානුකම්පාවෙන් යුක්තයි. මවක් තම දරුවා රකිනවා සේ සැමියාව රකිනවා. ඒ වගේම ඔහු උපයන ධනයත් රකිනවා. සැමියාට සෙනෙහෙවන්ත යි. පි‍්‍රයශීලිය. කීකරුයි. යම් පුුරුෂයකුට මෙවැනි බිරිඳක් ලැබේ නම් ඇය මවක හා සමාන බිරිඳක්.

භගිනි භරියා

සුජාතා, මේ සමාජයේ තව බිරින්දෑවරු කොටසක් ඉන්නවා. ඇය ස්වාමියාට සහෝදරියක් වගේ. යම් නැගණියක් තම අය්යාට ගරුසරුවක් ඇද්ද? ඒ වගේ ඇය ස්වාමියාට ගරු කරනවා. ලජ්ජාශීලි යි. ස්වාමියා ඉක්මවා නොය යි. ඔහු වසඟයේ සිටියි. සමාජය මැද ඇය ගරුසරු යි. මෙවැනි බිරිඳක් යම් පුරුෂයකුට ලැබුණොත් ඇය ඔහුට නැගණියක් බඳු බිරිඳක් වෙනවා.

සකී භරියා

මේ බිරිය තම ස්වාමියාට යෙහෙළියක් වගේ. ඇයගේ සිතට යම් මොහොතක තරහවක් ආවත් එය මොහොතකින් යටපත් කර ගන්නවා. බොහෝ කලකින් තමන්ට මුණ ගැසුණු යහළුවකු දැක සතුටු වන යෙහෙළියක් සෙයින් සිය සැමියා දුටු කල සතුටු වෙනවා. කුලයේ වසනවා. සිල්වත්. මනා පිළිවෙත් රකිනවා. මෙවැනි බිරිඳක් යම් පුරුෂයකුට ලැබේවි ද ඇය ඔහුට යෙහෙළියක් වගේ බිරිඳක්.

දාසි භරියා

බිරින්දෑවරු අතර හොඳම බිරිඳ දාසි භාර්යාව යි. ඇය ස්වාමියාට දාසියක් සේ සලකනවා. ස්වාමියා දඬු මුගුරු ගෙන පහර දෙනවා. තර්ජනය කරනවා. නින්දා අපහාස කරනවා. නැති වැරැදි කියමින් චෝදනා කරනවා. ඔහු සල්ලාල යි. නමුත් ඇය ඒ හැම දේම උපේක්ෂාවෙන් බලනවා. ඒවා ඉවසනවා. කිසිවකුට කිපෙන්නේ නැහැ. සැමියාගේ වසඟයේ ම සිටිනවා. අසාධාරණකම් ඉවසනවා. මෙවැනි බිරිඳක් යම් පුරුෂයකුට ලැබෙයි ද ඇය දාසියක් වගේ බිරිඳක්.

මේ දේශනය අවසානයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා සුජාතා, මේ බිරින්දෑවරු හත් දෙනාගෙන් තුන් දෙනෙක් නිරයේ උපත ලබනවා. හතර දෙනෙක් දෙව්ලොව උපත ලබනවා. පින්වත් සුජාතා, සෙරක් වූ බිරිඳක් වධක බිරිඳත්, ආර්යාවක් වූ බිරිඳක් මරණින් මතු ඒකාන්තයෙන් නිරයේ උපත ලබා මහා දුකක් ලබනවා.

ඒ වගේම යම් බිරිඳක් තම ස්වාමියාට, මවක් ලෙස, සොහොයුරියක් ලෙස යෙහෙළියක් ලෙස හෝ දාසියක් ලෙස හැසිරෙයි ද, මේ බිරින්දෑවරු හතර දෙනා මරණින් මතු සුගති ලෝකයේ ඉපදී බොහෝ සැප සම්පත් විඳිනවා.

මේ බිරින්දෑවරු ගැන විස්තර කර භාග්‍යවතුන් වහන්සේ නැවතත් සිටු දියණියගෙන් අසා සිටිනවා. පින්වත් සුජාතා, මේ තමයි පුරුෂයකුට ලැබෙන සප්ත භාර්යාවෝ. ඔබ මේ බිරින්දෑවරු අතරින් කුමන භාර්යාවට ද අයිති.

එවිට සුජාතා පවසනවා, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම අද පටන් මාගේ ස්වාමියාට දාසියට සම වූ බිරිඳක් ලෙස පිළිගන්නා සේක්වා. මෙතැන් පටන් මම ස්වාමියාට දාසි බිරිඳක් සේ උපස්ථාන කරන්නෙමි” කියා සිටියා.

බක් පුර අටවක

අප්‍රේල් 15 සඳුදා අ.භා. 12.17 පුර අටවක ලබා 16 අඟහරුවාදා
අ.භා. 01.29 ගෙවේ.
15 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]