සංස්කෘතිකාංග රැකගෙන අවුරුදු සමරමු

සංස්කෘතිකාංග රැකගෙන අවුරුදු සමරමු

සොබාදහමේ අසිරියෙන් ගහකොළ මල පලින් බර වී, කොහාගේ ගී නදින්, එරබදු මලින් බරව, සුගන්ධවත් ව කෘෂි කර්මාන්ත කටයුතු නිමවා අටුකොටු පුරවා සශි‍්‍රකත්වය සංකේතවත් කරමින් ඉෂ්ට දෙවියන් සිහිකර සූර්ය වන්දනාව මුල් කර ගෙන ආගමික සංස්කෘතික සිරිතට විරිතට අනුව හෙළයේ මහා සංස්කෘතික උත්සවය ලෙස බක් මහ උලෙළ පුරාතනයේ සිට උත්සවශ්‍රීයෙන් සමරා ඇත.

මාර්තු 27, 28, 29 දිනවල අවුරුදු උත්සව පැවැති බව රොබට් නොක්ස්ගේ වාර්තාවන්හි සටහන් කර ඇත. 1985 අලුත් අවුරුද්ද නමින් නම් කර ඇත. නිවාඩු දිනයක් ලෙස ද වෙන් කර ඇති බව ජනප්‍රවාදයේ කියැවේ.

හිරු දින 365ක් රාශියක් වටා ගොස් මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයෙන් අලුත් අවුරුද්ද උදා වේ. ඒ හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර සමූහයක්, ආගමික සංස්කෘතික වටිනාකම් මුසුවීමෙන් වඩාත් අර්ථවත් කර ගැනීමට අනාදිමත් කාලයක සිට අප රටවැසියන් ක්‍රියා කර ඇත.

සංස්කෘතිය යනු දැනුම, විශ්වාස, කලාව, සාරධර්ම, සිරිත් විරිත් හා වෙනත් පුරුදුවල එකතුව ලෙස බ්‍රිතාන්‍ය මානව විද්‍යාවේ පියා වන ටී.බී. ටයිලර් දක්වා ඇත. මිනිසා පරපුරෙන් පරපුරට දායාද වශයෙන් ගෙන යන ජීවන රටා සමුදාය සංස්කෘතිය වශයෙන් රැල්ෆ් ලින්ටන් දක්වා ඇත. මේ සංස්කෘතිකාංගයන් මිනිසාගේ මනෝ කායික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වන බවත් මැලිනොවුන්කි දක්වා ඇත.

දෙමළ ජනතාව ද හින්දු ආගමික වත් පිළිවෙත් අනුව මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සූර්ය වන්දනාව මුල් කරගෙන පවත්වනු ලබයි. එම නිසා මේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය ජාතීන් අතර සමඟිය සංකේතවත් කරන උත්සවයක් ලෙස ද විග්‍රහ කළ හැකි ය.

සූර්ය දෙවියන් අවුරුදු උදාවේ දී මුල් වේ. සූර්ය දෙවියන්ගේ බැල්ම ආරක්ෂාව පතා විවිධ යාතු කර්ම අභිචාර විධි පූජා කරනු ලබයි. මේ සූර්ය මංගල්‍යය පිළිබඳ “අවුරුදු මාලය” පොතෙහි අවුරුදු කුමරා හා සූර්යයාගේ සංක්‍රාන්තිය විස්තර කර ඇත.

“බක් මස ලත් මේෂය යන රැසටා
සක් රජ ලෙස දිව සළු ඇඳ සොඳවා
නෙත් ආසිරි සලසා සව් සතටා
නික්මෙයි සූර්ය දෙවි මේ ලෙසටා”

මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද, සංස්කෘතිකාංග රැසකින් සුපෝෂණය වී ඇත. පරණ අවුරුදු චාරිත්‍ර මෙම අවුරුදු චාරිත්‍ර ආදියට මුල් වේ. අවුරුදු උදාවට පෙර සිට ගේ දොර, වත්ත පිටිය, ඉඩම කඩම පිරිසුදු කර ගේ දොර පවිත්‍ර කර ළිඳ පිරිසිදු කර අලුත් කර, ළිපේ සිට අලුත් කර ගනිමින් අලුත් ඇඳුම් ගෙන මිනිසුන් බාහිර වශයෙන් අලුත් වේ. පිරිසුදු වෙති. පවිත්‍ර වෙති.

මානසික වශයෙන් ද පවිත්‍ර වේ. තම මවුපියන් හා වැඩිහිටියන් වන්දනා කිරීම මෙම චාරිත්‍රයන්හි දැකිය හැකි විශේෂ චාරිත්‍රයකි. ලෝකයේ ජාතීන් අතර බුලත් හුරුල්ලක් දී මව්පියන්ට ගාථා දෙකක් කියා පාකමල් සිඹ, වැඳ, සමාව අයදින එකම ජාතිය මේ සිංහල ජාතිය යි.

වැඩිහිටියන් දැක ගෞරව කිරීම පැරණි කවියන් අගය කළේ මෙසේ ය.

“අම්මාට තාත්තට වැන්දට පව් නැත
ආච්චිට සීයාට වැන්දට පව් නැත
නැන්දාට මාමට වැන්දට පව් නැත
අයියාට අක්කාට වැන්දට පව් නැත” යනුවෙනි.

හිරුගේ ගමන් රටාවේ දින 365 රාශියක් වටා ගොස් අවසානයේ මීන රාශියටත්, මේෂ රාශියටත් නැති අකර්මන්‍ය කාලය තුළ මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන කාලය පුණ්‍ය කාලය නමින් හඳුන්වයි. මේ අවස්ථාවේ නැකතක් නැති බැවින් මෙය නපුරු අවස්ථාවක් සේ සලකා අපේ ජනතාව බුදු දහම සමඟ බැඳී වෙහෙර විහාරයන්ට ගොස් තුනුරුවන් වැඳ දෙවියන්ට පින් දී ආශිර්වාද ලබා උදාවන 365 දවසේ ම සුව සේ නිදුක් නීරෝගි ව වාසය කරන්නට ආශිර්වාද ලබා ගනී.

වැඩ ඇල්ලීමේ චාරිත්‍රයේ දී ළිඳ මුල් කරගෙන පවිත්‍ර වූ ජලය සමඟ අම්මා වැඩ අල්ලනු ලබයි. ළිප මෙලවීම ද එහි දී මූලික වේ. තාත්තා ගසක් සිටුවා දේශයට ශක්තිය දෙයි. දරුවන් පොත පත පාඩම් කරමින් ජාතිය ම අවදි කරයි. ගනුදෙනු කරන අවස්ථාව ද ඉතා වැදගත් වේ. මේ නැකැත් චාරිත්‍ර, වාරිත්‍ර, සිරිත් විරිත් මුළු රටේ ම මිනිසුන් එක විට, එක මොහොතක කිරීම රටේ ලොකු ප්‍රබෝධයක් ඇති කරවයි.

අලුත් අවුරුද්ද හා බැඳුණු කවි, ගීත, රබන් පද හා ඔන්චිලි වාරම් ආදිය සමගිය එකමුතු කර වඩාත් අර්ථවත් කරයි. පංච දැමීම, ඔන්චිලි පැදීම, රබන් ගැසීම, වළ කජු ගැසීම හා එල්ලේ ගැසීම ආදී සිංහල ක්‍රීඩාවන්ට ද මුල් තැනක් හිමි වීම තුළින් සෞඛ්‍ය සම්පන්න නීරෝගිමත් ජාතියක් ගොඩනැඟීමට ද මඟ පෙන්වයි.

අවුරුදු චාරිත්‍ර අතර හිසතෙල් ගෑම ද ආයු, වර්ණ හා සැප ගෙන දෙන්නට ආශිර්වාද කරමින් සිදු කරනු ලබන සුවිශේෂී චාරිත්‍රයකි. පැරැන්නෝ

“කළු කපුටා සුදු වෙනතුරු
මෝල් ගහෙන් දලුලන තුරු

එකසිය විස්සට දෙසීය විස්සක් ආයුබෝ වේවා යනුවෙන් ආශිර්වාද කළහ.

මේ අනුව සිරිතට විරිතට මුල් තැන දෙමින් ආගමික සිතුම් පැතුම් මුල් කර ගනිමින් අනාදිමත් කාලයක් සස්කෘතිකාංග රැසක් ආරක්ෂා කර ගනිමින් පවත්වා ගෙන ආ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සාමකාමී ව දරුවන්ට ආදර්ශ සම්පන්න ලෙස පවත්වන්නට සියලු දෙනා සැදී පැහැදී පෙළගැසී ක්‍රියා කළ හැකි නම් ලද හැකි ප්‍රතිඵල අතිවිශාල වේ.

බක් පුර අටවක

අප්‍රේල් 15 සඳුදා අ.භා. 12.17 පුර අටවක ලබා 16 අඟහරුවාදා
අ.භා. 01.29 ගෙවේ.
15 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]