කර්මයට පිළිසරණක්
දඩල්ල,
වාලුකාරාම වෙහෙර වාසී ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
කර්මය හා ඉන් ජනිත වන ඵලය පිළිබඳ පරතෙරට සිතා අවසන් කළ නොහැකි ය. දිනක් බුදුරජාණන්
වහන්සේ වෙත පැමිණි තෝදෙය්‍ය පුත්ත සුබ මානවකයා මිනිසත් බව ලැබූ මිනිසුන්ගේ උස් පහත්
වශයෙන් පවත්නා වෙනසට හේතුව කුමක්දැයි විචාළේ ය. ඒ අනුව ගෞතමයන් වහන්සේ මෙසේ වදාළ
සේක.
අල්ප ආයුෂ ඇති අය දක්නා ලැබෙත්, බොහෝ ආයුෂ, දිගාසිරි ඇති අය දක්නා ලැබෙත්, බොහෝ
ආබාධ ඇති අය දක්නා ලැබෙත්, අල්ප ආබාධ ඇති අය දක්නා ලැබෙත්, දුර්වර්ණ අය දක්නා
ලැබෙත්, වර්ණවත් අය දක්නා ලැබෙත්, අල්ප යසස් ඇති අය දක්නා ලැබෙත්, මහත් යසස් ඇති අය
දක්නා ලැබෙත්, අල්ප භෝග ඇති අය දක්නා ලැබෙත්, මහත් භෝග ඇති අය දක්නා ලැබෙත්, පහත්
කුලහීන අය දක්නා ලැබෙත්, උසස් කුලීන අය දක්නා ලැබෙත්, දුෂ්ප්‍රාඥා අය දක්නා ලැබෙත්,
ප්‍රඥාවත් අය දක්නා ලැබෙත්,
මෙලොව මිනිස් බව ලද මිනිසුන් අතර පවත්නා මෙම වෙනසට හේතු කවරේදැයි සුබ මානවකයා
විමසීය. ඊට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ,
මෙම උසස් පහත් භේදයට හේතුව කර්මය බවත්, කර්මය සත්වයා හීන ප්‍රහීන වශයෙන් බෙදා ඇති
බවත් ය. අනතුරුව එම වෙනස්කම්වලට හේතු සවිස්තරාත්මක ව විස්තර කළහ. ඒ අනුව ප්‍රාණඝාතය
හේතුවෙන් අයුෂ අඩු වන බව ද, ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් ආයුෂ වැඩි වන බව ද, සතුන්ට
හිංසා කිරීමෙන් බොහෝ ආබාධ ඇතිවන බව ද, සතුන්ට හිංසා නොකිරීමෙන් ආබාධ අඩු වන බව ද,
ක්‍රෝධය බහුල වීමෙන් දුර්වර්ණ වන බව ද, ක්‍රෝධ නොකිරීමෙන් වර්ණවත් වන බව ද,
ඊර්ෂ්‍යාව හේතුවෙන් අල්පේශාක්‍ය වන බව ද, ඊර්ෂ්‍යා නොකිරීමෙන් මහේශාක්‍ය වන බව ද,
දන් නොදීම හේතුවෙන් අල්පභෝග වන බව ද, දන් දීම හේතුවෙන් මහත් භෝග ලබන බව ද, මානාධික
වීම හේතුවෙන් පහත් කුලවල උපත වන බව ද, මානාධික නොවීමෙන් උසස් කුලයන්හි උපත වන බව ද,
විමසා බලා ක්‍රියා නොකිරීමෙන් නුවණ මඳ වන බව ද, විමසා බලා ක්‍රියා කිරීමෙන් නුවණ
ඇති වන බව ද, සඳහන් කර ඇත.
මෙලෙස සත්වයාගේ ජීවන ක්‍රියාවලියට කර්මය සුවිශේෂී බලපෑමක් සිදුකරන නමුදු කර්මයෙන්
සියල්ල සිදු වේ ය යන්නක් බුදුදහමින් නොකියවේ. එහිදී ලෝකයේ සජීවි අජීවි සියල්ල
සිදුවන නියාම ධර්ම පහක් හඳුන්වා දී ඇත. එනම් උතු නියාම, බීජ නියාම, කම්ම නියාම,
ධම්ම නියාම, චිත්ත නියාම වශයෙනි.
කර්මය යනු මෙම නියාම ධර්ම පහෙන් එකක් පමණි.
තවද සත්වයන්ට සැප දුක් අත් විඳීමට හේතු අටක් පිළිබඳ සංයුක්ත නිකායෙහි “මොලිය සීවක”
සූත්‍රයෙහි දැක්වේ. එනම්, වාතය, සෙම, පිත, සන්නිපාතය, සෘතු වෙනස්වීම, උපක්‍රම, විෂම
හැසිරීම හා බලවත් අකුසල කර්මවල විපාක ය. මෙම හේතු අට අතරින් සැප දුක් ජනිතවීමට
හේතුවන කරුණක් ලෙස කර්මය දක්වා ඇති අතර, එය එකම හේතුව නොව එක් හේතුවක් පමණක් බව ද
වටහා ගත යුතුව ඇත.
ගිරිමානන්ද සූත්‍රයෙහි රෝග හට ගැනීමට හේතු වශයෙන් ද ඉහත කී කරුණු අට එලෙසින් ම
දක්වා ඇත.
එයින් ද පැහැදිලි වන්නේ රෝග පීඩා ඇතිවීමට බලපාන කරුණු අතර කර්මය එක් කරුණක් පමණක්
බවයි.
ඇතැම් කායික හා වාචසික ක්‍රියාවන්ට වඩා මනෝ කර්මය බලවත් බවත්, එහි ප්‍රතිඵල වශයෙන්
ඇතැමුන් ලොවට මහත් අනර්ථයන් සිදුකළ බවත් ධර්මයෙහි දැක්වේ.
තවද සත්වයා සිදුකරන සියලු ක්‍රියාවන්ට මනස ප්‍රධාන වන බව ද අවධාරණය කොට තිබේ.
ප්‍රදුෂ්ඨ වූ සිතින් යුතුව කරන ක්‍රියා හා කතා තුළින් ගොනා පිටුපස එන රියසක මෙන්
සත්වයාට දුක් විඳීමට සිදුවන බවත්, ප්‍රසන්න සිතින් යුතුව කරන ක්‍රියා හා කතා තුළින්
තමා පසුපස එන ඡායාව මෙන් සත්වයාට සැප විඳීමට හැකි වන බවත් ධම්මපදයෙහි දැක්වේ. තවද
අහසේ සිටියත්, මුහුද මැද සිටියත්, පර්වත කුහරයක සිටියත්, ලොව කොතැනක සිටියත්
කර්මයෙන් ලැබෙන විපාකයෙන් නොමිදිය හැකි බව සඳහන් වේ. |