[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර අටවක පෝ දා 2024-03-17

ධර්මය ජීවිතයටයි

උපන්නාට ජීවත්වනවා විනා ජීවිතාවබෝධයෙන් කටයුතු කරන්නෝ විරල බව නිරන්තරයෙන් ඇස ගැටෙන, අසන්නට ලැබෙන සමාජ සංසිද්ධීන්ගෙන් තහවුරු වෙමින් තිබේ. පුද්ගලයන් පුද්ගලයන් අතර, පුද්ගල කණ්ඩායම් අතර, මහා සමාජය තුළ බොහෝ ප්‍රශ්නකාරී තත්ත්ව, උද්වේගකර සිදුවීම්, ගහ බැණ ගැසීම් ආදී අනේක අනර්ථකාරී දේ නිර්මාණය වන්නේ ඒ අනවබෝධය තුළ ය.

සම්බුදු දහමට අනුව මිනිස් ජීවිතයක් ලැබීම ඉතාම අසීරු ය. එය කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වැනි දුෂ්කර, දුර්ලභ කාර්යයකි.

මේ අනුව මිනිස් ජීවිතයේ වටිනාකමත්, මිනිස් ජීවිතයක් ලැබීමේ දුර්ලභ බවත් තේරුම් ගැනීම අපහසු නොවේ. ඒ තේරුම් ගැනීම තුළ ම අප අපේ ජීවිතය අර්ථවත් කර ගන්නවා ද යන්න පිළිබඳ තමන් තමන්ට ම අවධාරණය කර ගත යුතු ය. අපේ ජීවිතයට අර්ථයක්, වටිනාකමක් එක් කර ගන්නට සම්බුදු දහම අපට උගන්වයි.

ඒ උතුම් දහම ජීවමාන කාලයක, ඒ දහම් අසා දැන ඉගෙන ජීවිතයට පුරුදු පුහුණු කිරීමේ භාග්‍යය අපට ලැබී තිබේ. අද ධර්මය දැන ඉගෙන ගැනීමේ මාර්ග සුලබ ය. බොහෝ දෙනෙක් දහම් ශ්‍රවණය කරනු ද පෙනේ. එහෙත් ඒ ධර්මය අවබෝධයෙන් විමසනු නො පෙනේ. දහම් දැනුම තිබුණ ද ජීවිතයට ප්‍රායෝගික කර ගනු දක්නට නො ලැබේ. ජීවිතය තුළ ධර්මය ප්‍රගුණ කරනවා නම් පුද්ගල වශයෙන් යහගුණ දම් පිරුණු මිනිසෙක් බිහි වේ. ශික්ෂිත සමාජයක් නිර්මාණය වේ.

සමාජය තුළ ශික්ෂණය ඇතිවිට අර්බුදකාරී ස්වභාවය, පීඩාකාරී බව සමනය වේ. ජීවිතය සැහැල්ලු වේ. පරිසරය සාමකාමී වේ. මිනිසුන් ඔවුනොවුන් කෙරෙහි සංවේදී වේ. එකිනෙකාට උපකාරී වේ. එහෙත් අද බොහෝ නිවෙස් තුළ පවා මේ තත්ත්වය ගිලිහෙමින් යන බව අසන්නට දකින්නට ලැබේ. ඒ තුළ අපට නිගමනය කළ හැකි වන්නේ ධර්මානුකූල සමාජයක් තවමත් නිර්මාණය වී නැති බව ය.

අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළ සුවාසූ දහසක් ශ්‍රී සද්ධර්මය තුළ අපට කියා දෙන්නේ ජීවිතය යි. මේ ජීවිතයේ යථා ස්වභාවය යි. ක්ෂණයක් පාසා පෙරළි පෙරළි අප හමුවේ දර්ශනය වන අටලෝ දහම හමුවේ කම්පා නොවී ජීවිතයට මුහුණ දිය යුතු ආකාරය යි. ලෞකික ලෝකෝත්තර ජීවිතයට සුවය, සැනසීම ළඟා කර ගන්නා අන්දම යි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන තිලකුණු වඩා, චතුරාර්ය සත්‍ය අවබෝධ කොට මේ දුක් සහිත සසර කතරින් එතෙර ව උතුම් නිවන් මඟට පිවිසිසෙන මඟයි.

එසේ නම් බෞද්ධ යන නාමයට නොව සැබෑ බෞද්ධයෙක් වීමට බුද්ධිමත් ව ධර්මය ග්‍රහණය කර ගන්නට නිරන්තරයෙන් උත්සුක විය යුතුව තිබේ.

බණ ඇසීමේ පුණ්‍ය විපාක මහත් ය. ඒ මහත් බව සුළුකොට ගැනීම නිසා යි සමාජයේ බොහෝ දෙනෙක් සසර මඟ තවමත් කර්ම රැස් කරමින් නො නවතින ගමනක යෙදී සිටින්නේ.

දිනක් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටි අවස්ථාවක ගොපලු කොල්ලෙක් කෙවිට ද ඇතිව ධර්ම ශාලාව වෙත ළං ව අවධානයෙන් දහම් ඇසුවේ ය. පසෙකින් ඔහුගේ කෙවිට බිම ඇන තිබුණේ මැඬියකුගේ උදරය හරහා කිඳා බසින ලෙසට ය. ධර්මය අසමින් සිටි ඒ මැඩියා මිය ගොස් දෙව් ලොව රන් විමනක පහළ වූයේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ලෙසිනි. ඒ යහපත් සිත් ඇතිව බණ ඇසීමේ කුසලය නිසා ය.

ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ම රැක ගනු ඇත.

මැදින් පුර අටවක

මාර්තු 16 සෙනසුරාදා අ.භා. 09.45 පුර අටවක ලබා 17 ඉරිදා
අ.භා. 09.59 ගෙවේ 17.
 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]