[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

තාරුණ්‍යය අර්ථවත් කරගන්නට සිද්ධාර්ථ ගෞතම චරිතයේ ආදර්ශය ප්‍රබලයි

තාරුණ්‍යය අර්ථවත් කරගන්නට සිද්ධාර්ථ ගෞතම චරිතයේ ආදර්ශය ප්‍රබලයි

බෞද්ධ තරුණයකු පන්සල් යා යුත්තේත් , වරින්වර බණදහම් ඇසිය යුත්තෙත් භාවනාව වැනි මානසික අභ්‍යාසයන් වැඩිය යුත්තේත් ඔහුගේ හෝ ඇයගේ හෝ මානසික ආතතීන් සමනය කිරීම හෝ ආවේග පාලනය කිරීම හෝ මානසික සමබරතාව හෝ සුරක්ෂිත කර ගැනීම සඳහා ය.

වර්තමානයේ වාණිජකරණය වූ සමාජ රටාවක් තුළ ආගමික අනුශාසනා ලබා ගැනීමෙන් තරුණ ප්‍රජාව බෙහෙවින් ඈත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මූල්‍යමය අරමුණු සහිතව සිදුවන මනෝ උපදේශන ක්‍රම සමාජගත වී තිබේ. මෙය පෙරදිග රටවල් බටහිරකරණය වීමේ ප්‍රතිඵලයකි. බටහිර සියල්ල ප්‍රතික්ෂේප කළ යුතු ය යන්න මෙයින් අදහස් නොවේ. අවිචාරවත් ලෙස නිසරු බටහිර ගති ලක්ෂණත්, පෙරදිග සාරධර්මත් අතර අසරණ වන යෞවනයන් වළඳටත්, පොළොවටත් නොපෑහෙන වළං කැබැල්ලක් මෙන් අවලංගු පුද්ගලයෝ බවට පත්වෙති.

සාම්ප්‍රදායික හා පාරම්පරික ගති සිරිත්වලට නතු වී සිටීම ඇතැම්හු උසස් කොට සලකන අතර, ඇතැම්හු කුල සිරිත් ආදිය ව්‍යතික්‍රමණය කරමින් සීමාමායිම් රහිතව ක්‍රියා කිරීම තාරුණ්‍යයේ යුක්තිය හා නියමය කොට සලකති. මවුපියන්ට නතු නොවී රැඩිකල් තීරණ යොවුන් තරුණයන් විසින් ගනු ලැබීම අප ජීවත්වන සමාජයේ සුලබ දසුනකි. නමුත් බොහෝ තීරණ වැරැදි සහිත ය. ඒවා හුදු දේශපාලනයට, සංස්කෘතියට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, ලිංගික අපරාධ වැනි දේ හා සම්බන්ධ වූ ඒවාය.

ඉතා නිවැරැදි ලෙස මනෝ විද්‍යාඥයෝ තරුණ විය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස පවසන්නේ මේ නිසා ය. සැබැවින් ම ස්වාධීන, ස්වත්‍රන්ත්‍ර හා රැඩිකල් තීන්දු තීරණවලට එළඹීම වරදක් නොවේ.

තරුණ සිදුහත් කුමාරයා විසින් මවුපිය රුචිකත්වයට අවනත නොවී ඔවුන් කඳුළු සළමින් හඬද්දී, බිරිඳ, දරුවා, මවුපියන්, ඥාතීන් අතහැර ආධ්‍යාත්මික ඥානය සොයා යාමේ රැඩිකල් තීරණයක් ගනු ලැබිණ. එම තීරණය නිසා ඔහු අනේකවිධ සත්ත්ව වර්ගයාගේ දුක් කඳුළු, සතුටු කඳුළු බවට පත් කළේ ය. ධර්මය, උගත්කම, බුද්ධිමත් බව ජානමය ගති ලක්ෂණ, විශේෂ උපදේශ ආදිය නිසා වර්තමානයේ ද අභියෝග බාර ගනිමින් සාර්ථකත්වය සොයා ගිය සහ සොයා යමින් පවතින තරුණ තරුණියෝ අපි දකිමු. මානව වර්ගයාගේ සුවපහසුව සඳහා ඔවුන් ජාතියට බොහෝ දේ ප්‍රදානය කරන අයුරු දෛනික මාධ්‍ය සහ අන්තර්ජාලය විසින් නිරන්තරයෙන් අපි දැනුම්වත් කරනු ලබමු.

තරුණයෝ වූ කලි රටක, ජාතියක අනාගතය නිර්මාණය කරන්නෝ ය. ඔවුහු ආගමික නායකයෝ ය. ගුරුවරු ය. ඉංජිනේරුවරු ය. වෛද්‍යවරු ය. කලාකරුවෝ ය. ගවේෂකයෝ ය. ව්‍යාපාරිකයෝ ය. පරිසරවේදීහු ය. සැලසුම් හා ඉදිකිරීම්කරුවෝ ය. වෘත්තිකයෝ ය. මෙසේ ශ්‍රමික හා බුද්ධිමය දායකත්වය විසින් විවිධ පුද්ගලයන් ලෙස ක්‍රියාකරන උත්තුංග හා ජවසම්පන්න තරුණ විය තුළ ඒ ඒ පුද්ගලයාට සමාජයේ දියුණුවට හෝ පරිහානියට කළ හැකි බලපෑම අනල්ප ය.

සමාජ සංස්කෘතික අධ්‍යයනයන්හි විනිවිද පෙනෙන කරුණක් වන්නේ ඉතා ආචාරශීලි ලෙස වැඩුණු තරුණයන් සමාජයේ සැබෑ වෙනස්කම් සිදු කරන බවයි. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්ත්ව චරිතය මෙයට කදිම නිදසුනකි. සංයමයෙන් වඩන ලද බුද්ධිමය භාවිතයක් නැති තරුණ ප්‍රජාව සමාජ පිළිලයක් වන ආකාරය බෞද්ධ සාහිත්‍ය තුළ දේවදත්ත, පෝරිසාද වැනි චරිතවලින් නිරූපණය වේ. මේ නිසා තරුණ විය ගොඩනැඟිය යුතු ආකාරය පිළිබඳ බෞද්ධ දැක්ම තේරුම් ගැනීමට සිද්ධාර්ථ ගෞතම චරිතයට වඩා උසස් ජීවන ප්‍රතිපදාවක් අපට හමු නොවේ.

බුදුදහම වූකලි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසින් යොවුන් වියෙහි කරන ලද පර්යේෂණාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. බුදුසසුනේ ව්‍යාප්තිය වූකලි හුදෙක් භද්‍ර යෞවනයේ විසූ කුලදරුවන්ගේ අප්‍රතිහත කැපවීමක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවූවකි. යසකුල පුත්‍රයා සහ ඔහුගේ යහළුවන් පනස් දෙනෙක් මුලින්ම බුදු සසුනට ඇතුළු වූහ. එසේම මුල් අවධියේ දී සසුන්ගත වූ උපතිස්ස, කෝලිත වැන්නන් ඛේමා, උප්පලවණ්ණා වැන්නියන් තරුණු වියෙහි ම වූවන් බව සිතීමට බොහෝ සාධක ලැබේ. එයින් තහවුුරු වන්නේ ලෞකික හෝ අලෞකික වශයෙන් ඵලදායක යමක් කිරීමට සුදුසුම කාලය තරුණ විය බවයි.

බුද්ධිමත් තරුණයකුට තම පෞරුෂත්ව තාරුණ්‍යය අර්ථවත් ලෙස ගොඩනඟා ගැනීමට සිද්ධාර්ථ ගෞතම චරිතයෙන් ලැබිය හැකි ආදර්ශය අති ප්‍රබල වේ.

මූලාශ්‍රයානුකූල ව සිදුහත් කුමරු විශ්වාස කළ නොහැකි තරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ තරුණයෙකි. සුරූපී තරුණියන් විසින් පිරිවරන ලදුව, නිරතුරු සෞන්දර්යාස්වාදය ලද, තුන් ඍතුවට ම සුදුසු මන්දිරවල කල් ගෙවූ රාජකීය ඇඳුම් පැලඳුම් හා අබරණින් ගත සරසා ගත් යෞවනයකු ලෙස සිදුහත් චරිතය ඓතිහාසික ලේඛනවල සටහන් වේ.

මෙම තරුණයා තරුණ විය සම්බන්ධයෙන් කල්පනා කළේ. ඔබ ඒ පිළිබඳ සිතන ආකාරයෙන් ම ද? මවුපිය උරුමයෙන් හෝ වැඩිහිටියන්ගේ ප්‍රදානයන් වශයෙන් ලද භෞතික සම්පත් අලුයම හෙලූ කෙළපිඬක් සේ සිදුහත් කුමරු විසින් සැලකුයේ ඔවුන් කෙරෙහි ද්වේෂයකින් නොව එම සම්පත් අංගවිකලයකු මෙන් භුක්තිවිඳීම තම යොවුන් වියට යෝග්‍ය ක්‍රියාවක් ලෙස ඔහු උපකල්පනය නොකළ බැවිනි. භෞතික සම්පත් ආශ්‍රයෙන් ලැබෙන සමාජ විඥානයට වඩා මහල්ලකු, ලෙඩකු, මළමිනියක් සහ පැවිදිරුවක් පිළිබඳ සිතීමෙන් හා දැකීමෙන් ලැබෙන යථාර්ථ ඥානය උසස් බැව් සිතීමට තරම් සිදුහත් කුමරුගේ බුද්ධියේ නිම්වළලු ප්‍රසාරණය වී තිබිණි.

වර්තමාන ලෝකයේ බොහෝ තරුණයෝ සම්පත් නැතිකම මානසික පීඩනයක් කර ගනිමින් සියදිවි නසා ගැනීමට හෝ නොයෙකුත් සාපරාධී ක්‍රියාවලට යොමුවීමට සිතති. ඒ, තාරුණ්‍යයේ ජවය ඔවුන් හඳුනාගෙන නැති නිසා ය. සිදුහත් කුමරු යොවුන් ජවය හා බුද්ධිමය ප්‍රභූත්වය පිළිබඳ විශ්වාසය තබමින් රජමැඳුර අතහරී. යශෝධරාව හා රාහුල කුමරු අතහරී.

ගල්ගුහා, වනපෙත්, සුසාන ආදියේ දිවි ගෙවයි. බොහෝවිට නිරාහාරව සිටි. මනුෂ්‍ය, අමනුෂ්‍ය හිරිහැර උපද්‍රව අත්විදී. නින්දා ගැරහුම් අකම්ප්‍යව පිළිගනී. මාරාන්තික අභියෝගවලට මුහුණ දී අවසානයේ තරුණ වියෙහිදී ම බුද්ධත්වය සාක්ෂාත් කරලීමෙන් අභියෝගවලට මුහුණදීමෙන් තරුණයකු වශයෙන් කළ හැකි දේ ක්‍රියාවෙන් ලෝකයට තහවුරු කරයි.

රත්මලාන ධර්මපර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

මැදින් පුර අටවක

මාර්තු 16 සෙනසුරාදා අ.භා. 09.45 පුර අටවක ලබා 17 ඉරිදා
අ.භා. 09.59 ගෙවේ 17.
 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]