[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගෞරවය ලබන්නට සුදුස්සෙක් වෙන්න...

ගෞරවය ලබන්නට සුදුස්සෙක් වෙන්න...

ගරු සත්කාර, සම්මාන දැක්වීම බෞද්ධ සභ්‍යත්වය තුළ හැදුන වැඩුන අපේ සංස්කෘතිය තුළ දක්නට ලැබෙන අගනා හර ධර්මයකි. එසේ වුව ද කවුරුන්ට ගරු සත්කාර සම්මාන දැක්විය යුතු ද යන්න වර්තමානය තුළ ගැටලුවකි.

දෙමව්පියෝ, ගුරුවරු, වැඩිහිටියෝ, සිල්වත්තු, ගුණවත්තු ගරු සත්කාර සම්මානයට ලක් විය යුත්තෝ වෙති. එහෙත් සියලු අම්මා තාත්තා, සියලු ගුරුවරු, සියලු වැඩිහිටියෝ වන්දනාවට සුදුස්සන් ව සිටී දැයි සැකයක් උපදින්නේ සමාජය තුළ අසන්නට ලැබෙන යම් යම් කතා පුවත් පදනම් කර ගෙනයි.

ඇතැම් ශික්ෂණයක් නැති ගුරුවරු තමන්ගෙන් ඉගෙන ගන්නට එන හය හතර නොදත් අහිංසක දරුවන් අපයෝජනයට ලක් කරති. සමාජයේ වෙසෙන ඇතැම් වැඩිහිටියෝ ද මින් වෙනස් නොවෙති. මේ උදවිය තම ඕනෑ එපාකම් ඉටු කර ගනු වස් දරුවන් කායික හිංසනයට, මානසික හිංසනයට ලක් කරති.

එවන් කාල වකවානුවක් තුළ වැඳිය පිදිය යුතු, ගරු සත්කාර සම්මාන දැක්විය යුතු උදවිය තෝරා බේරා ගත යුතුව ඇත.

ගරු සත්කාර කිරීමේ යහ ගුණය තම ආත්මාර්ථ සංසිද්ධීන් ඉටු කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවක් උම්මග්ග ජාතකයෙහි දක්නට ලැබෙයි. කපටි කේවට්ට බමුණා යුද්ධය සඳහා වූ සියලු උපක්‍රම පරාජය වී අවසානයේ ධර්ම යුද්ධයකට සූදානම් වෙයි. ධර්ම යුද්ධය නම්

වැන්ද කෙනා පරාජය වීමත්, වැඳුම් ලැබූ කෙනා ජයග්‍රහණය කිරීමත් ය. කේවට්ට වයසින් වැඩිමහල් ය. මහෞෂධ බාල ය. එසේම මහෞෂධ ගුණ දහම් අගය කරන්නෙකි.මේ කාරණය පදනම් කොට ගෙන ධර්ම යුද්ධය ජය ගත හැකි බව කේවට්ට සිතයි. මෙය ගරු සත්කාර දක්වන ගුණය අවභාවිත කිරීමකි.

සිඟාලෝවාද සූත්‍රය තුළ සමස්ත සමාජය ආකාර දොළහකට බෙදන බුදුරජාණන් වහන්සේ ඒ ඒ සමාජයට අයත් යුතුකම් ඉටු කිරීම ගරු සත්කාර දැක්වීමක් ලෙස දක්වයි. මව්පිය දූ දරු, ගුරු ශිෂ්‍ය, අඹු සැමි, මිතුරු මිතුරු, පාලක පාලිත, ගිහි පැවිදි ආදි ලෙස ඒ ඒ කණ්ඩායම බෙදා ඔවුන්ට යුතුකම් සමූහයක් පවරා ඇත. ඒවා හොඳින් ඉටු කිරීම උසස් වන්දනාවක් බව බුදුරජාණන් වහන්සේ සිඟාල නම් කුල පුත්‍රයාට පැවසූහ.

ගරු සත්කාර සම්මාන දැක්වීම, පිදිය යුත්තන් පිදීම මංගල කාරණයක් බව බුදුදහම තුළ දක්වයි. පූජාච පූජනීයානං, (පිදිය යුත්තන් පිදීම) මාතා පිතූ උපට්ඨානං,( මව්පියන්ට ඇප උපස්ථාන කිරීම) ගාරවෝච (ගරු කළ යුත්තන්ට ගරු කිරීම ) උතුම් මංගල කරුණු වෙයි. මංගල කරුණු නම් දියුණුවීමේ කාරණා වෙයි.

ගරු සත්කාර දැක්වීමේ ගුණය තිරිසන් සතුන් තුළ පැවති බවට කදිම නිදසුනක් ලෙස තිත්තිර ජාතකය ගත හැකි ය. කැළයෙහි විසූ අලියකු, වඳුරකු හා වටුවකු තමන්ගේ වැඩිමල් තැනැත්තා සොයා ගෙන ඔහුට ගරු සත්කාර කළ අවස්ථාවක් එහි දක්නට ලැබෙයි.

ඒ සඳහා ඔවුන් උපයෝගි කර ගත්තේ නුග ගසකි. එම නුග ගසෙහි තමා කුඩා සන්දියෙහි බඩ අතුල්ලා ගෙන ගිය බව අලියා කියයි. තමා බිම හිඳගෙන එහි දලු කෑ බව වඳුරා කියයි. ඊට එහා වූ නුග ගසකින් ගෙඩි කා තමා මළ පහ කළ බවත් එයින් මේ නුග ගස හැදුන බවත් වටුවා කියයි. ඒ අනුව වැඩිමහල් වූයේ වටුවා ය. ඒ නිසා වටුවාට අනෙක් දෙදෙනා ගරු සත්කාර දැක්වී ය.

උසට මහතට, ඇඟපත හැදුන තරමට, දැන උගත්කමට, සවිය, බලය වැඩි වූ පමණට නොව ගරු සත්කාර දැක්විය යුත්තේ වැඩිමහල් බවට යන්න මෙහි දී බුදුදහම දක්වයි. පැවිද්දන් තුළ දක්නට ලැබෙන මහණ මහලු පිළිවෙළ මෙවැන්නකි. පැවිද්දෙන්, උපසම්පදාවෙන් වැඩිමහල් නම් වයසින් බාල වුව ද ඔහුට ගරුසත්කාර සම්මාන දැක්වීම පැවිදි සමාජය තුළ දක්නට ලැබෙයි.

එසේ නොවූ අවස්ථාවක හටගත් අර්බුදයක් ද සද්ධර්ම රත්නාවලියෙහි ථුල්ලතිස්ස තෙරුන්ගේ කතාවෙහි දක්නට ලැබෙයි. ථුල්ලතිස්ස හිමි උස මහත අයෙකි. බුදුරජාණන් වහන්සේට දුර ඥාතිත්වයක් වෙයි. බුදුරදුන් ළඟ සිටින නිසා රස අහර සිනිඳු සිවුරු ලැබෙයි. ඔහු එතැනට පැමිණි අනෙක් භික්ෂූන්ට ගරු සත්කාර සම්මාන නොදක්වයි.

ඒ නිසාම එක් තරුණ භික්ෂූවක් ඔහුට බැණ වදියි. ගරු සත්කාර සම්මාන නොදැක්වීම ගැටුමකට හේතුවක් බව මෙහි දක්වයි. ගරු සත්කාර සම්මාන දැක්වීම වටිනා හරධර්මයක් වුව ද කාට ගරු සත්කාර සම්මාන දැක්විය යුතු ද යන්න ගැටලුවකි. මේ ගැටලුව අද පමණක් නොව අතීතයෙහි ද මතු වූ ගැටලුවක් බව මජ්ක්‍ධිම නිකායේ සළායතන වර්ගයේ නගර වින්දෙය්‍ය සූත්‍රය තුළ දක්නට ලැබෙයි.

නගර වින්ද්‍යෙ ගමට බුදුරජාණන් වහන්සේ වැඩි අවස්ථාවේ උන්වහන්සේගේ නව අරහාදි ගුණයට ගරු සත්කාර දැක්වූ නගරවින්දෙය්‍ය ගම්වැස්සෝ උන්වහන්සේ සමීපයට පැමිණ වැඳ නමස්කාර කොට, සතුටු සාමිචියෙහි යෙදී එකත්පසක සිටියහ. එසේ වූ එගම්වැසියන්ට ගැටලුවක් වූ කාට ගරු සත්කාර සම්මාන දැක්විය යුතු ද යන්න බුදුරජාණන් වහන්සේ පහදා දුන්හ.

යම් මහණ බමුණු කෙනෙක් ඇස-රූප, කණ-ශබ්දය, නාසය-ගන්ධය, දිව-රස, කය-ස්පර්ශය, මනස-ධර්මය යන මෙම ඉන්ද්‍රිය හා අරමුණු කෙරෙහි රාග, ද්වේශ, මෝහ උපදවාගත් සිතින් යුතුව කළ යුතු දේ නොකොට, නොකළ යුත්ත කරයි ද, කතා කළ යුතු දේ කතා නොකර, කතා නොකළ යුතු දේ කතා කරයි ද, සිතිය යුතු දේ නොසිතා නොසිතිය යුතු දේ සිතයි ද ඔහුට ගරු සත්කාර සම්මාන නොකළ යුතු බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

එසේ ප්‍රකාශ කරනුයේ, නොසන්සුන් සිත් ඇති ඔවුහු රාගයෙන් යුක්ත වෙති. ද්වේෂයෙන් යුක්ත වෙති. මෝහයෙන් යුක්ත වෙති. එසේ වූවෝ ගරු සත්කාර සම්මානයට, වැඳීමට පිදීමට සුදුස්සෝ නොවෙති.

යම් කෙනෙක් එසේ නොවී මෙම ඉඳුරන් කෙරෙහි, අරමුණු කෙරෙහි රාග, ද්වේෂ, මෝහ නැතිව සන්සුන් මනසින් කළ යුත්ත කරන, නොකළ යුත්ත නොකරන, කිව යුක්ත කියන, නොකිය යුත්ත නොකියන, සිතිය යුත්ත සිතන, නොසිතිය යුත්ත නොසිතන රාගයෙන් තොර, වූ ද්වේශයෙන් තොර වූ, මෝහයෙන් තොර වූ පුද්ගලයා ගරු සත්කාර සම්මානනයට සුදුසු වෙයි. වැඳීමට පිදීමට සුදුසු වෙයි. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනය තුළ ගරු සත්කාර සම්මාන දැක්විය යුතු, වැඳිය, පිදිය යුතු පුද්ගලයා කවරෙක් ද යන්න පැහැදිලිව ම දක්නට ලැබෙයි.

ගරු සත්කාර සම්මාන දැක්විය යුතු, වැඳිය යුතු, පිදිය යුතු පුද්ගලයන් හඳුනාගෙන වඳිමු , පුදමු. ගරුසත්කාර සම්මාන දක්වමු. ඔබ වඳින විට ඔබට වැඳුම් ලැබේ. ඔබ පුදන විට ඔබට පිදුම් ලැබේ. ඔබ ගරු කරන විට ඔබට ගරු සත්කාර සම්මාන හිමි වේ. ඔබ පැහැපත් වෙයි. ප්‍රසන්න වෙයි. කීර්තියෙන් බබළයි. අපි ඒ අනුව කටයුතු කරමු.

මැදින් පුර අටවක

මාර්තු 16 සෙනසුරාදා අ.භා. 09.45 පුර අටවක ලබා 17 ඉරිදා
අ.භා. 09.59 ගෙවේ 17.
 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]