සොබා දහමේ
සුන්දරත්වය
මනසින් විඳින්න
මහව,
උඩගම ශ්‍රී ඉන්දසුමන මහ පිරිවෙන්හි
ප්‍රවීණාචාර්ය , ප්‍රවචන කීර්ති ශ්‍රී ලේඛන ශාස්ත්‍රී
ගලගෙදර රතනවංස හිමි
ස්වභාව ධර්මයට අවනත නොවීමේ විපාක වරින් වර සත්වයාට විඳින්නට සිදු විය. වාතය, ජලය,
උෂ්ණත්වය සීතල ආදිය තුළින් විටින් විට ලෝක ධාතුව තුළ විවිධ විපර්යාස සිදු වේ. ඒවා
පිළිබඳ බුදු දහමේ ද සඳහන් වේ. පන්සිය පනස් ජාතක පොතෙහි දැක්වෙන ‘සමුද්‍ර වාණිජ
ජාතක’ කතා පුවත පිළිබඳ අවධානය යොමු කිරීමේදී එවැනි සිදුවීමක් පිළිබඳ සඳහන් වේ. එම
ජාතක කතා පුවතින් පැවසෙන්නේ මුහුද ගොඩ ගැලීමක් සිදු වූ ආකාරය යි. එසේ වුව ද එය
සිදුවීමට මිනිසුන්ගේ නොහොබිනා ක්‍රියා කලාපය ද හේතු වූ බවට ප්‍රකට වේ.
යටගිය දවස බරණැස් රජු රාජ්‍ය කරන සමයෙහි එක් ගමක වඩුවෝ දහසක් ජීවත් වූහ. එම වඩුවෝ
තම ගමේ මිනිසුන්ට ඇඳ, පුටු, මේස හදල දෙන බව පවසා ඔවුන්ගෙන් මිල මුදල් ලබා ගෙන ලී
බඩු හැදීමක් නොකොට එම මුදල් තම ප්‍රයෝජනයට ගත්තේ ය. පසුව ගම්වැසියන් තමන්ගේ මුදල්
ආපසු ලබා ගැනීමට උත්සාහ කළහ. මුදල් දීමට අකැමැති වඩුවෝ කැලයට ගොස් ගස් කපා ලී ඉරා
බෝට්ටුවක් සාදා තම අඹුදරුවනුත් සමඟ එම බෝට්ටුවල නැඟී ගඟක් දිගේ ගමන් කළහ. එසේ යෑමේ
දී ගඟ අවසන් වී මුහුද හමු විය.
පසුව මුහුද දිගේ ගමන් කිරීමේ දී දූපතක් හමු විය. එම දූපතේ ස්වයංජාත ඇල්හාල්,
අඹ,කොස්, කෙසෙල්, උක්දඬු, වැළ, වරකා ආදී ආහාරපාන සශ්‍රීක ව වැවී තිබිණි. එම දූපත
මිනිසුන්ට සිටීමට සුදුසු ද, යක්ෂ රාක්ෂයින් ඉන්න තැනක් ද යන්න පළමුව පරීක්ෂා කිරීම
සඳහා හොඳ කාය ශක්තිය ඇති මිනිසුන් දස දෙනෙක් පිටත් කර යැවූහ. එහි කලින් ගිය එක්
මිනිසෙක් අර තිබූ ආහාරපාන අනුභව කොට කල්පනා කරන්නේ දඹදිව බොහෝ මිනිසුන් බඩගින්නේ
සිටිති. මට එවැනි ප්‍රශ්නයක් නොමැත. මේ ආකාරයෙන් සිතමින් උදම් අනා මා විඳින මේ සැප
සම්පත් වෙනත් කිසිවකු නො විඳිනු ඇතැයි සිතා සතුටු වූ හ.
ඊට පසු අර මිනිසුන් දස දෙනා එන විට දී මොහු දැක යක්ෂයකු බව සිතා දුනුවලින් විදින්නට
සූදානම් වූ අවස්ථාවේ දි අර මිනිසා මම යක්ෂයෙක් නොවෙමි. මිනිසෙක් වෙමි’යි යනුවෙන්
පැවසීය.
ඊට පසු ඔවුන් දුනු ඊතලවලින් ඔහුට අනතුරක් නො කළහ. ඊට පසු අන් පිරිස ප්‍රශ්න කර
සිටින්නේ ඔබ මිනිසකු නොවේ නම් නිර්වස්ත්‍ර ව සිටින්නේ ඇයිද? දැළි රැවුල මේ විදියට
ඇදිලා තිබෙන්නේ ඇයිද? යනුවෙනි. ඊට පසු ඔහු සඳහන් කළේ ඔරුවක නැඟී මුහුදේ ගමන් කරන
කල්හි මෙම දූපතෙහි නැවතුන බව යි. නැවතත් අර මිනිසුන් ප්‍රශ්න කර සිටින්නේ මොනවද
මෙහි තිබෙන පහසුකම් යනුවෙනි. අර මිනිසා ඊට පසු එහි ඇති ලාභ ප්‍රයෝජන පිළිබඳ
පැහැදිලි කළේ ය.
ඊට පසු ඔවුන් තීරණය කරන්නෙ, මීට වඩා යක්ෂ, රාක්ෂයින් නැති සුදුසු තැනක් අපට විසීමට
නැත්තේ ය. ඒ නිසා මෙහි විසීම සිදු කිරීම සුදුසු ය යනුවෙනි. එම වඩු පිරිස සියල්ලෝ ම
දහසක් විය. පසුව ඔවුනට උපදෙසක් හැටියට අර මිනිසා මතක් කර සිටියේ මෙම ස්ථානය රම්‍ය
වූ ද, සිත්කලු වූ ද, ස්ථානයක් බැවින් දේවතාවන්ගේ ඇල්ම, බැල්ම හා රැකවරණය ද පවතින
බවයි. එබැවින් මල මූත්‍ර කිරීම්, සෙම් සොටු දැමීම් ආදිය තුළින් වෙරළ අපවිත්‍ර නොකොට
ඒවා සුදුසු පරිදි පිළිවෙළට හා පිරිසුදුව සිදු කළ යුතු බවයි.
දහසකින් යුත් වඩු පිරිස පන්සීය බැඟින් කණ්ඩායම් දෙකකට බෙදී නායකයකු ද පත් කර
ගනිමින් එම දෙපිරිස එහි සුව සේ විසූහ. වාසස්ථාන හැටියට නිවෙස් හදාගෙන වටපිටාවේ ඇති
ආහාරපාන ද අනුභව කරමින් නිරුපද්‍රිත ව කාලය ගත කළහ.
එම වඩු පිරිසෙන් එක නායකයකුගෙන් යුත් පන්සීයක පිරිස හොඳ ප්‍රතිපත්තිගරුක ව සිල්වත්
ව, ගුණවත් ව එහි ජීවත් වූ අතර, අනිත් නායකයාගෙන් යුත් පන්සීයක පිරිස දැඩි ලෝභ සහගත
ව, ද්වේෂ සහගත ව, කාමයෙහි අන්තගාමීව ජීවත් වූහ. ඒ අතර, උක්වලින් රා, අරක්කු වැනි
මත්පැන් සකසා ගෙන ඒවා පානය කිරීම ද එම රම්‍ය වූ දූපතේ වෙරළ අපවිත්‍ර කරමින් මල
මුත්‍ර කිරීම ද සිදු කළහ.
මෙම හේතුව නිමිති කර ගෙන එම මනරම් දූපතට අරක්ගෙන සිටි දේවතාවන් කෝප වී අව පසළොස්වක
දෙ පෝ ය දා සමුද්‍රයෙන් දිය උඩට නගාලන බවට කතිකා කර ගත්හ. ඒ අතර සිටි එක් සත්පුරුෂ
දේවතාවෙක් මා වැනි සත්පුරුෂ දේවතාවෙක් ඉද්දී මේ මිනිසුන්ට මැරෙන්නට ඉඩ නො දෙමියි
කීහ. එසේ පවසා ස්වර්ණාභරණයෙන් සැරසී උතුරු දිසාවෙහි සිට විමානය ඒකාලෝක කරමින්
ප්‍රදේශය ම බබුළුවා එම මිනිසුන් වසන තැනට පැමිණ ඔවුනට මතක් කර සිටින්නේ මෙම ස්ථානයේ
මුහුද උඩට ගැලීමක් සිදු වන බැවින් වෙනත් තැනක් සොයා ගමන් ආරම්භ කරන ලෙසයි. පාපී
දේවතාවුන් සඳහන් කරන්නේ එම දේවතාවා කී කතාව බොරුවක් ය. කවදා නම් මේ සමුද්‍රයෙන් ජලය
ගලා දිවයිනට පැමිණෙන්නේ ද ඒ නිසා මෙම දූපතේ ම වාසය කරන ලෙසයි.
ඊට පසු අර දහසකින් යුත් වඩු පිරිසේ අසත්පුරුෂ නායකයන්ගෙන් යුත් 500 ක පිරිසට එම
අසත්පුරුෂ නායකයා මතක් කර සිටින්නේ අපි මෙම දූපතේ ම සැප විඳිමින් ඉඳිමු. ඕවා
කවදාවත් නොවෙන දේ බවයි.
සත්පුරුෂ නායකයා තම පන්සීයයක පිරිසට සඳහන් කර සිටින්නේ කුමන දේවතාවුන් සත්‍ය
ප්‍රකාශ කළා ද යන්න අපි නො දනිමු. අප ගත යුතු හොඳම ක්‍රියා මාර්ගය වන්නේ මෙම දූපත
හැරදා මෙහෙන් පලා යෑම ය. අපට අකාලේ විනාශ වීමට අවශ්‍ය නැත. එම පන්සීයකින් යුත්
පිරිස තීරණය කර ගත්හ.
දේවතාවුන් සාකච්ඡා කර ගත් ආකාරයට ම හරියට පොහෝ දිනයේ චන්ද්‍රයා නැති කළ සමුද්‍රයෙන්
ජලය පැමිණ දණ ළඟට දක්වා ගෑවී ජල පහර ආපසු ගියේ ය. අසත්පුරුෂ නායකයා එය දැක සඳහන්
කළේ මේ රළ ඇවිත් කුණූු හෝදගෙන ගියා කියා ය. පසුව ක්‍රමානුකූල ව රැල්ල වැඩි වී එම
නරක වඩුවන් ඇතුළු ඔවුන්ගේ අඹුදරුවන් ද රැල්ලට ගසාගෙන ගොස් සියලු දෙනාම මරණයට පත්
වූහ. සත්පුරුෂ වඩුවන් කලින් ම පිටත් වූ නිසා අනතුරට මුහුණ නොදී ජීවිත ආරක්ෂා කර
ගත්හ.
මෙම ජාතක කතා පුවතට අනුව මුහුද ගොඩගැලීමේ පුවත් ඈත අතීතයේ පටන් ම සිදු වී ඇති බව
පැහැදිලි වේ. කාවන්තිස්ස රජු දවස ද එවැනි පුවතක් අසන්නට ලැබේ. සයුර නොහොත් මුහුද
යනු නිමක් කොනක් නැති විශාල ජල ධාරාවකින් යුත් ජල ගෝලයකි. එහි අභ්‍යන්තරය තුළ ද
විස්මිත දේවල් සිදු වේ. පොළොව කම්පනය වීමෙන් ද, පොළොව විවර වී නැවත ළං වන කල්හි ද
ජලය අඩු වැඩි වශයෙන් පිටතට තෙරපීම ක්‍රියාත්මක වේ. එසේම උල්කාපාත වැනි විශාල
වස්තූන් කඩා වැටීම තුළින් ද ජල ප්‍රමාණය ගොඩබිම්වලට පැතිරේ.
මේ ආදී විද්‍යාත්මක හේතූන් සේ ම අපට නොපෙනෙන ශක්ති විශේෂයන් ද ස්වභාව ධර්මය
කම්පාවීමට හේතු වනු ඇත. ස්වභාව ධර්මය නිරන්තරයෙන් සත්වයා කරා විපත් ගෙන දීමේ
ප්‍රවණතාවන් වැඩි ය. එයට හේතුව සත්වයා ස්වභාව ධර්මයේ ඇති ශක්තිය තේරුම් නොගෙන එයට
පිටු පා එය ඉක්මවා යෑමට උත්සාහ කිරීම යි. ස්වභාව ධර්මය කෙරෙහි අපේ බියවීමක්,
නැමියාවක්, අවනත බවක් හා ආදරයක්, ගෞරවයක් තිබිය යුතු ය. එසේ නොමැතිව අපි ස්වභාව
ධර්මයට පටහැණි දේ සිදු කරමින් ස්වභාව ධර්මය විනාශ කරමින් ජීවත් වන්නේ නම්, ස්වභාව
ධර්මය විසින් ද පෙරළා විපත් ලබා දෙනු ඇත.
මෙහිදී වැදගත් දහම් පාඨයක් වන “ධම්මො හවේ රක්ඛති ධම්මචාරී” යන්න ද වැදගත් වේ.
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ම ආරක්ෂා කෙරේ. එක පැත්තකින් සොබාදහම විසින්
ආරක්ෂා කිරීමක් ම මෙහිදී සිදු වේ. මේ ලෝකය තුළ ස්වභාවධර්මය තේරුම් ගෙන ස්වභාව
ධර්මයාට ආදරය කරමින් එය ආරක්ෂා කරමින් ධාර්මික ව ජීවිත ගත කරන මිනිසුන්
ස්වභාවධර්මයා විසින්ම ආරක්ෂා කරනවාට කිසිදු සැකයක් නැත. අධර්මිෂ්ඨකම් වැඩි වී,
මිනිසුන් තුළ ගුණධර්ම නැති වී මිනිසා තිරිසන් තත්ත්වයට පත්වීමේ දී ස්වභාව ධර්මය
කම්පා නොවී සිටීද? එබැවින් අපි නිරන්තරයෙන් ඒ පිළිබඳ හොඳ විඤ්ඤානයකින් පසු විය යුතු
ය.
අපි කරන කියන අකටයුතුකම් ඉවසා ගත නොහැකි වූ විට දේවතාවුන් ද කම්පා වී විපත් ගෙනදීමට
කටයුතු කරනු ඇත. ලෝකයේ පවතින ධර්මතාවන් ඉක්මවා යෑමට කිසිවකුටත් නො පුළුවන. අඩු
මානසිකත්වයෙන් යුත් මිනිසුන්ට එසේ හැකි යැයි සිතුණද එයින් එහි නිමාව කෙසේ සිදු වේ ද
යන්නත් අපැහැදිලි ය. ලොව උතුම් ම පදවි ලැබූ බුදු, පසේබුදු මහරහතන් වහන්සේ ද ස්වභාව
ධර්මය ඉක්මවා නොගියහ. උන්වහන්සේද ස්වභාවධර්මයට ගරු කරමින් එහි වටිනාකම ලෝක සත්වයාට
කියා දුන්හ.
අව්ව, වැස්ස, සුළඟ, ජලය ආදී සම්පත් කවුරුන් හෝ විසින් මවන දේ නොවේ. ඒවා
ස්වභාවධර්මයා විසින් අපට දී ඇති දායාදයෝ ය. ඇළ දොළ, ගංගා, ගස් කොලන්, වනාන්තර,
කඳුහෙල්, මහා සාගරය ආදී සම්පත් මිනිසාට යහපත පිණිස පවතින දායාදයන් ය. ඒවායෙන් අයුතු
ප්‍රයෝජන ගැනීමට සිතීම පටු පරමාර්ථ ඇති දුර්ජනයින්ගේ ක්‍රියාවකි. මේ ලෝක ධාතුව තුළ
අප සෑම දෙනා ම පොදුවේ ජීවත් විය යුතු ය. එහිදී සතා සිවුපාවුන් පවා ඒ අයිතියට
උරුමකම් කියනු ඇත. මිනිසා සිතනවා නම් මේ සියලු ස්වභාවික සම්පත් තමන් ම භුක්ති විඳිය
යුතුයි කියා එය අසාධාරණ, ආත්මාර්ථකාමි සිතිවිල්ලකි. එවැනි අයට නිසි දඬුවම් ස්වභාව
ධර්මයා විසින් දෙනවාට කිසිදු සැකයක් නැත. එබැවින් ස්වභාව ධර්මයා සමඟ සෙල්ලම් කිරීමට
යෑම එතරම් සුභදායක දෙයක් නොවන බව කවුරුත් මතක තබා ගත යුතු ය.
අභ්‍යන්තරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, කුහකත්වය වැනි අකුසල් සිතිවිලි පුරවා ගෙන ධර්මයේ
ඇලී ගැලී සිටිනවා සේ පෙන්වීමෙන් ඵලක් නැත. අපේ සිත්වල පවතින හොඳ හා නරක තරංග මේ
වායුගෝලයට එකතු වී එහි ඵල විපාක හොඳ, නරක දෙඅංශය ම ඔස්සේ ක්‍රියාත්මක වෙනු ඇත. මේ
ස්වභාව ධර්මයේ විවිධ විපත්වලට මිනිසාට මුහුණ පාන්නට සිදු වූයේ ද මිනිසා ස්වභාව
ධර්මයට කළ විපත්වල ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ සියල්ල ම හේතුඵල සම්බන්ධතාවකට අනුව
සිදුවූවක් බව පැහැදිලි වේ. එබැවින් රටක ජාතියක, ආගමක වසන අප සියල්ලෝ ම අපේ මනසත්,
අපේ ශරීරයත් හැකිතාක් දුරට පිරිසුදු කර ගනිමින් ස්වභාව ධර්මයාට අවනත ව ජීවත් වීමට
උත්සාහවත් වෙමු. |