උසස් ම දියුණුව නුවණින් දියුණුවීම ය
රාජකීය පණ්ඩිත
බුත්තල ඤාණාධාර හිමි
ප්‍රඥා යනු යම් කිසිවක ඇති තතු හැම අයුරින් ම දැන ගැනීමයි. දැන ගැනීම් තුනකි.
යම්තම් දැනගැනීම, තරමක් දැනගැනීම සහ සම්පූර්ණයෙන් ම දැන ගැනීමය. යමක් ගැන යම්තමින්
දැන ගැනීම සඤ්ඤා යි කියනු ලැබේ.
එය නුවණ මුහුකුරා යනා ගිය ළදරුවකු ස්වර්ණය ගැන දිග පළල සහ අලංකාරය පමණක් සිතා ගන්නට
සමත් වන්නාක් මෙනි. යමක් ගැන තරමක් දැන ගැනීම “විඤ්ඤාණ” නමි. එය සාමානය ගැමියකු
ස්වර්ණය
ගැන දැනගන්නාක් මෙනි. ගැමියා ස්වර්ණය ගැන දිග - පුළුලත්, අලංකාරයත්, වටිනා දැයක්
බවත් යන මෙ පමණක් සලකා ගන්නට සමත් වේ.
යමක් ගැන හැම අයුරින් ම ඉතිරි නොකොට දැනගැනීම ප්‍රඥා නම් එය රන්කරුවකුහට යම් ස්වර්ණ
වර්ගයක් ලැබුණු කල්හි ඒ පිළිබඳ සම්පූර්ණත්වය අවබෝධ කැර ගන්නට හැකි වන්නාක් මෙනි.
අවට පවත්නා අඳුර නැතිවීමට පහනක් අවශ්‍ය වන්නාක් මෙන් ප්‍රඥා ප්‍රදීපයෙන්
මෝහාන්ධකාරය සහමුලින් පහ ව යන්නේ ය. එවිට ඇති තතු සියල්ල දැකිය හැකි ය. යම් කෙනෙකුට
නුවණ නැත්නම් ඔහුගේ ජීවිතය ම නිස්සාර ය.
අප්පස්සතො පන විස්සට්ඨ කම්මන්තො ගොණසදිසො පුග්ගලො”
නූගතා වනාහි වැඩට නො ගන්නා ගොන්මාල්ලකු මෙනැයි පැවැසේ. අනුවණයා නුවණැත්තන්ගේ සංගමය
නොලබයි. බොහෝ දෙනාගේ උපහාසයට ලක්වෙයි. කවර අපරාධයක් කිරීමට හෝ නොපසුබට වෙයි. පුතකු
වුව අනුවණ නම් ඔහු ඇසුරු කරන්නට සිදුවන මව්පියන්ටත් ජීවිතාන්තය දක්වා ම කරදරවලින්
අඩුවක් නොවන්නේ ය.
අවශ්‍යම ධර්මය
කාට වුවත් නුවණ තරම් අවශ්‍ය ධර්මයක් වෙන නැත. ලොවී ලොවුතුරා හැම සුවය ම නුවණින් ම
සලකා ගත යුතු බැවිනි. “පඤ්ඤා නරානං රතනං” නුවණ මිනිසුනට අගනා රුවනකැ යි තථාගතයන්
වහන්සේ දේශනා කළ සේක. ඒ නුවණ පිළිබඳ වටිනාකම සැලැකීමෙනි.
කොතෙක් පින්කම් කළත් නුවණින් තොරව අග්‍ර මාර්ගය නොලබිය හැකි හෙයින් ,පඤ්ඤාය
පරිසුජ්ඣති . යි දේශනා කළ සේක. යම් කෙනකු පිළිබඳ ඤාතීන්ගෙන් දියුණු වීම ය,
වස්තුවෙන් දියුණු වීම ය, කීර්තියෙන් දියුණු වීම ය, යන යම් දියුණු වීම් ඉතා සුළු
දියුණු වීම් බවත්, යම් යම් නුවණින් දියුණුවීමක් යේ නම්, එය ම උසස් දියුණු වීම බවත්
දේශනා කළ සේක.
සෙසු හැම දියුණු තාවකාලික ය. අස්ථිර ය. නුවණින් දියුණු වීම ස්ථිර ය. කවර
ව්‍යාපාරයක් හෝ නියම වශයෙන් ඵලදායී වීමට නම් එය නුවණින් කටයුතු යි. නුවණින් තොරව
නම්, කොතෙක් පරිශ්‍රම දැරුව ද ඉන් පිහිටක් නොලැබේ.
පඤ්ඤානුයාතං විරියං වදන්ති - සප්බත්ථ සිද්ධිග්ගහණග්ග හත්ථං” යි ප්‍රකාශ කොට
තිබෙන්නේ එහෙයිනි.
නුවණ තිබෙන සතුරා ද නුවණ නැති මිතුරාට වඩා යහපත්ය. සතුරකු වුව ද නැණවත් නම් ඔහු
නැණවත් හෙයින් යම් යම් අයුරු විපත් පමුණුවතැයි යන සැක බිය උපදවා ගෙන කල්පනාකාරීව
විසිය හැකි ය. ඉතා හිතවත් නැණ හීන මිතුරන්ගෙන් පරෙස්සම් වීම ඊට වඩා අතිශය දුෂ්කර ය.
ඔහු හිතවත්කම නිසා කරන ක්‍රියාවලින් වැඩි හරියකින් ම විපත් සැලසෙන බැවිනි.
නැණැ’ති සතුරා යහපත් ය. නැණ හීන මිතුරා නොයහපත් ය. පෙර අන්ධබාල පුතෙක් මදුරුවා
මරමැයි සිතා පියාගේ ඔළුව පැළුයේ ය. යනු ඊට කදිම නිදසුනෙකි. යම් ආදී නොයෙක් කරුණු
ගෙන සිතත් ම නුවණ තරම් අවශ්‍ය වන අන් කිසිවක් නැත. බොහෝ වස්තුව සපයා තැබුව ද ඊට
නොයෙක් විපත් පැමිණ විනාශ වී යා හැකි ය. එහෙත් යම් ශිල්ප ශාස්ත්‍රාදියක් ඉගෙන නුවණ
දියුණු කැරැ ගත්තහුට ඒ උගත්කම කවර සතුරකුටවත් පැහැර ගත නොහැකි ය.
එබැවින් නුවණින් පොහොසත් වීම තරම් වටිනා පොහොසත් වීමක් වෙන නැත. නුවණ නිසි මඟැ
යොදවා ක්‍රියා කරන්නන් නිසා රට - දැය ආගමට සැලැසෙන මෙහෙය සුළු පටු නොවේ. එබන්දාගේ
ජීවිතය තමන්ට සේ ම අනුනට ත් සුව ගෙන දෙන්නකි.
“පඤ්ඤා ජිවීං ජීවිතමාහු සෙට්ඨං” යි වදාළේ එහෙයිනි.
කුසල් අතරැ ද නුවණින් පිරිවරා ගත් කුසලය ම ශ්‍රේෂ්ඨ ය. එය , පඤ්ඤා ච සෙට්ඨා කුසලා
වදන්ති - නක්ඛත්ත රාජාරි ච තාරකානං” යි ප්‍රකාශ කොට තිබේ.
අමරපුර ධර්මරක්ෂිත මහා නිකායෙහි මහානායක ධූරීණව වැඩ විසූ අග්ගමහාපණ්ඩිත විනය විශාරද
ධර්ම කීර්ති ශ්‍රී සුමංගල විද්‍යාවතංස ආචාර්ය පරමපූජනීය වැලිගම සිරි ඤාණරතන මහ නා
හිමියන්ගේ ලිපියක් ඇසුරිණි. |