නිකිණි අමාවක පෝ දා 2023-09-14
ජීවිතය දිනන මඟ
ලාභ – අලාභ, අයස – යස, නින්දා – ප්‍රශංසා, සැප – දුක යන ලෝක ධර්මයන්ට වරින්වර මුහුණ
දෙන්නට වීම ස්වභාවධර්මයේ හැටි ය. එහෙත් එම අවස්ථා සම සේ දරා ගැනීම සියල්ලන්ට ම කළ
නොහැකි ය. ලාභයේ දී උදම් වන බොහෝ අය අලාභයේ දී කඩා වැටෙති. සැප හමුවේ උද්ධාමයට පත්ව
දුකේ දී කඩා වැටෙති. එහි අවසානය ජීවිතයේ සැනසීම අහිමි වීම ය .අද බොහෝ දෙනා අතර මත
ගැටුම්, කලබලකාරි ස්වභාවයන් මෙහි ප්‍රතිඵල ලෙස දැකි ය හැකි ය.
මානසික කඩාවැටීම ජීවිතය අඩපණ කරන්නකි. ආධ්‍යාත්මික දුර්වල වීමකි. ඒ තුළ අභාග්‍ය
සම්පන්න වන්නේ මෙලොව ජීවිතය පමණක් නොවේ. සාංසාරික ජීවිතයට ද එය දැඩි බලපෑමක් කරයි.
ඉහත දැක්වූ ලෝක ධර්මතාවන්ට ඕනෑම කෙනකුට මුහුණ දෙන්නට සිදු වුව ද ඇතැම් කෙනෙක් එය
වරදවා වටහා ගන්නා බව පෙනේ. දියුණු වන පුද්ගලයා තුළ උට්ඨාන සම්පදාව, ආරක්ඛ සම්පදාව,
කල්‍යාණ මිත්තතාව හා සමජීවිකතාව යන ගුණාංග සතරක් සම්පූර්ණ විය යුතු ය. එහෙත් සමහරු
තම ජීවන වෘත්තියට උත්සාහ නොවී, උපයා ගත් දේ ආරක්ෂා කර ගන්නට උත්සාහ නොකර, පාප
මිත්‍ර සේවනය කොට, සමව දිවි පැවැත්වීමෙන් තොරව පිරිහුණුූ කල එය ද ලෝ දහමට බැර කරති.
එසේ කොට තමන්ගේ දුර්වලතාව සඟවා අලාභය, අයස, නින්දාව, දුක සාධාරණීකරණය කරති. ලෝක
ස්වභාවය එය යැයි කියති. ඒ සිතිවිලි හා ක්‍රියාකාරකම් සම්බුද්ධ දේශනාවට පටහැනි ය .
භෞතික ජීවිතය සේ ම ආධ්‍යාත්මික ජීවිතය ද ගොඩනඟා ගත හැකි අනලස් පුද්ගලයාට ය. උත්සාහය
තුළ ජීවිතයට බොහෝ දේ දිනා ගත හැකි ය. ලොකු, කුඩා, දුප්පත්, පොහොසත්, ජාතිභේදයක්,
ආගම් භේදයක් ආදි කිසිදු භේදයක් ඊට නැත. බෞද්ධයාගේ අත්පොත ‘ධම්මපදය’ තුළ එන
චුල්ලේකසාටක බමුණාගේ කතාව ඊට හොඳම උදාහරණයකි.
චුල්ලේකසාටක ඉතා දිළිඳු ය. ඔහුටත්, බිරිඳටත් උරහිස වසා පෙරවීමට තිබුණේ එකම
උතුරුසළුවකි. එය පෙරවන්නේ ගමනක් යන විට ය. එහෙයින් දෙදෙනාට ම එකම අවස්ථාවේ ගෙයින්
පිටවිය නොහැකි විය.
එකල දෙව්රම් වෙහෙර මහා පින්කමෙකි. බමුණා රෑ කාලයේත්, බැමිණිය දිවා කාලයේත් බණ ඇසීම
පිණිස වේලාව වෙන් කර ගත්තේ දෙදෙනාට ම එකම උතුරු සළුවක් වීම හේතුවෙනි. බමුණා රෑ කල
ගොස් දහම් අසන්නට විය. ශ්‍රද්ධාවෙන් ඔද වැඩී ගියේ, ධර්ම දේශනාව අවසානයේ පූජා කිරීමට
කිසිවක් නොමැතිව බොහෝ දුකට පත්විණි. ඒ මොහොතේ ඔහුට සිහිපත් වූයේ උතුරු සළුව ගැන ය.
එහෙත් ඒ සිතිවිල්ල ආ වහාම තමාටත් බිරිඳටත් ඇති එකම උතුරු සළුව කෙසේ පූජා කරන්නේ
දැයි සිත් විය. මෙසේ පූජා කරම් දෝ , නොකරම්දෝ යි දහස් ගණන් සිතිවිලි සමඟ ඔහු කළේ
යුද්ධයකි. අවසානයේ මසුරු සිතිවිල්ල පරදා දානමය සිතිවිල්ල ජය ගත්තේ ය. ඔහු තම
පිරිසුදු උතුරු සළුව පූජා කොට ‘දිනුවෙමි’ - ‘දිනුවෙමි’ යි උදම් හඬින් තුන් වරක්
පැවසී ය.
එදා බණ අසන්නට පැමිණ සිටි කොසොල් රජු ඒ හඬ ඇසී නොරිස්සුම් සහගත විය. ඒ හඬ ගෑමට හේතු
විමසූ කල ඇමතියකු කීවේ බමුණාටත්, බැමිණියටත් පෙරවීමට තිබූ එකම උතුරු සළුව පූජා කොට
මසුරු සිත දිනීමේ සතුටින් නැඟූ උදම් හඬ බවයි.
දුප්පතෙක් කළ පිනක මහිම යැයි පැවසූ රජු බමුණාට නොයෙක් අනුග්‍රහ දැක්වූහ. මේ සිදුවීම
නිමිති කොට කුසල් කිරීමෙහි යුහුසුළු විය යුතු බවත්, අකුසලයෙන් සිත වළකා ගත යුතු
බවත්, පින් කිරීමට අලස වන්නාගේ සිත පවෙහි ඇලෙන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට
වදාළහ.
බෞද්ධයන් ලෙස අපට මේ මාහැඟි කතා පුවත ඉතා ආදර්ශවත් ය. ජීවිතය දිනන මඟ උත්සාහය බවට
එය අපට මඟ පෙන්වයි. |