රට දැය සමය පුබුදු කළ මඩිහේ මහ නා හිමිපාණෝ
“දුල්ලභෝ පුරිසාජඤ්ඤා
න සෝ සබ්බත්ථ ජායති
යත්ථ සෝ ජායතී ධීරො
තං තුලං සුඛ මේධති” “ශ්‍රේෂ්ඨ වූ අජානේය පුරුෂයන් දුර්ලභ ය. එබඳු පුද්ගලයෝ ලොවැ හැම
තැනෙක ම නූපදිති. එවැනි අය ජන කණ්ඩායම් තුළ උපදින සේක් නම් ඒ ජන කණ්ඩායම සුවයට
පැමිණෙන්නේ ය.”
(ධම්මපදය 193)
සසුන් අඹරේ කසුන් තරුවක් විසින් දහසක් සිසුන් ඇති කොට
උතුම් බුදුබව පතන බෝසත ලෙසින් පෙරුමන් පුරා හැම විට
ලොවේ හැම දෙය අනිත බව අප හැම දෙනගෙ සිත සනිටුහන් කොට
වැඩිය සුරලොව අපේ මහ නාහිමිට බුදු බව පතමු හැම විට
-
කවුඩුවාවේ ශ්‍රී සංඝරතන නාහිමි
ශාසනික ජාතික, සමාජයීය වශයෙන් අතිවිශිෂ්ට පරම පවිත්‍ර ඵලදායී සේවාවක් කළ අති පූජ්‍ය
මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමිපාණන් වහන්සේගේ අමිල ගුණ සමුදායෙන් බිඳක් යළි යළිත්
සිහිපත් කිරීම අප විසින් කළ යුතු මහඟු උපහාරයකි. පූජෝපහාරයකි.
නාහිමි ගුණසමුදායේ සුවඳ දිනෙන් දින ලොව දසත පැතිරීම විනා කිසිදු ලෙසකින් අඩුවක් නම්
එහි නො වන්නේ ය.
බුදුපියාණන් වහන්සේ මෙත් සූත්‍රයේ දැක් වූ සියලුම උතුම් ගුණාංග අප මහා නාහිමි චරිතය
පුරා එක්තැන්ව ඇත. මේ හැම ගුණයකට ම උන්වහන්සේගේ සිරිතෙන් නිදසුන් සැපයිය හැකි ය.
භික්ෂු ජීවිතයේ පරමාර්ථය නියම අයුරින් අවබෝධ කර ගෙන ගිහි පැවිදි හැමදෙනාගේ ම
අභිවෘද්ධිය හා හිතසුව පිණිස කරනු ලැබූ ඉමහත් කාර්ය භාරය ඉතාමත් ප්‍රශංසනීය විය.
කිසිම භේදයකින් තොරව බෞද්ධ අබෞද්ධ හැම දෙනාට ම සමානාත්මතාවයෙන් හා සුහදත්වයෙන්
යුතුව තම සේවාව ඉටු කිරීම මෙම විශිෂ්ට චරිතයේ දැකිය හැකි සුවිශේෂී ගුණාංගයකි.
මෙනිසා උන්වහන්සේට ලැබුණ ගෞරව සම්මාන ආචාර්ය උපාධි රාශියකි. ඒ කිසිවක් අප නාහිමියන්
වහන්සේ කිසි දිනෙක කිසිවිටෙක පාවිච්චියට යොදා නො ගත්තේ ය. මඩිහේ නාහිමි නම පමණක්
භාවිතයට ඉතා ප්‍රිය විය.
1913 ජුනි මස 21 වන දින දකුණු ලක මාතර මඬිහේ නැමැති කුඩා ගම්පියසේ දී මෙලොව එළිය
දුටු බෙල්සන් විල්මට් පූජිත ගුණවර්ධන නැමති පින්වත් කුළ කුමරුවා මාතර සාන්ත තෝමස්
විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. පවුලේ දූ දරුවන් 5 දෙනා අතරින් බාලයා හැටියට
කාගේත් ආදරය දිනා සිටි මේ පුංචි පුතු සසර පුරුද්ද හා සංසාරගත ප්‍රාර්ථනා නිසාවන්දෝ
කුඩා කල සිට ම පැවිදි වීමේ බලවත් ආශාවකින් පසුවිය. 13 වන වියේ දී එනම් 1926 ජුනි මස
24 වැනි දින මඩිහේ පඤ්ඤාසීහ නමින් මෙම කුල කුමරා උතුම් පැවිද්ද ලැබීය. වැඩිකල් නො
යාම අප නාහිමිපාණන් වහන්සේ පැලෑනේ සිරි වජිරඤාණ මහ නාහිමිපාණන්ගේ සෙවනේ ඉගෙනුම සඳහා
1927 ජනවාරි මස 26 වන දින වජිරාරාමයට වැඩම කළ සේක. මහාචාර්ය අසංක තිලකරත්න මැතිදුන්
විසින් මහ නාහිමි චින්තනය පිළිබඳ ඉතා වටිනා පර්යේෂණාත්මක ග්‍රන්ථයක් එළි දැක්වීය.
එය පමණක් නොව විවිධ පැතිකඩ ඔස්සේ මහනාහිමි චරිතය පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථ සිය ගණනක්
ලිවිය හැකි ය.
මානව දයාවෙන් පිරීගිය උදාර භික්ෂු ජීවිතයක උතුම් පරමාදර්ශයක් වන උන්වහන්සේ පැතු
ලොව්තුරු ගමනේ දී නොමැකෙන අනාගතයට ඉතිරි කළ අමිල පිය සටහන් බොහෝ ය. අප ද ගිහි
පැවිදි දෙපරපුරට ම මහ නාහිමිපාණන් වහන්සේගෙන් පිරිනැමෙන අගනා දායාදයන් රැසකි. දිය
පිපාසිත සෑම අවස්ථාවක ම කවරකු හෝ උන්වහන්සේගේ දෙ අතට පැන් බඳුනක් පිරිනැමීම සිරිතක්
විය. කිසිදිනක නාහිමි එය අතට ගෙන වළඳනු මා දුටුවේ නැත. මින් පෙනී යන්නේ උන්වහන්සේ
තුළ පැවති දැඩි ශික්‍ෂාකාමීත්වය හා ඉතා ආදර්ශ සම්පන්න බවයි. විනය ශික්ෂාපද අපවත් වන
මොහොත දක්වාම අකුරට ම පිළිපැද්දේ ය.
අප නාහිමිපාණන් වහන්සේ රට ජාතිය හා ශාසනයේ භාග්‍යයට මෑත යුගයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම
නිල නො ලත් සඟරජ යැයි පැවසීම අවිවාදයෙන් පිළිගත යුත්තකි. උන්වහන්සේ පැවිදි ජීවිතය
ආරම්භ කළේ ධර්මඥානයෙන් පෝෂිත ව්‍යක්ත ධර්ම දේශකයකු ලෙසින් බුද්ධ ධර්මයත් විද්‍යාවත්
අතීතයක්, වර්තමානයත් සසදමිනි. එදා රට පුරා ඇවිද කළ මහඟු ධර්ම දේශනා හා සාකච්ඡා සමාජ
සංශෝධනයට ඉතා ඉවහල් විය. වර්ෂ 1926 පැවිදි දිවියට ඇතුලු වූ දින සිට වසර 70 කට වැඩි
කාලයක් තුළ සෑම මොහොතක් ම උන්වහන්සේ ගෙවා ඇත්තේ තමා උපන් දේශයටත් තමා උරුම කර ගත්
ජාතික, ආගමික සම්ප්‍රදායන්ටත් තමාගෙන් ඉටුවිය යුතු සේවාව සඳහා කැප කිරීමට ය. මෙහිදී
තම වයස, ඇවැසි දානය හෝ දිවා රෑ වෙහෙස මහන්සිය ගැන උන්වහන්සේ කිසිදු විටක නො සිතූ
සේක. වත්මන් සමාජ පරිසරය තුළ සම්බුද්ධ ශාසනයෙහි තිරස්ථිතිය සඳහා කෙබඳු පියවර ගතයුතු
දැයි ඉතා දුරදිග බලා බුද්ධිමත්ව වටහා ගෙන එය ක්‍රියාවට නැංවීම නාහිමිපාණන්ගේ
ජීවිතයේ දැකිය හැකි තවත් සුවිශේෂි ගුණාංගයකි.
උපත් පාලනය ආරම්භ කිරීම පිළිබඳ එදා උන්වහන්සේ දැඩි විරුද්ධත්වයක් ප්‍රකාශ කළේ ය.
ඉන් සිංහල ජාතියේ අනාගතය වැනසෙන බවත්, සුළු ජාතීන් නොබෝ කලකින් මහාජාතිය වන බවත්
උන් වහන්සේ එඩිතරව ප්‍රකාශ කළේ ය. ඒ අතර වස විස මුසුකළ ආහාර අනුභවය පිළිබඳ දැඩිව
කතා කළ අතර ඒ පිළිබඳ රජයට බොහෝ අවස්ථාවල දී කරුණු ඉදිරිපත් කළත් මේ දක්වා ඉන්
කිසිදු ප්‍රතිඵලයක් අත්වී නැත. නිදසුනක් වශයෙන් ලංකාවේ දැනට භාවිත වන සෑම පලතුරකට ම
අද වස විස යෙදීම සුලබ කරුණක් වී ඇත. මහ නාහිමි ජාතියට වන මේ මහ විපත කල්තියාම
දුටුවේ ය.
සිංහලයන් විවිධ හේතු නිසා භේද භින්නව සිටීමේ ආදීනව ඉසිවර නුවණින් දැක ‘සිංහලයින්
සමගිවව්’ යැයි උන්වහන්සේ එකහඬින් කියා සිටියේ මීට දශක ගණනක සිට ය. විවිධ විලාසයෙන්
ඉස්මතුවන දේශද්‍රෝහීන් හා ජාති ද්‍රෝහී උපක්‍රමයන් නුවණැසින් හඳුනාගෙන ඉන් සිදුවන
උවදුරු වළකා ගැනීම සඳහා අනෙකුත් නිකායවල මහනාහිමිවරුන් සමඟ එකමුතුව පියවර ගැනීමට
ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී පෙරමුණ ගත්තේ ය. ඊළාම් යුද්ධයේ බිහිසුණු බව හා එහි
ප්‍රතිවිපාක පිළිබඳ උන්වහන්සේ සෑම කෙනකුටම නො බියව කරුණු ඉදිරිපත් කළත් එහි
ප්‍රතිඵල දැක්කේ ඉතා සුළු වශයෙනි.
අනතුරුව වියත් ලේඛකයකු ලෙස අප නාහිමිපාණන් කළ සේවය අති උදාර ය. රූපවාහිනී නාලිකා
නොමැති කාලයක දිනපතා පුවත්පත් සඟරාවලට පමණක් කාලීනව ලිවූ ලිපි ලේඛන සංඛ්‍යාව සිය
දහස් ගණනකි. ඒ සියල්ල අද සිරිවජිරඤාණ ධර්මායතනයේ මඩිහේ මහ නාහිමි අනුස්මරණ පුස්තකාල
ගොඩනැගිල්ලෙහි සුරක්‍ෂිතව අනාගත පරපුර සඳහා එක් රැස් කොට ඇත. විවිධ මාතෘකා යටතේ
ලියන ලද පොත්පත්, සඟරා, පුවත්පත් සංඛ්‍යාව සිය දහස් ගණනකි. සංසුන් මනස, සීල, භාවනා,
බෞද්ධ ගෙදර, තුරුණු සවිය ඒ අතර ඉතා ජනප්‍රිය වූ බෞද්ධ පොත් ය.
තුරුණුවියේ සිට ම භික්ෂුත්වයේ උරුමය හා වගකීම් හරිහැටි තේරුම්ගත් නාහිමිපාණන්
වහන්සේ රටදැය සමය වෙනුවෙන් හද පත්ලෙන් නැගෙන කැක්කුමකින් යුතුව නිතරම ක්‍රියා කළේ
ය. මිනිසා නොහදා රට හදන්න බැහැ මිනිසාත් හදාගෙන රටත් හදාගනිමු යන්න නාහිමිපාණන්ගේ
තේමාව විය. ඒ අනුව නාහිමිපාණන්ගේ පැවිදි දිවිය දිවා රෑ නො බලා කැප කළේ සැමවිට ම
කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව මිනිසා හදන්නට ය. මිනිසා හදා රටත් ජාතියත් හදන්නට ය.
රටත් ජාතියත් හදා සසුන බබළවන්නට ය. උන්වහන්සේගේ මෙම තේමාව එකල සිටි සියලුම
දේශපාලනඥයින්ට හා පක්ෂ නායකයින්ට පැහැදිලි කරදුන් නමුත් ඔවුහු කිසිම අවස්ථාවක එය
පිළිගැනීමට කටයුතු නො කළහ. අද ලාංකික සමාජය සෑම අයුරකින් ම මහා පරිහානියට ලක්වී ඇත.
රටත් ජාතියත් හදා සසුන බබළවන්නට මිස මම මේ ගොඩනැඟිලි හැදුවේ නැහැ. මිනිස්සු හැදුවා.
මිනිස්සු ගොඩනැඟිලි හැදුවා. මහරගම සිරි වජිරඤාන ධර්මායතනය හා එයට අනුබද්ධ දිවයිනේ
විවිධ පළාත්වල හා බොහෝ රටවල පිහිටි ධර්මායතන ශාඛා පිළිබඳ වරක උන් වහන්සේ සඳහන් කළේ
ඒ අයුරිනි.
හදවත පිරීගිය අසීමිත කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයානුකම්පාවෙන්, ලෙංගතුකමින් මිනිස්
සංහතිය දෙස බැලූ උන්වහන්සේ හැම විට ම අනුශාසනය කළේ මිනිසුන්ට දෙ ලොව සුගතිය සැලසීමේ
පරමාධ්‍යාසයෙනි. පිහිටක් පිළිසරණක් පතාගෙන එන ඕනෑම කෙනකුට වේලාවක් අවේලාවක් නො බලා
බලවත් අනුකම්පාවෙන් පිහිට වූහ. එහිදී කිසිවිටකත් එම පුද්ගලයාගේ තරාතිරම ගැන නො
බැලූහ. නො විමසූහ පිහිට පතා එන සියල්ලන්ට ම උන්වහන්සේ හදපත්ලෙන් නැඟෙන කුළුණුබර
වදනින් කරුණාබරිත සිනාවෙන් පරම පවිත්‍ර අසරණ සරණාධ්‍යාසයෙන්, මානව දයාවෙන් පිළිසරණ
වූහ. පූජා කළ හැමදේම උන්වහන්සේ බෝසත් උතුමකු සේ නැති බැරි අයට පරිත්‍යාග කළේ ය.
නාහිමි වැඩ සිටි කාමරයේ බිම කූඹි වැනි කුඩා සතුනට ආහාර පිණිස විවෘත කළ කුඩා සීනි
බඳුනක් තබා තිබිණ. එයට දිනපතා උදෑසන සීනි ටිකක් තබා ඒ දෙස බලා ඔවුනට මෙත් වැඩීම
සිරිතක් විය.
යථාවාදී තථාකාරී ගුණය උන්වහන්සේගේ චරිතයෙහි දැකිය හැකි විශේෂ ගුණාංගයකි. දානයේ
ආනිසංශ පෙන්වා දුන්නේ දන් දීමෙනි. සියක් වරකට වඩා උන්වහන්සේ ලේ දන්දීම සිදු කර ඇත.
සීලයෙහි ගුණය පෑවේ සුපටිපන්න ගුණයෙනි. ප්‍රඥාවෙහි අගය පෑයේ විශාරදත්වයෙනි.
බහුශ්‍රැතකමිනි. සිංහල පාළි සංස්කෘත ඉංග්‍රීසි ආදී විවිධ භාෂාවන්හි හසල දැනුමක් ඇති
නාහිමිපාණෝ අතිදක්ෂ ධර්ම දේශකයෙක් ද විය. උන්වහන්සේගේ සුමධුර ධර්ම දේශනා විලාසය
කාගේත් නෙත්සිත් පිනවීය. එය අසා පැවිදි වූ පිරිස ද බොහෝ ය.
රටට ජාතියට විපතක් ඇවතක් වන වියහැකි හැම අවස්ථාවක ම මහනාහිමිපාණෝ වීරෝධාර
සෙන්පතියකු සේ පෙරමුණ ගත්හ. ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම, රට සභා පනත, උතුරු නැඟෙනහිර
ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ රටට අහිතකර වූ ගිවිසුම් ආදී හැම ජාතික ආපදාවක දී ම
නාහිමිපාණෝ එඩිතරව නො බියව සෘජුව ජනතාව වෙනුවෙන් නැඟී සිටියහ. හෙළබස රජ බස කරවීම,
පෝදා නිවාඩුව, බුද්ධ ශාසන කොමිෂන් සභාව, බුද්ධශාසන අමාත්‍යාංශය පිහිටුවා ගැනීම වැනි
බස දෙස රැසට කළ යුතු හරවත් සිදුවීම් උදෙසා එදා මූලික මඟ පෙන්වීම කළේ අප
මහනාහිමිපාණන් වහන්සේ ය. අද මෙන් නොව එදා උන්වහන්සේ කිසි දිනක තනතුරු නිල නාම, නිල
වාහන ආරක්‍ෂක නිලධාරීන් කිසිදු රජයකින් ලබා නො ගත්තේ ය. ජනාධිපතිනිය පරිත්‍යාග කළ
සුපිරි නිල වාහනය ද එදිනම හරවා යැවුවේ ය. එමෙන්ම උන්වහන්සේ කිසි දිනක කිසිම අයකුට
ගැති නො වීය. කිය යුතු දේ නොබියව සිංහයකු සේ ප්‍රකාශ කළේ ය.
මඩිහේ හිමිපාණෝ කවර හේතුවකින්වත් පොදු මිනිසාගෙන් ඈත් නොවීම උන් වහන්සේ තුළ දැකිය
හැකි සුවිශේෂ ගුණාංගයකි. තමන් වහන්සේ වෙනුවෙන් විශේෂ දානයක් කිසි කලක නො පැතූ උන්
වහන්සේ සියලු දෙනා වහන්සේ සමඟ එක්ව පොදුවේ ලැබෙන දානමාන ආදියෙන් සතුටුව ඉතා සරල
දිවිපෙවතක් ගෙවූහ. උන්වහන්සේට වඩිනා විට පොරවා ගැනීම සඳහා තිබුණේ කපු රෙදිවලින් මසන
ලද සිවුරු කීපයක් සහ නො වටිනා එක් සෙරෙප්පු යුගලක් පමණි. අසරණ සරණ පිණිස අනාරක්ෂිත
ගම්මාන දඹාන වැනි පිටිසර නො දියුණු ගම්මාන, අනාථ නිවාස, පුනරුත්ථාපන කඳවුරු හෝ සිර
මැදිරි වැනි ඕනෑම තැනකට ඕනෑම මොහොතක උන්වහන්සේ එදා නො බියව වැඩම කළ සේක.
උන්වහන්සේගේ මූලිකත්වයෙන් 1956 වර්ෂයේ දී ආරම්භ කළ මහරගම ධර්මායතනය, සීමාසහිත ශාසන
සේවක සමිතිය, ධර්මවිජය පදනම, කොළඹ 7, නාරද බෞද්ධ මධ්‍යස්ථානය මුළු ලොවට ම ආදර්ශවත්
අමිල සේවයක් හා විශිෂ්ට සමාජ මෙහෙවරක් අද සිදු කරනු ලබයි. ධර්මායතනයේ ළමා, තරුණ,
වැඩිහිටි ශිල සමාදාන වැඩපිළිවෙල ඉන් විශේෂ වූවකි. මුළු දිවයිනටම ප්‍රධානත්වය දරන
ආදර්ශවත් වූ සිරිවජිරඤාන දහම් පාසලේ ඉරු දිනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 5000 කට
වැඩි ය. එමෙන්ම සෑම පුර පසළොස්වක පෝය දිනවල සියලුම ශීල සමාදාන වැඩසටහන් සඳහා සහභාගී
වන සිල් පිරිස 10000 කට ආසන්න ය. වෙසක් දිනවල එම පිරිස 15000 කට ආසන්න ය.
එමෙන්ම ලොව පුරා ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා විදේශ ධර්මදූත සේවය ආරම්භ කළහ. අප
ධර්මායතනයේ සුසිල්වත් භික්ෂුන් වහන්සේ බොහෝ දෙනෙක් දැනට විදේශගත ශාඛාවල
ධර්මප්‍රචාරක කටයුතු මැනවින් පවත්වා ගෙන යනු ලබයි. මහ නාහිමිගේ ප්‍රධාන ශිෂ්‍ය
අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති, මහරගම සිරිවජිරඤාන
ධර්මායතනාධිපති අතිපූජ්‍ය මහරගම ධම්මසිරි නාහිමිපාණන් වහන්සේ කරන සේවය ලොවට ඉතා
ආදර්ශවත් වූවකි.
සිංහල බෞද්ධයාට නැතිව ගිය පොහොය නිවාඩුව නැවත ලබා ගැනීමට ක්‍රියා කිරීම උන්වහන්සේ
සිදු කළ වැදගත් ශාසනික සේවාවකි. උන්වහන්සේ නො සිටින්නට සංඝ සමාජයේ තිබෙන මෙම
පිබිදීම අද නො තිබෙන්නට තිබිණි. සකල මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් දිවි හිමියෙන් අමිල
සේවාවක් කළ උන්වහන්සේ උගත්, වියත්, සිල්වත්, ගුණවත් සිය ගණනකට වැඩි ශිෂ්‍ය භික්ෂු
පරපුරක් සසුනට දායාද කළ මහා සංඝ පීතෘවරයකු වශයෙන් ද සඳහන් කළ හැකි ය. ඒ අතර අමරපුර
ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති අග්ගමහා පණ්ඩිත
අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමිපාණන් වහන්සේගේ නිහඬ මහරු සේවය අප රටට මෙන් ම
ලොවට ම ඉතා ආදර්ශවත් ය. මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිකාරී හා සිරි වජිරඤාන දහම්
පාසලේ ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය හක්මන සුමනසිරි හිමිපාණන් වහන්සේගේ
දිවා රෑ කරන සේවය ද අමිල ය. එමෙන්ම අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ ද
කළ සුවිශේෂ සේවය ද මෙවැනි ලිපියකින් ලියා නිම කළ නොහැකි ය.
උන්වහන්සේගේ ගුණ සමරා 2023.09.10 වැනි ඉරුදින දහවල් මහරගම සිරි වජිරඤාන ධර්මායතනයේ
දී මහ නාහිපාණන් වෙනුවෙන් සියක් නමකට පිරිනැමෙන මහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමුණි.
ආචාර්ය
රත්නපාල වික්‍රමසිංහ |