[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ස්වර්ණමාලි මහ සෑ රදුන්ගේ මඟුල් ගල් පිහිටු වූ අසිරිමත් මොහොත

ස්වර්ණමාලි මහ සෑ රදුන්ගේ මඟුල් ගල් පිහිටු වූ අසිරිමත් මොහොත

ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ අතිඋත්කර්ෂවත් ම මහා පුණ්‍යෝත්සවය ලෙස වංසකතාවන් සඳහන් කරනු ලබන්නේ දුටුගැමුණු මහ රජතුමා විසින් රුවන්වැලි මහා සෑයේ කටයුතු ආරම්භ කිරීමේ පුණ්‍යෙීත්සවය යි. ඇසළ පොහෝ දින සිදුවූ රුවන්වැලිසෑයෙහි මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිරිලක් ඉතිහාසයේ පැවැති අතිශය විචිත්‍රවත් ම  පුණ්‍යෝත්සවය ලෙසින් මහාවංසය ඇතුළු මූලාශ්‍රයන්හි විස්තර කොට තිබේ.

රජ අණින් පත් කළ ඇමතියන්ගේ මෙහෙයවීමෙන් අත්‍යාලංකාරයෙන් සරසන ලද අනුරාධපුර නගරය පංචතූර්ය නාදයෙන් නින්නාද විය. පෙර නොවිරූ විරූ අන්දමෙහි මහා සංඝ සන්නිපාතයක් එක්රැස් විය. විවිධ රටවලින් දහස් ගණනින් භික්ෂු භික්ෂුණීන් වහන්සේ රැස් වූ අන්දම මූලාශ්‍රයන්හි සවිස්තරාත්මකව දක්වා තිබේ.

ඉන්දගුත්ත මහ තෙරුන් ප්‍රමුඛ අසූ දහසක් තෙරවරුන් රජගහනුවරින් ද, ධම්මසේන මහ තෙරුන් ප්‍රමුඛ දොළොස් දහසක් තෙරවරුන් බරණැස ඉසිපතනාරාමයෙන් ද, පියදස්සී මහා තෙරුන් ප්‍රමුඛ සැටදහසක් තෙරවරුන් සැවැත්නුවර ජේතවනාරාමයෙන් ද, බුද්ධරක්ඛිත මහ තෙරුන් ප්‍රමුඛ අටළොස්දහසක් තෙරවරුන් විශාලාමහනුවර මහාවන විහාරයෙන් ද, මහාධම්මරක්ඛිත මහ තෙරුන් ප්‍රමුඛ හතළිස් දහසක් තෙරවරුන් උදේනි නුවර දක්ඛිණගිරි විහාරයෙන් ද, මිත්තිණ්ණ මහ තෙරුන් ප්‍රමුඛ එක්ලක්ෂ සැටදහසක් තෙරවරුන් පාටලීපුත්‍ර නුවර අශෝකාරාමයෙන් ද, උත්තිණ්ණ මහ තෙරුන් ප්‍රමුඛ දෙලක්ෂ හැට දහසක් තෙරවරුන් කාශ්මීර දේශයෙන් ද, මහා ප්‍රඥා ඇති ජයදේව මහ තෙරුන් ප්‍රමුඛ හාරලක්ෂ හැටදහසක් තෙරවරුන් පල්ලවභෝග ජනපදයෙන් ද, මහාධම්මරක්ඛිත මහ තෙරුන් ප්‍රමුඛ තිස් දහසක් තෙරවරුන් යෝනක රට අලසන්දා නුවරින් ද, උත්තර මහා තෙරුන් ප්‍රමුඛ හැටදහසක් තෙරවරුන් වින්ධ්‍යා වනයෙහි වූ වත්තනිය සෙනසුනෙන් ද, චිත්තගුත්ත මහ තෙරුන් ප්‍රමුඛ තිස් දහසක් තෙරවරුන් බෝමැලි වෙහෙරෙන් ද, චන්දගුප්ත මහ තෙරුන් ප්‍රමුඛ අසූ දහසක් ථෙරවරුන් වන මාස ජනපදයෙන් ද, සූරියගුත්ත මහ තෙරුන් ප්‍රමුඛ අනූහය දහසක් තෙරවරුන් කෛලාස විහාරයෙන් ද මෙහි වැඩම කළ සේක. මේ හැරුණු විට ස්වදේශික මහාසංඝයා වහන්සේ ඇතුළු භික්ෂු භික්ෂුණීන් වහන්සේ ද උපාසක උපාසිකාවන් ද මීට සහභාගි වූ අන්දම සඳහන් වේ.

මේ සඟ පිරිස අතර සයානුකෙළක් පමණ මහ රහතන් වහන්සේ වැඩ සිටි බව ථූපවංශය සඳහන් කරයි. මේ සඟ රුවන පබළු වළල්ලක් මෙන් රජතුමා වටා වැඩ සිටියහ. බුද්ධරක්ඛිත නම් මාහිමිනමක්, තවත් බුද්ධරක්ඛිත නම් හිමිවරුන් පන්සියයක් සමඟ නැගෙනහිර දිශාවෙහි වැඩ සිටියහ. ධම්මරක්ඛිත, සංඝරක්ඛිත, ආනන්ද සහ පියදස්සි යන මාහිමිපාණන් වහන්සේ එම නම් ම ඇති හිමිවරුන් පන්සියය බැඟින් පිරිවරා ගනිමින් පිළිවෙළින් දකුණු, බස්නාහිර, උතුරු හා ඊසාන දිසාවන්හි වැඩ සිටියහ. සඟ ගණ මැද මගුල් ගල අතැතිව සිටි රජතුමා අභිනව මහා සෑයේ කටයුතු අනතුරකින් තොරව සිදුවන්නේ නම් ඉහත නම් සඳහන් හිමිවරුන් ඒ ඒ දිශාභිමුඛයෙහි වැඩ සිටිත්වා යැයි අධිෂ්ඨාන කළ අතර, එය එලෙස ම සිදු විය. ඉන්දගුත්ත තෙරුන් රජුගේ අදහස දැන එය සිදුකිරීමට උපකාර කරන ලදහ. සිද්ධාර්ථ, මංගල, පදුම, සීවලී, චන්දගුත්ත, සූරියගුත්ත, ඉන්දගුත්ත, සාගර, චිත්තසේන, ජයසේන, අචල යන එකොළොස් හිමිවරුන් පරිවාර සංඝයා ද සමග පුන්කළස ඉදිරියේ නැගෙනහිර දිශාභිමුඛව වැඩ සිටියහ.

මහා සංඝයා වහන්සේ පින්කම් බිමට වැඩම වූ පසු නියමිත ස්ථානයට ගිය දුටුගැමුණු මහ රජතුමා පහන් සිතින් යුතුව තෙරුවන් වැඳ අමාත්‍යවරයකු සමඟ චෛත්‍යයේ පාදම් සීමා ලකුණු කරන්නට විය.

අතිවිශාල භූමි ප්‍රමාණයක් වසා ගනිමින් සුවිශාල චෛත්‍ය පාදමක් සඳහා රජතුමා මායිම් සලකුණු කරනු දුටු දූරදර්ශී සෘද්ධිමත් සිද්ධාර්ථ තෙරුන් වහන්සේ රජුගේ ජීවිත කාලය තුළ දී මෙතරම් විශාල දාගැබක් බැන්ඳ විය නොහැකි බවත්, එමෙන්ම සුවිසල් දාගැබක් නඩත්තුව අනාගත කාලයට සිදු කළ නොහැකි බවත් පවසමින් පාදම් සලකුණු කිරීම කුඩා කරවූහ.

දුටුගැමුණු මහරජතුමා යෝජිත බිමෙහි මැද රන් කළ අටක්, රිදී කළ අටක් තබවා එකසිය අටක් පුන්කළස් තබා රන් උළු (ගඩොල්) අටක් තබවා එක් රන් ගඩොලකට රිදී ගඩොල් හා පිළි 108 බැගින් තැබවීය. සුප්‍රතිෂ්ඨිත නම් ඇති අමාත්‍යවරයකු සහ සදෘෂ්‍ය නම් වූ මවුපියන් ජීවත්ව සිටින අමාත්‍ය පුත්‍රයන් සත් දෙනකු ලවා රන් ගඩොල් අට ගෙන්වා ගති.

චිත්තසේන නම් තෙරුන් වහන්සේ සලකුණු කළ පාදමෙහි නැගෙනහිර දෙස සුවඳ පිඬක් තැබූ අතර (මෙය සුවිශේෂී බදාම වර්ගයක් විය හැකි ය) ජයසේන තෙරුන් ඊට පැන් ඉස අනා දෙන ලදි. සුප්‍රතිෂ්ඨිත නම් අමාත්‍යවරයා උතුරුසළ නැකතින් මඟුල් ගල් පිහිටවූ පසු සුමන මහ තෙරුන් සමන් මල් පිදූහ. එවිට මහපොළොව කම්පා වූ බව සඳහන් වෙයි. මෙලෙස ඉතිරි රන් ගඩොල් සත ද පිහිටුවාලන ලදී.

ඉන්පසු දුටුගැමුණු මහ රජතුමා රිදී ගඩොල් අට පිහිටුවා සුවඳ මල් පූජා කොට විවිධ පුද සිරිත් ඉටු කළේ ය. පූජා කටයුතු නිමවූ රජතුමා පස් දිශාවෙහි වැඩ සිටි මහා තෙරවරුන් වෙත ගොස් සුවඳ මල් පුදා නමස්කාර කළේ ය.

ඊසාන දිසාවෙහි වැඩහුන් පියදස්සී තෙරුන් වහන්සේ මෙහිදී ධර්මය දේශනා කළ සේක. ධර්ම දේශනාව අවසානයෙහි හතළිස් දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය ලැබුණි. සතළිස් දහසක් සෝවාන් විය. දහස බැගින් සකෘදාගාමී ද අනාගාමී ද වූ හ. දහසක් ගිහි ජනයා රහත් වූහ. අටළොස් දහසක් භික්ෂු භික්ෂුණීන් වහන්සේ ද දහතුන් දහසක් භික්ෂූන් වහන්සේ ද අරිහත් ඵලයට පත් වූහ.

උළු වඩුවන් තේරීමේ දී රජු කෙතරම් පරීක්ෂාකාරී වූයේ ද යන්න පන්සියයක් උළු වඩුවන් රැස් කරවා ඔවුන්ගේ යෝග්‍යතාව පරීක්ෂා කොට ඉක්මනින් තැනවීමට පොරොන්දු වූවන්ට වඩා ගුණාත්මක බවින් ඉහළ කාර්යයක් සිදු කරන වඩුවාට ම එය පැවරීමේ පුවතෙන් සනාථ වෙයි. කෙසේ ගඩොල් තනන්නේ දැයි වඩුවන් රැස් කරවා ඇසූ කල “මෙහෙකරුවන් සියයක් යොදවා මැටි ගැලත් ගෙන්වා එක දවසින් ගඩොල් තනමි” යි කී උළුවඩුවා වෙනුවට වංගෙඩියෙහි කොටවා කුල්ලෙන් පොලා ඉක්බිති ඇඹරුම් ගලෙහි දමා අඹරවා ගත් මැටි අමුණක් පමණක් එක් දවසකට කරන බැව් කී උළු වඩුවාට චෛත්‍ය කර්මාන්තය පැවරුණි. සෑයෙහි හැඩය පිළිබඳ එම නිර්මාණ ශිල්පියාගෙන් විමසද්දී විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා ඔහුට ආවේශ වී රන්තලියක ජලය පුරවා අතින් තලියෙහි යටට තට්ටු කළේ ය. එකල්හි පැන නැගී පළිඟු ගුළියක් වන් දිය බුබුළ දක්වා මෙලෙසින් බුබ්බුලාකාර ස්වරූපයෙන් දාගැබ තනවන බවට ප්‍රතිඥා දුනි. එමෙන්ම කල් පවතින පරිදි තනවන ලද සවිමත් අත්තිවාරම දෙවියන් විසින් නව වාරයක් ගිලා බැස්ස වූ බව සඳහන් වේ.

ශාසනාභිරතිය පිණිස ද, හුදී ජන පහන් සංවේගය පිණිස ද ලියැවුණු ඓතිහාසික මූලාශ්‍රයන් හැදෑරීමෙන් එකී අරමුණු සාක්ෂාත් කර ගන්නා අතරම විසි එක්වන සියවසේ ජීවත් වන අප හට සිතිය යුතු කරුණු රැසක් ඇත.

එනම් මෙවන් සුවිසල් විහාර කර්මාන්තයක් කිරීමටත්, සුවිසල් මහෝත්සවයක් සංවිධානය කිරීමටත්, දුටුගැමුණු රජ දවස ශ්‍රී ලංකාව කෙතරම් සමෘද්ධිමත් තත්ත්වයක පැවතී ද යන්න පළමුවැන්න ය. ලක්ෂ සංඛ්‍යාත ජනසන්නිපාතයට එක්රැස්වීමට තරම් අනුරාධපුර නගරය දියුණු මට්ටමක පැවතී ඇති බව උපකල්පනය කළ හැකි ය.

වැටුප් ලබා මිස නොමිලේ මහා සෑය වෙනුවෙන් ශ්‍රමය කැප නොකළ යුතු බවට රාජාඥා පැනවූ පුවත මහාවංසයේ සඳහන් වීමෙන් ලක්දිව ආර්ථිකයෙහි සමෘද්ධිය පිළිබඳ සිතිය හැකි ය. ආර්ථික දියුණුව සේ ම රටවැසියාගේ ආධ්‍යාත්මික දියුණුව ද උසස් මට්ටමක පැවති බව මහා පරිමාණ විහාර කර්මාන්තවල යෙදීමට ඇති නැඹුරුව, විශාල ජනකායක් මාර්ගඵලයන්ට පැමිණීම වැනි නිදසුන් මඟින් මනාව පිළිබිඹු වෙයි.

එළාර සමඟ යුද්ධ කොට අවසන් වූ පශ්චාත් යුද සමයක වුව ද ශ්‍රී ලංකා දීපය කෙතරම් සමෘද්ධිමත්ව පැවතිණි දැයි අදහසක් ලබා ගැනීමට මෙවැනි ඉතිහාස වාර්තා මහෝපකාරී වෙයි.

ශ්‍රී ලංකාවේ පුරාණ ඉංජිනේරු තාක්ෂණයේ විපුලත්වය ද මෙහිදී විදාරණය වේ. බිම් සැකසීම, පාදම සැකසීම ආදියෙහි දී කෙතරම් කල් පවතින ආකාරයකට එම කාර්යයන් සිදු කිරීමට පුරාණ ශ්‍රී ලාංකිකයා කටයුතු කළේ දැයි සිතා ගත හැකි ය.

මහාසෑයට යොදා ගත් මැටි නවනීත මැටි යනුවෙන් හඳුන්වන්නේ අනෝතත්ත විලෙන් නික්මෙන සැට යොදුන් පමණ ජලය පතනය වන ප්‍රදේශවල දෙපස තිස් යොදුන් පෙදෙසෙහි වැසි වැටීම නිසා සෑම කල්හිම තෙත් සහිත වූ ස්වයංජාත ඇල්වී වැවෙන බිමෙක පිහිටි වෙඬරු පිඩක් මෙන් මොළොක් වූ මැටි වර්ගයක් බව වංසත්ථප්පකාසිනියෙහි කියැවෙයි.

සුවිශාල දාගැබ් වහන්සේ මත චූඩාමාණික්‍යය පැළඳවීමට හේතුව එම දාගැබ් වහන්සේ අකුණු උවදුරුවලින් වැළකීම බැව් වංසත්ථප්පකාසිනියෙහි සඳහන් වෙයි.

යුරෝපීය ජාතීන් දහනමවැනි සියවසේ දී අකුණු සන්නායක මූලධර්ම ලොවට ඉදිරිපත් කළ ද පුරාණ ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවන් ඉන් සියවස් ගණනාවකට පෙර එම දැනුමින් සමන්විත වූ බවට එය නිදසුනකි. ස්තූපයෙහි පූජනීය වැදගත්කම සේ ම ඉංජිනේරු ක්‍රම ශිල්පවල නිපුණත්වය පිළිබඳ අභිමානයක් අප තුළ ජනිත වීමට මෙම නිදසුන් හේතු වෙයි.

නිකිණි පුර අටවක

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා
පූ.භා. 03.31 න් පුර අටවක ලබා
25 සිකුරාදා පූ.භා. 03.10 න් ගෙවේ.
24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]