නිකිණි පුර අටවක පෝ දා 2023-08-24
සුසිරි වඩමු
දුසිරි – සුසිරි යැයි දෙවගයකි. දුසිරි නම් අකුසල් ය. දුසිරිතෙහි නියැළෙන්නෝ සමාජයේ
පිළිකුලට, ගර්හාවට බඳුන් වූවෝ ය. විවේචනයට, නිගාවට ලක්වන්නෝ ය. කරදර, දුක් විපත්වල
වැටෙන්නෝ ය. මෙලොව ද එසේ දුකට පැමිණ පරලොව ද අපා දුකෙහි වැටෙන්නෝ ය. එහෙයින්
සුසිරිතම වැඩිය යුතු බව අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළහ.
නුවණැත්තෝ ඒ ධර්මෝපදේශ මනාව පිළිපදිති. එහෙත් නුනුවණයෝ මොන තරම් දහම් අසන්නට ලැබුණ
ද මැණික් ගලක පය හැපුණත් කණා එය අහුලා නොගන්නා සේ ඒ දහම් ග්‍රහණය කර ගැනීමෙහි
නොසමත් වූවෝ වෙති. එහෙයින් ම අපමණ පව්කම් හි නියැළෙමින් පව් කඳු ම ගොඩ ගසා ගනිති.
එහෙත් කරත්තය බැඳි ගොනු පසුපස එන රිය සක සේ ඒ පාප කර්මයන්ගේ දුක් විපාක ඔවුන් පසුපස
ඒ ම වැළැක්විය නොහැකි ය. අසන දහම් මැනවින් තේරුම් ගෙන පිළිපැදීමෙහි උත්සාහවත් විය
යුතු එහෙයිනි.
සමහරු දුසිරි වඩන්නේ යම් දෙයක් පිළිබඳ සිතා බලා තීරණ ගැනීමට ඇති නොහැකියාව නිසා ය.
මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කර නොගන්නට තරම් මුළාවේ වැටී ඇති නිසා ය. අපේ කුඩාම සමාජ
ඒකකය වන පවුල දෙස බලමු. අතීතයේ තිබුණ විශාල පවුල දැන් ටිකෙන් ටික කුඩා වෙමින් තිබේ.
දැනට දශක හය හතකට පෙර පවුලක දරුවන් දහ පහළොස් දෙනෙක්වත් විය. එහෙත් ඔවුහු අසමගිව,
කළකෝලාහල කර ගත් බවක් පෙනෙන්නට නැත. ආගම දහමට නැඹුරුවීම තුළම ඔවුන්ගේ ජීවිත සරල
විය. ඔවුහු වැඩ කඳු ගොඩගසා නොගත් හ. අනෙකා ගැන ද සිතූහ.
දැන් පවුල තුන් හතර දෙනකුට සීමා වෙමින් තිබේ. එහෙත් එහි ගැටුම් අධික ය. අවශ්‍යතා
අපමණ ය. ඒ සංකීර්ණ බව තුළ ම එකිනෙකා තුළ නොරිස්සුම් සහගත බව, තරහව, කෝපය වර්ධනය වන
ආකාරයක් පෙනේ. පවුලෙන් ආරම්භ වී සමස්ත සමාජයට ම මුදා හැරෙන පීඩාකාරී සිදුවීම් එහි
ප්‍රතිඵල ය.
අද අපි ටිකෙන් ටික ඒ ඛේදනීය බවේ ගැඹුරට යමින් සිටිමු. අපේ දෑස් අඳුරු පටලයකින් වැසී
ඇති සේ හොඳ නරක දකින්නට නොහැකි බව සමාජය තුළ විද්‍යමාන වෙමින් තිබේ. එහි නරක විපාක
අද ද අපි භුක්ති විඳමු. හෙට දවසේ ඊටත් වඩා භයානක ලෙස භුක්ති විඳින්නට සිදුවනු ඇත.
ගිය හකුරට නාඩන්නේ තිබෙන හකුර රැක ගන්නේ යැයි ජන වහරේ කියමනක් වේ. එහෙයින් සමාජය
තුළ යම් පාපකාරී දේ, අනර්ථ සිදු වනවා නම් අප කළ යුතු ඒ ගැන ම සිතමින් මැසිවිලි
නැඟීම නොවේ. ඊළඟ මොහොතේ සිට ම එවැනි දේ සිදු නොවන තැනට නිවැරැදි වීම ය. ඒ නිවැරැදි
බව අන්‍යයන් තුළ වර්ධනය කිරීමට වෙර දරනවා වෙනුවට පළමුව තම තමන් නිවැරැදි වීමට
උත්සාහ ගත යුතු ය. යහ ආකල්පවලින් පෝෂණය විය යුතු ය. එවිට තමන්ගෙන් ඇරඹී පවුල තුළත්,
පවුලෙන් අසල්වැසියන් අතරටත්, එතැනින් සමාජයටත් යහගුණ ව්‍යාප්ත වී යනු ඇත. ඒ සඳහා
අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අපට ඕනෑ තරම් මාර්ගෝපදේශ ලබා
දෙයි.
අකතං දුක්කතං සෙය්‍යො
පච්චා තපති දුක්කතං
කතංච සුකතං සෙය්‍යො
යං කත්වා නානු තප්පති යැයි
ධම්ම පදයේ එන ගාථා ධර්මයක් වේ. මෙහි න අනුතප්පති යනු පසු තැවිලි නොවීම ය. කළ යහපත්
දේ නිසා මෙලොවත් පරලොවත් තැවීම්, පෙළීම්වලින් වැළකීමය. සුකතං කතං යනු සුසිරි කිරීම
ය. සන්සුන් කයින්, කුලුණු වදනින් හා මෙත් සිතින් යුතුව කරන කියන යහපත් දේ සුසිරි ය.
දුසිරි දුරැර සිසුරි වැඩීම බෞද්ධයාගේ සිරිත ය.
|