සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ මහා පෙරහර මංගල්ලයේ රන්දෝලි පෙරහර
ගෞතම බුදුරදුන් ඇසුරු කළ සමීපතම ශ්‍රී ලාංකිකයා වූයේ සුමන සමන් දෙවිඳුන් ය.
බුදුරදුන් මහියංගනයට වැඩම කළ අවස්ථාවේදී සබරගමු ප්‍රදේශාධිපතියකුව සිටි හෙතෙම එහි
ගොස් එදා ඇසූ බණ පද තුළින් සෝවාන් ඵලයට පත් විය.
තථාගතයන් වහන්සේ සමනොළ ගිරිහිස සම්බුදු සිරිපා සටහන පිහිටුවන්නේ සුමන සමන්
දෙවිඳුන්ගේ ආරාධනයට අනුව එහි වැඩම කොට වදාළ අවස්ථාවේ දී ය. සමන් දෙවිඳුන්ට කරන
ගෞරවණීය පුද සත්කාරයක් වශයෙන් පොලොන්නරු යුගයේ මහා පැරකුම්බා රජු කල ශ්‍රී
පාදස්ථානයේ සමන් දෙවොලක් ඉදිකර තිබූ බව රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ගේ
“සපරගමු දර්ශන” නමැති මාහැඟි ග්‍රන්ථයෙහි සඳහන් වේ.
දඹදෙණියෙහි රාජ්‍ය කළ දෙවැනි පැරකුම්බා රජ සමයෙහි ශ්‍රී පාදස්ථානයේ සමන් දෙවොලක්
ඉදි කරවූ බව මහාවංශයේ සඳහන් ව ඇත. එම අවධියෙහි දේවප්‍රතිරාජ නම් අමාත්‍ය ගම්පල සිට
සමන් දෙවිරුවක් ශ්‍රී පාදස්ථානයට වැඩම කර වූ බව ද එහි සඳහන්ව තිබේ.
දඹදෙණිය රාජ්‍ය සමයේ මැණික් ගැරීම සඳහා මෙම පෙදෙසට පැමිණි “ආර්යකාමදේව“ නමැති
අමාත්‍යවරයා මැණික් සුලභව ලැබීම හේතුවෙන් සමන් දෙවිඳුන්ට වූ බාරයක් ඔප්පු කරමින්
සමන් දෙවොල ඉදි කළේ ය. කෝට්ටේ හත් වැනි බුවනෙකබාහු රජ සමයේ රචිත “සමන් සිරිත” නමැති
කවි පොතෙහි සඳහන් වන අන්දමට සිරිපා මළුවේ සිට සබරගමු විහාරය දක්වා සමන් දෙව් රුවක්
වැඩම කරවා තිබේ. එසේ සමන් දේව රූපය වැඩම වීමෙන් පසු එය “සමන් විහාරය” බවට පත් විය.
සමන් විහාරයත්, සමන් දේවාලයත් අන්‍යෝන්‍ය වශයෙන් ආරක්ෂා වූ අතර, සමන් විහාරයේ වැඩ
සිටි භික්ෂූන් වහන්සේ දඹදෙණිය, කුරුණෑගල, ගම්පොල, නුවර ආදී රාජ්‍ය සමයවලදීත්
විහාරස්ථානය ආරක්ෂා කරමින් දේවාලයේ වැඩවලටත් උපදෙස් දුන්හ. ඒ අතර, ප්‍රබල භික්ෂූන්
වැඩසිටි කාලවල දී සබරගමුවේ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් ද දියුණුූ විය. එහි
අධිපතිත්වය දරා ඇත්තේ ධම්මාලංකාර නම් වියත් මහ තෙර නමකි.
උන්වහන්සේ දෙල්ගමුව රජමහ වෙහෙරේ අධිපති මහින්දාලංකාර නාහිමියන්ගේ පැවිදි සහෝදර
හිමිනමකි. උන්වහන්සේ මහනුවර මහා විහාරය හා සබඳතා පැවැත්වු මහ තෙරවරු වෙති. මේ නිසා
සමන් දේවාලය සහ සමන් විහාරය සබරගමුවේ ප්‍රධාන පූජනීය ස්ථානය බවට පත්වී තිබුණි.
එය හොඳින් අවබෝධ කර ගත් පළමු රාජසිංහ රජතුමා තමාගේ රාජ්‍ය බලයත්, දළදා වහන්සේගේ
අයිතියත් ප්‍රදර්ශනය කරමින් දළදා පෙරහර ආරම්භ කර ඇති බව පිළිගැනේ. එවකට දෙල්ගමුව
විහාරස්ථානයේ කුරක්කන් ගලක සඟවා තිබුණු දළදා වහන්සේ එවකට සමන් විහාරයට වැඩම කර වසර
එකොළහක් නොකඩවා මෙහි දළදා පෙරහර උත්සවශ්‍රීයෙන් පවත්වා ඇත.
පසුව පෘතුගීසින් සමන් දෙවොල ඇතුළු එවකට මෙහි පැවති වෙහෙර විහාර දාගැබ් විනාශ කර
දමා, මෙය ඔවුන්ගේ බළකොටුව බවට පත් කර ගෙන තිබේ. ඉන්පසු සීතාවක දෙවැනි රාජසිංහ රජු
පෘතුගීසින් පලවාහැර මෙම ස්ථානයේ යළි සමන් දෙවොල ස්ථාපිත කර ඇත. පෙර සමන් විහාරයට
මුල්තැන ලැබුණත් දෙවැනි රාජසිංහ රජුගෙන් පසු මුල් තැන හිමිවූයේ සමන් දෙවොලට ය. අද
දක්නට ඇත්තේ එසේ දෙවැනි රාජසිංහ රජු කරවූ සමන් දේවාලයයි. දේව සංකල්පයට
අනුව හින්දු
සංස්කෘතියට අයත් ඇතැම් චාරිත්‍ර විධි සමන් දෙවොලට ද රාජසිංහ රජුගෙන් උරුම වුවත්
බෞද්ධ දෙවි කෙනකු ලෙස ගෞරව බහුමානයට පාත්‍ර වූ සමන් දෙවිඳුන් නිසා සබරගමු මහ සමන්
දේවාලයේ බෞද්ධකම අදටත් සුරක්ෂිතව පවතී. බැතිමතුන් සමන් දෙවොලට පිවිස සමන් දෙවිඳුන්ට
වැඳුම් පිදුම් කිරීමට ප්‍රථම එම භූමියෙහි ම පිහිටි මහනුවර යුගයට අයත් දළදා විහාරයට
ගොස් තෙරුවන් නැමදීමෙන් පැහැදිලි වන්නේ ද මෙකී ලක්ෂණයයි. එපමණක් ද නොව බුදුරදුන්ට
පළමු පූජා නමස්කාරය පිදෙන බව පෙන්වමින් මහ පෙරහරේ පෙරටුවෙන් ම ගමන් කරන්නේ දළදා
කරඬුව රැගත් මංගල හස්තිරාජයා ය .
සබරගමු මහ සමන් දේවාලයේ චාරිත්‍ර විධි ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ. එනම්
දෛනිකව පැවැත්වෙන චාරිත්‍ර විධි, සතිපතා පැවැත්වෙන චාරිත්‍ර විධි හා වාර්ෂිකව
පැවැත්වෙන චාරිත්‍ර විධි වශයෙනි. තවදුරටත් මේවා කාර්තු වශයෙන් ද බෙදේ, අවුරුදු මහා
කාර්තිය, ඇසළ මහා කාර්තිය, ඉල්මහ කාර්තිය යනුවෙන් ද වෙන් කර තිබේ. මෙයින් ඇසළ මහ
කාර්තියට ඇසළ මහා පෙරහර මංගල්‍යය අයත් වේ. ඊට අමතරව අලුත් සහල් මංගල්‍යයද පැවැත්වේ.
වඩාත් උත්කර්ෂවත් පෙරහර ලෙස හැඳින්විය හැක්කේ මහ පෙරහරයි. වර්තමාන රත්නපුර මහ සමන්
දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් භික්ෂූන් වහන්සේගේ
අනුශාසනා පරිදි ජනතාවගේ සහයෝගයෙන් මෙවරත් උත්සවශ්‍රීයෙන් පෙරහර පැවැත්වීමට සියලු
කටයුතු සංවිධානය කර ඇත. එහිදී දළදා වහන්සේට කෙරෙන ගෞරව උපහාර සේ ම සමන් දෙවිදුන්ට
කෙරෙන උපහාර පූජාවන් ඉතාම උසස් අන්දමින් පැවැත්වේ.
- අයන්ති විතාන
පෙරහර පැවැත්වීම
රටට ම ආශිර්වාදයක්
සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ
මිගාර ජයසුන්දර
සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යය මෙවර පවත්වනු ලබන්නේ 798 වැනි
වරටයි. 02 වැනි රාජසිංහ රජතුමා විසින් මහල් ප්‍රාසාදයක් ලෙස සාදවා සුමන සමන්
දෙවියන් වෙනුවෙන් මේ දේවාලය පූජා කර තිබෙනවා. එදා සිට අද දක්වා ම රාජ නියෝගය මත
වාර්ෂිකව පවත්වන ප්‍රධාන උත්සවය වන්නේ ඇසළ පෙරහර මංගල්‍යයයි. පෙරහරේ රාජකාරී කටයුතු
සිදුකිරීම සඳහා එදා රජ දවස පටන්ම නින්දගම් 48ක්, පිදේනි ගම්මාන 360ක් පත්කර
තිබෙනවා. පෙරහර මංගල්‍ය ආරම්භ කෙරෙන්නේ කප් සිටුවීමේ චාරිත්‍රයෙනි. කප් සිටුවීමෙන්
පසු මළුවේ පෙරහර ද, දෙවේලේ පෙරහර ද අනතුරුව මහ පෙරහර ද පැවැත්වෙනවා. මහ පෙරහර එකම
පෙරහරක් ලෙස පෙනුණත් එහි පෙරහර පහක් ඇතුළත් වෙනවා. එනම් දළදා පෙරහර, පත්තිනි පෙරහර,
බිසෝ පෙරහර, කුමාර පෙරහර, සමන් දෙවි පෙරහර ලෙසින්.
ඇසළ පුන් පොහෝදා (අද) රන්දෝලි පෙරහර පැවැත්වෙනවා. මෙවර අලි 40ක් පමණ සහභාගිවීමට
නියමිතයි. උඩරට, පහතරට, සබරගමු, නැටුම් කණ්ඩායම් 36ක්, නර්තනාංග ඉදිරිපත් කරනවා. මහ
පෙරහර රාත්‍රී 8ට ආරම්භ කර දේවාල භූමිය තුළ ගමන් කරනවා. පසුදා දිය කැපීමේ මංගල්‍යය
සිදුකිරීමට නියමිතයි. මෙහි විශේෂත්වය වන්නේ දිය කැපීම සඳහා කිලෝමීටර් පහක් පමණ දුර
ගඟේ පෙරහරක් පැවැත්වීමයි.
ගඟේ පෙරහර යනු කළු ගඟේ දේවාලය අසල “කොටාඹේ” ළඟින් ආරම්භ කර දිය කැපීමේ මංගල්‍යය
සිදු කෙරෙන රත්මල ඇල්ල දක්වා අඟුල් මතින් ගඟ ඉස්මත්තට ගඟ දිගේ ගමන් කරන පෙරහරයි.
|