[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කඹුරුපිටිය ගෝදාවේ විමලවංශ නාහිමියෝ කොළඹ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලබති

කඹුරුපිටිය ගෝදාවේ විමලවංශ නාහිමියෝ කොළඹ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලබති

ශ්‍රී ලංකා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ “සුධර්මා” කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් ස්වකීය පැවිදි දිවියේ අඩ සියවස් සංවත්සරය යෙදෙන මෙම වර්ෂයේ සිය ආගමික, සමාජයීය හා ලෝක ශාසනික සේවාව අගය කරමින් කොළඹ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය සඳහා පත්කරන ලද ගල්කිස්ස ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරය, නෙලුව පාර, යට්ටපාත, සිංහරාජ උද්‍යානයේ සිරි සදහම් ගඟුල විහාරය යන උභය විහාරාධිපති, විශ්‍රාමික පරිවේණාධිපති සාමදාන විනිශ්චයකාර “සාසන කීර්ති ශ්‍රී ධම්මභාණි සුජනප්පසාධක” පණ්ඩිත කඹුරුපිටිය ගෝදාවේ විමලවංශාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේට “විනය කීර්ති ශ්‍රී බුද්ධප්පිය නන්දරතනවංතාවතංස” යන ගෞරව නාම සම්මුතිය සහිතව කොළඹ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ උත්තරීතර අතිගරු මහානායක, ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල රංගිරිඋල්පත රාජමහා විහාරය ප්‍රධාන විහාර ගණයේ විහාරාධීශ්වර සිටි සද්ධම්මවංසපාල ගණාචරිය, මහෝපාධ්‍යාය, අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහ නා හිමියන් ප්‍රධාන සුධර්මා කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, අතිපූජනීය මහා සංඝරත්නයේ සහ අධිකරණ අමාත්‍ය, විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පසුගිය ජුනි මස 16 වැනි දින බලපිටිය, වැලිතර, මහකප්පින වලව්ව මූලස්ථාන විහාරස්ථ ශ්‍රී ධීරානන්ද මහා මංගල උපෝෂථාගාරයේ දී ප්‍රදානය කරන ලදී.

ශ්‍රී සන්නස් පත්‍රය අති ගෞරවාර්හ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පිළිගැන්වූ අතර, නිල විජිනිපත අධිකරණ අමාත්‍ය, විජයදාස රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.

දක්ෂිණ ලංකාවේ මොරවක්කෝරලයේ, ගඟබඩපත්තුවේ, මාතර මහ දිසාවේ කඹුරුපිටිය නගරාසන්නයෙහි, ගෝදාව නම් ගම්පියසෙහි පීටර් අප්පුහාමි මීගහවත්ත මහතා සහ සැදැහැති මහෝපාසිකාවක වූ මාරඹ ගල්හේනගේ මැගිනෝනා මහත්මිය (හේනේගෙදර මහ හාමිනේ) යන දම්පතීන්ට දාව රාජ්‍ය වර්ෂ 1961ක් වූ ජුනි මස 06 වැනි දින දී මීගහවත්තේ විමලසිරි නමින් කුල කුමරකු මෙලොව ජනිත විය. ඒ සහෝදර සහෝදරියන් අට දෙනෙකුගෙන් යුතු වූ පවුලේ පස්වැනි දරුවා ලෙසිනි. විමලසිරි කුමරු කඹුරුපිටිය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර, නාරන්දෙනිය ජාතික පාසලෙන් කඹුරුපිටිය බටපත්තල ශ්‍රී උපසේන පිරිවෙන් විහාරස්ථානයෙහි අධිපතිව වැඩ විසූ විනයාචාර්ය, කැකුණේවෙල අරියමිත්ත නාහිමි, කඹුරුපිටිය, සපුගොඩ ශ්‍රී විද්‍යානිකේත පිරිවෙන් විහාරාධිපති ගතාරේ සුගතපාල නාහිමියන් ඇතුළු ඇදුරු මඬුල්ලෙන් දහම් අධ්‍යාපනය ලැබුවේ ය.

විමලසිරි කුල කුමරුවෝ ගෝදාව, ශ්‍රී බෝධිරාජාරාමයේ වැඩ විසූ ආචාර්ය, ගැටමාන්නේ ශ්‍රී සෝභිත නා හිමි සහ වත්මන්හි දෙයියන්දර, ගල්ඇටුඹ පුරාණ මහා විහාරාධිපති ඕමාරේ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයට අයත් දෙයියන්දර ගල්ඇටුඹ පුරාණ මහා විහාරාධිපති ව වැඩ විසූ විනයාචාර්ය, පල්ලාවෙල ඛුද්දප්පිය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සහ විද්‍යෝදය පිරිවෙන්හි උප ප්‍රධානාචාර්ය හා පල්ලාවෙල ශ්‍රී තේජෝවනාරාමයාධිපති ව වැඩ විසූ පල්ලාවෙල සද්ධාතිස්ස නා හිමිගේ උපාධ්‍යායත්වයෙන් 1973 ඔක්තෝබර් මස 30 වෙනි දින කඹුරුපිටිය ගෝදාවේ විමලවංශ හිමි නමින් උතුම් පැවිදි දිවියට පත් විය.

අනතුරුව භික්ෂු අධ්‍යාපනය සඳහා 1974 වසර අග භාගයේ දී මතුගම නාරාවිල ශ්‍රී අභයසේලාරාමයේ වැඩ සිටි විනයාචාර්ය නාරාවිල විමලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා ශාස්ත්‍රවිශාරද පණ්ඩිත, නාරාවිල සුගතවංශ අනුනාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස ශී‍්‍ර අභයරාජ පිරිවෙනට ඇතුළත්ව මූලික අධ්‍යාපනය ලැබ මතුගම පාන්තිය ශ්‍රී සුමංගල විද්‍යායතන පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ ප්‍රාචීන අධ්‍යාපනය සඳහා පින්වත්ත ශ්‍රී සද්ධර්මාකර පිරිවෙනට ඇතුළත් ව ප්‍රාචීන මධ්‍යම විභාගය දක්වා අධ්‍යාපනය ලැබීය. ධර්ම ශාස්ත්‍රීය, අධ්‍යාපනික හා ශාසනික කටයුතු සාර්ථකව සිදු කරමින් සිටි විමලවංශ ස්වාමීන් වහන්සේ විසි වයස් සම්පූර්ණව සිටි හෙයින් දකුණු ලක බලපිටිය, මහාකප්පිනවලව්ව අසබඩ “ස්වේජින්” උදකුක්ඛේප සීමා මාලකයේ දී රාජ්‍ය වර්ෂ 1981 ජූලි මස 11 වැනි දින මහා සංඝරත්නය වෙතින් සුපරිසුද්ධ උපසම්පදාවට පත් වූහ.

1987 වසරේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපයට ඇතුළත්ව, අනතුරුව 1990 වසරේ රත්මලාන ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වූහ. අනතුරුව පළමු රාජ්‍ය පත්වීම වශයෙන් හත්තක ශ්‍රී විද්‍යාතිලක පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස 1992 වසරේ දී රාජකාරී ආරම්භ කළ උන්වහන්සේ 1992 වසරේ දී එම පිරිවෙන් හි පරිවේණාධිපති ධුරයට පත් වූහ. එතැන් සිට උන්වහන්සේ “ගුරු හාමුදුරුවෝ” යන අන්වර්ථ ආමන්ත්‍රණයෙන් ගිහි සමාජය තුළත් පැවිදි සමාජය තුළත් ප්‍රචළිත විය. 1993 වසරේ දී රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනේ, ගුරු විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කොළඹ පළාතේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති ශ්‍රී සුමංගල ඤාණරතන වංසාවතංස, වටරප්පල ශ්‍රී නන්දරතන නා හිමියන් අප විමලවංශ හිමියන් කෙරෙහි ඇති කර ගත් ප්‍රසාදය අනුව තම ප්‍රධාන ශිෂ්‍ය රත්නය වශයෙන් පත්කර ගනිමින් ශ්‍රී සුමනාරාමයේ සහ ශ්‍රී ඤාණතිලක දහම්පාසලේ සියලු වගකීම් පවරනු ලැබීය.

සියලු ආගමික, අධ්‍යාපනික හා සමාජ කටයුතු සිදුකරමින් සිටි උන්වහන්සේ 2006 වසරේ දී පැලවත්ත, නෙලුව පාර, සිංහරාජ උද්‍යානය, බෞද්ධ මධ්‍යස්ථානයේ වස්වැසූ අතර ප්‍රදේශයේ ජනතාවගේ හා මහා සංඝරත්නයේ ඉල්ලීම මත එම ස්ථානයේ වැඩ සිටිමින් මනා ලෙස ජනතාවගේ සහ තම මූල්‍ය වියදම් මඟින් ඉතා අලංකාර ලෙස අද වන විට සිරි සදහම් ගඟුල විහාරය නමින් එම ස්ථානය සංවර්ධනය කර ඇත්තේ කාගේත් චිත්තාකර්ෂණය ඇති වන පරිදි ය.

උන්වහන්සේ “මවුපිය ගුණය”, “පොහොය දොළස”, “බුදුන් වඳින පිළිවෙළ”, “අනිමිස ලෝචන පූජාව“ සහ “බෝධිපූජා පිළිවෙළ” යන ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක් ද සාහිත්‍ය අවකාශයට දායාද කළ ප්‍රවීන ගත් කතුවරයෙකි. එමෙන්ම ප්‍රදේශයේ වෙහෙර විහාරාරාම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන යතිවරයන් වහන්සේ නමකි, විදෙස් ධර්ම දූත කටයුතු සඳහා ද ඉන්දියාව, නේපාලය, මැලේසියාව, මලක්කාව, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල සංචාරය කොට ඇත.

විමලවංශ ස්වාමීන්ද්‍රයන් සිදුකරනු ලබන ජාතික, ශාසනික හා සාමාජික සේවාව අගය කළ අමරපුර සිරි සද්ධම්මවංස නිකායික ප්‍රාදේශීය සංඝ සභාව උන්වහන්සේ වෙත “ශාසන කීර්ති ශ්‍රී ධම්මභාණී සුජනප්පසාධක” යන ගරු නාමය 2005 ජූලි මස 24 දින ප්‍රදානය කරන ලදී.

එකී පදවියෙන් පිදුම් ලද “සාසන කීර්ති ශ්‍රී ධම්මභාණී සුජනප්පසාධක”, විනය කීර්ති ශ්‍රී බුද්ධප්පිය නන්දරතනවංතාවතංස, කඹුරුපිටිය ගෝදාවේ විමලවංසාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ අභිනන්දන උලෙළ ජූලි මස 29 වැනි දින සවස 02.30 පැලවත්ත, ගොරකදූව, “සැනෝමා” උත්සව ශාලාවේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

මෙබඳු උදාර ලෝක ශාසනික සේවාවක නිරතව වැඩ වසන පින්වත් අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් චිරාත් කාලයක් ලෝ සසුන් වැඩ වසන්නට ශක්තිය ධෛර්යය ලැබේවා’යි ප්‍රාර්ථනා කරමි.

ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ.
01 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]