මනුස්සකමට බෙදීමක් නෑ ආදරය කරන්න පෙර මේ ගැන සිතන්න
ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි
මම ඔබෙන් ඇහුවොත් ඔබ වඩාත්ම ආදරය කරන්නේ කාටද කියලා. පිළිතුරු ගොඩාක් ලැබෙයි.
අම්මා, තාත්තා, දරුවෝ, ස්වාමියා, බිරිඳ ආදී වශයෙන්. එහෙම වුණත් ගැඹුරින් සිතා
බැලුවොත් ඔබ වඩාත් ම ආදරය කරන්නේ තමන්ට ම නොවේ ද? යම් තැනක දී ඔබ කිව්වොත් මටත් වඩා
ඔබට මම ලෙන්ගතුයි, ආදරෙයි කියලා. ඒත් එහෙම කියන අයගෙන් ඔබට ප්‍රතිචාරයක් නො
ලැබුණොත් හෝ ඒ අයගෙන් ඔබ බලාපොරොත්තු වන ආදරය ඔබට නො ලැබුණොත් ඊට පසුව කුමක් ද සිදු
වෙන්නේ?
ඔබ මට ආදරය නැහැ. මගේ හිත රිදවනවා කියා සිතයි. එහෙම නම් ඔබ ඔබ ම මුල් කර ගෙනයි ආදරය
පැතුවේ. ආදරය දුන්නේ.
ඔබට පුළුවන් තවත් කෙනකුට ආදරය කරන්න. ඒත් ඔබ ඔබට දක්වන ආදරය මොනතරම් ද කියලා අපි
තේරුම් ගත යුතු වෙනවා. අපි සියලුම දෙනා ආදරේ තමන්ට ම යි. තමාගේ ආදරය රැක ගන්නයි අපි
ආදරය කරන්නේ.
විටෙක මව්පියන් ලෙස ඔබ කියනවා මගේ දරුවා තමයි මගේ මුළු ජීවිතය ම කියලා. මටත් වඩා මම
දරුවාට ආදරෙයි කියලා. ඒත් ඒ දරුවා ලොකු මහත් වෙලා විවාහයක් කර ගෙන ඔබව අමතක කළොත්?
ඔබ ඔහුගෙන් සොයන ආදරය නො ලැබුණොත් ඔබට කුමක් සිතේවි ද?
ඔබ එදාට කියාවි මම හිතා ගන්නම් මට එහෙම දරුවෙක් හිටියේ නෑ කියලා.
තමන්, තමන්ට ආදරය කරන බව දැන ගැනීම ඔබට සත්පුරුෂ මනුෂ්‍යයෙක් වෙන්න හේතු වෙනවා. ඒ
කොහොම ද? ඔබ ඔබට ආදරය කරනවා වගේම යි. මේ ලෝකයේ හැම දෙනාමත් ඔවුන් ඔවුන්ට බොහෝ සේ
ආදරය කරනවා. ඔබට මේ ටික වැටහෙනවා නම්, ඔබේ ම පවුල තුළ ඔබේ ම වහල යට සුන්දර
වාසස්ථානයක් ගොඩ නැඟේවි.
ඒ සුන්දර ලෝකයෙන් බැහැර ලෝකයට යන දාට සමාජයේ සියලුම දෙනා එක පවුලක් ලෙස දැනේවි.
එදාට භාෂාව වෙනස්, ආගම වෙනස්, ජාතිය වෙනස් කියා දැනෙන්නේ නැහැ. මනුස්සකම එක වගේම
යි. |