කැවුමක් සේ අවලස්සන නාසයක් ලබන්නට කුසරජුට විපාක දුන් කර්මය
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
දඹදිව බරණැස් නුවර ගම්දොර ඉහළ වීථිය හා ගම්දොර පහළ වීථිය කියලා වීථි දෙකක් තිබුණා.
මේ වීථි දෙකේ තිබුණා කුල ගෙවල් දෙකක්. එයින් එක් කුල ගෙයක වාසය කළා පුතුන්
දෙන්නෙක්.
වැඩිමහලු සහෝදරයා තරුණ වයසට පත්වෙලා විවාහ වෙන්නත් සුදුසුකම් ලැබුවා. මවුපියන්ගේ
ආශීර්වාදය මැද රූමත් තරුණියක් විවාහ කර ගෙන ජීවත් වුණා. කලක් යන විට මවුපියන්
කළුරිය කළා. දැන් නිවසේ ජීවත් වෙන්නේ අයියා, මල්ලී දෙදෙනාත්, අයියාගේ බිරිඳත්
විතරයි. මේ තුන් දෙනා හරිම සමඟියෙන් ජීවත් වුණා. දවසක් මල්ලීට ගමනක් යෙදී නිවසින්
බැහැර වෙනවා. මේ අතරේ අයියාට හිතෙනවා අතිරස කැවුම් කන්න. ඉතිං බිරිඳ අමතලා ‘සොඳුර,
අද විවේක දවසක් නිසා අපි අතිරස කැවුම් හදමු. මල්ලිටත් ඉතිරි කරලා අපි කමු‘යි
කියනවා. බිරිඳත් එයට කැමැත්ත ප්‍රකාශ කරලා. පිටි කොටලා, පැණි පදම අරගෙන කැවුම් හදලා
සැමියාට පිළිගන්වනවා. අයියා පළමුව කළේ තුන් දෙනාට ම සම සේ කැවුම් බෙදන එකයි. මල්ලි
ගෙදර ආවාට පස්සේ එයාට දෙන්න ඔහුගේ කොටස භාජනයකට දාලා වහලා අරන් තියන්න කටයුතු කළා.
විවේක සුවයෙන් බිරිඳත්, සැමියාත් සතුටු සාමීචියේ යෙදෙමින් කැවුම් කන්න පටන් ගත්තා.
ටික වේලාවකින් ඔවුන් කැවුම් කාලා අවසන් කළා. මෙහෙම ඉන්නකොට ගෙදරට වැඩම කළා පසේ
බුදුරජාණන් වහන්සේ නමක්. ඒ වේලාවේ සකස් කළ කෑම-බීම කිසිවක් ගෙදර තිබුණේ නෑ. ඒ නිසා
දෙන්නාම තීරණය කළා මල්ලිට වෙන් කළ කැවුම් කොටස පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා
ඔහුට පස්සේ කැවුම් ටිකක් හදලා දෙන්න. මේ අදහසට ඇවිත් ශ්‍රද්ධාවෙන් කැවුම් ටික
පාත්‍රයට පූජා කළා. මේත් සමඟම මල්ලී ගෙදරට ගොඩ වුණා. කැවුම් හදලා තිබුණ බව නිවසේ
හැලි-වළංවලින් දැන ගත්තා.
‘අද කැවුම් හැදුවා නේද? මට කොටසක් තියලා ඇති එහෙනම්’යි කියමින් කැවුම් තිබේ දැයි
කුස්සිය පරීක්ෂා කර බැලුවා. ඒත් පෙනෙන්නට තිබුණේ නෑ. ඒ නිසා තමන්ගේ නෑනාගෙන් අහනවා
‘මට වෙන් කළ කැවුම් කෝ?’ කියලා. ‘මල්ලී අර ඈතින් වැඩම කරන පසේ බුදුරජාණන් වහන්සේ
නිවසට වැඩම කළා. දෙන්නට දෙයක් තිබුණේ නෑ. ඔයාට වෙන් කරපු කැවුම් ටික පූජා කළා. මම
දැන්ම කැවුම් ටිකක් හදලා දෙන්නයි මේ සූදානම් වුණේ’යි කියලා පිළිතුරු දෙනවා.
එහෙම වුණත් ඔහු කෝප වෙලා පසේ බුදුරජාණන් වහන්සේ පසුපස දුවගෙන ගිහින් පාත්‍රයට අත
දාලා කැවුම් ටික දෝතට අරගෙන ගෙදරට එන්න පිටත් වුණා. මේ සිදුවීම බිරිඳ දකිනවා. ඇයට
දැන් බොහෝම දුකයි. දැනුණ වේදනාව කියා ගන්න බැරි තරම්. හිතට හරිම කනගාටුයි. කරන්න
දෙයක් තිබුණේ නෑ. කන බොන දෙයක් නිවසේ තවත් තිබුණෙත් නෑ. ඒ නිසා ටිකක් ඈතින් තිබුණු
තමන්ගේ මවුපියන්ගේ ගෙදරට දුවගෙන ගිහින් එදාම හිඳලා විකුණන්න තියලා තිබුණු ගිතෙල්
භාජනයක් අරගෙන පසේ බුදුරජාණන් වහන්සේ පසුපස නැවතත් දුවගෙන ගිහින් උන්වහන්සේට
නමස්කාර කරලා සමාව අයදලා පාත්‍රයට ගිතෙල් පූජා කරනවා.
ඇයට දැන් බොහෝම සතුටුයි. සතුටු සිතින් ම මෙහෙම ප්‍රාර්ථනාවකුත් කරනවා. ‘මේ ගිතෙල්
පූජා කිරීමේ පුණ්‍ය මහිමයෙන් උපදින හැම ආත්මයක ම බබළන ශරීර වර්ණයක් මට ලැබේවා උතුම්
රූප සම්පත්තියක් මට ලැබේවා'යි කියලා ප්‍රාර්ථනා කරනවා.
දෙවනුව ප්‍රාර්ථනා කරනවා මේ වගේ අසත්පුරුෂයන් එක්ක කිසිම ආත්මයක ආශ්‍රයක් නොලැබෙන්න
කියලා. ඇගේ මේ ප්‍රාර්ථනාවන් අහගෙන හිටිය සැමියාගේ සහෝදරයා පසේ බුදුන් වහන්සේ පසුපස
නැවතත් දුවගෙන ගිහින් අතට ගත්ත කැවුම් ඔක්කොම පාත්‍රයට පූජා කරලා නමස්කාර කරලා
‘ස්වාමිනි, මැය යොදුන් සියයක් දුර ජීවත් වුවත් මගේ පාදපරිචාරිකාව කර ගැනීමට මේ පින
හේතු වේවා'යි කියලා ප්‍රාර්ථනා කරනවා.
පසේ බුදුරජාණන් වහන්සේ දෙදෙනාගේ ම පූජා පිළිගෙන එය එසේ ම වේවා'යි සිතූ සියල්ල
ඉටුවන්නට ආශීර්වාද කරනවා. එක් ආත්ම භාවයක ඔහු කුසාවතී නම් නුවර ඔක්කාක නම් රජතුමාට
දාව සීලවතී නම් බිසවගේ කුස පිළිසිඳ ගන්නවා.
පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළ කැවුම් නැවතත් ගැනීමේ අකුසලයෙන් ඔහුගේ මුහුණේ වූ
නහය කැවුමක ස්වභාවයක් ගනිමින් උපත ලබනවා. සහෝදරයාගේ බිරිඳ කුස උපන් ආත්ම භාවයේ දී ම
සාගල නුවර මධු රජුගේ දියණියක වෙලා කුස රජු සිටින දේශයේ සිට යොදුන් සියයක් දුරින්
උපත ලබනවා. එය සිදුවන්නේ ද ඇගේ ප්‍රර්ථනාවකට අනුව යි. එහෙම වුණත්
කුස ප්‍රාර්ථනා කරන්නේ යොදුන් සියයක් දුරින් සිටියත් ඇය තමන්ගේ පාදපරිචාරිකාව වන
ලෙසයි.
එය ද සිදුවන්නේ පසේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කළ ප්‍රාර්ථනාවකට අනුව යි. කළ පිනෙන්
සැපතත්, එදින නොදැනුවත්ව කළ පාපයෙන් විපාකත් විඳීමට දෙදෙනාට ම සිදු වෙනවා.
මොන තරම් ප්‍රශ්න ආවත්, දන් දීම, සිල් රැකීම ආදී උතුම් කටයුතු සිදු කිරීමේ දී කෝප
ගැනීමෙන් වැළකීමටත්, එයින් සිදුවන විපත විශාල බවත් මේ කතා පුවතින් පෙන්වා දෙනවා.
කුස රජු විදිහට උපදින්නේ අපගේ බෝසතාණන් වහන්සේ. පබාවතිය විදිහට උපදින්නේ අපගේ
භද්දකච්චායනා තෙරණින් වහන්සේ. උතුම් ගුණ දහම් අඩුවක් නැතිව පූරණය කළ දෙදෙනාටත් මෙසේ
පින්-පව් විපාක දුන්නා නම් අනෙක් සත්වයින් ගැන සැකයක් නොසිතා ම විපාක දෙන බවත් මේ
කතා පුවත පෙන්වා දෙනවා. ජීවත් වන ටික කාලයේ දී උතුම් ගුණ ධර්ම පුරුදු පුහුණු
කරමින්, කෝපයෙන්, ද්වේෂයෙන් තොරව ජීවත්වීම සසර සැප ළඟා කර ගැනීමටත්, දුක් විපාක අවම
කර ගැනීමට හෝ දුක්විපාක නැතිව උපත ලැබීමටත් හේතු වෙනවා’යි මේ කතා පුවත තවදුරටත් අපට
උපදෙස් ලබා දෙනවා. |