ඇසළ පුර අටවක පෝ දා 2023-07-25
සැබෑ දිනීම
ජීවිතයට වරින්වර පැමිණෙන දිනුම පැරදුම සොබා දහමේ නියමයකි. එහෙත් දිනුම මිස පැරදුම
පිළිගන්නට බොහෝ දෙනෙක් අකැමැති ය. එවැන්නෝ පැරදුම හමුවේ ශෝක කරති. දිනූ පුද්ගලයා
පිළිබඳ වෛර කරති. පළිගැනීම් කරති. ජීවිතය පිළිබඳ කළකිරෙති. කවර හෝ මොහොතක දිනුම
උදුරා ගන්නෙමැයි ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙති. විවිධ උපක්‍රම සොයති. මෙලෙස අයහපත්
සිතිවිලිවල සිත පුරවා ගත් කල ඔහු කෙරෙන් දැකිය හැකි දැවීම තැවීම පමණි. අන්‍යයන් ද ඒ
ගිනිගොඩට ම ඇද දැමීම ඔවුන්ගේ ස්වභාවය වන්නේ ය.
අටලෝදහම අනුව අප බලාපොරොත්තු වන සුබදායී දේ ම සිදු වන්නේ නැත. ලාබයත් සමඟ අලාබයත්
පැමිණේ. යසස සමඟ අයස ද පැමිණේ. වරෙක නින්දා ලැබී ඊළඟ මොහොතේ ප්‍රශංසා ලැබේ. සැප
පසුපස දුක ද පැමිණේ. දිනුම පැරදුම ද එවැනි ය. කෙනෙක් හැමදා ම දිනන්නේ නැත. පරදින්නේ
ද නැත. කවර තත්වයකට මුහුණ දුන්න ද වටින්නේ උපේක්ෂාවෙන් දරා ගැනීම ය. එවැනි
උපේක්ෂාවක් ඇත්තේ සංසිඳුණු පුද්ගලයාට ය.
ජයං වෙරං පසවති
දුක්ඛං සෙති පරාජිතො
උපසන්තො සුඛං සෙති
හිත්වා ජය පරාජයං යනුවෙන් ධම්ම පදය අවධාරණය කරයි. සංසිඳුණු පුද්ගලයා දිනුම පැරදුම
හැර දමා ඉතා සුව සේ ජීවත්වන බව එමඟින් අවධාරණය කරයි.
බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කොට වදාළේ කොසොල් මහ රජතුමා අරභයා ය.
සැවැත් නුවර රජ කළ කොසොල් රජු සහ රජගහ නුවර බිම්සර මහ රජු දෙමස්සිනෝ ය. බිම්සර
රජුගේ බිසව වූයේ කොසොල් රජුගේ නැඟණියයි. අජාසත් රජු ඔවුන්ගේ පුතණුවන් ය. හේ තරුණ ය.
එලෙසම දරුණු ය. තමා පියා මරවන්නට තරම් කුරිරු සිතක් ඔහුට විය.
එක් කලෙක කොසොල් රජු හා අජාසත් රජු අතර යුද්ධයක් ඇති වුණි. ඒ, කසීරට ගමක් සම්බන්ධ ව
ඇති වූ ගැටලුවක් හේතුකොට ගෙන ය. කොසොල් රජු සටනින් පැරදුණි. දෙවැනි වර ද සටන්
වැදුණි. එවර ද ඔහු පැරදුණි. තුන්වැනි වර ද සිය බෑණනුවන්ට පැරදුණු කොසොල් රජතුමා
මහත් දොම්නසට පත්වුණි. පසුතැවිලි සහගත වුණි. රජු මේ පැරදුම ගැනම කල්පනා කරන්නට
වූයේ.
“ මා පැරදුණේ බාලයකුට ය. ඒ පැරදීම නිසා මම නිගාවට පත් වුණෙමි. මා වැනි රජෙක් මෙසේ
පරාජය වීම කිසිසේත් නුසුදුසු ය.” සිතමින් සයනයට ම වී සිටියේ ය. මැති ඇමැතිවරු රජු
සැනසීට පත් කළත් පලක් නොවුණි. මේ පිළිබඳ භික්ෂූන් වහන්සේ වෙතින් අප තථාගතයන්
වහන්සේට ද දැන ගන්නට ලැබුණි. ඒ නිමිති කොට උන්වහන්සේ, දිනන තැනැත්තා පැරදුණ
පුද්ගලයා තුළ වෛර ඇති කරන බව ද, පැරදුණු තැනැත්තා දුක සේ වෙසෙන බව ද, එහෙත්
සංසිදුණු තැනැත්තා දිනුම හෝ පැරදුම හෝ හැර සුව සේ වෙසෙන බව ද දේශනා කොට වදාළහ.
මෙහි සංසිඳුණු පුද්ගලයා නම් කෙලෙසුන්ගෙන් මිදුණු පුද්ගලයායි. ලෝභ, ද්වේෂ, මෝහාදී
කෙලෙස් මුල් කොට ගත් සිතිවිලිවලින් ඔහු දැවෙන්නේ හෝ තැවෙන්නේ හෝ නැත. සාමකාමී
ජීවිතයක් ගත කළ හැකි එවැන්නකුට ය.
බුදුරජාණන් වහන්සේ අපට සංසිඳුණු ජීවිතයකට මඟ පෙන්වා ඇත. බෞද්ධයන් ලෙස ඒ මඟ යාමට අප
උත්සාහවත් විය යුතු ය. මෙහි දී අනුන් පැරදවීමට නොව තමන් දිනීමට උත්සාහ කළ යුතු ය. ඒ
තමන් තුළ සිටින කෙලෙස් සතුරන් පරාජය කිරීමෙනි. |