පිරිපුන් මිනිසකු වීමට සුදුසුකම් සපුරා ගනිමු
දඩල්ල,
වාලුකාරාම වෙහෙර වාසී
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
පෞරුෂය යනු පුද්ගලයකුගේ ඇතුළතින් මෙන්ම පිටතිනුත් පිළිබිඹු වන ඒ තැනැත්තාගේ ආත්ම
ශක්තියයි. බටහිර රටවල උගත්තු, දාර්ශනිකයෝ මේ පෞරුෂය නොයෙක් පැතිකඩ දිහා බලලයි කතා
කරන්නේ. නමුත් එය අංග සම්පූර්ණව පැහැදිලි කරලා නැහැ. අවසානයේ දී ඒ අයගේ නිගමනය වූයේ
පෞරුෂ සංකල්පය අංග සම්පූර්ණව නිර්වචනය කිරීම කළ නොහැකි බවයි.
නමුත් බුදුරජාණන් වහන්සේ පෞරුෂයේ සෑම අංශයක් ම පරීක්ෂා කරලා බලලා පෞරුෂය යනු කුමක්ද
යන්න නිවැරැදිව පෙන්වා දී තිබෙනවා. බොහෝ දෙනා මේ බෞද්ධ මතය දන්නේ නැහැ. සමහරු එය
පිළිගන්න කැමැති ද නැත. එයට හේතුව ඒ අය බටහිරට ගැති වීමයි. අද අපේ රටේ සිටින බොහෝ
උගත්තු බටහිර අධ්‍යාපනයෙන් පන්නරය ලබපු අයයි. ඒ නිසා බෞද්ධ ඉගැන්වීම අගය කරන්න
කැමැති නෑ කුහකත්වය මත ඇතැම් පිරිස් ඒ බෞද්ධ ඉගැන්වීම් විද්‍යාත්මකව පරීක්ෂා කර
බලන්න ද කැමැති නෑ.
පුද්ගලයකුගේ කායික වාචසික ක්‍රියාකාරකම්, මානසික ආකල්ප, විකල්ප සහ ඥාන ශක්තිය මේ
කියන අංශ තුනේ සමස්තය පුද්ගලයාගේ පෞරුෂයයි. මේ අංශ තුන සමතුලිතව හොඳින් සංවර්ධනය කර
ගැනීම තුළින් පුද්ගලයාට පූර්ණ පෞරුෂයක් හිමි වේ. එසේ නොවුණොත් ඔහු පෞරුෂ දුර්වලතා
හිමි කෙනෙක් වේ. එවිට ඔහුගේ ගතිගුණ, අදහස්, උදහස් හොඳ නැත. දුසිරිතට නැඹුරු වූ ඔහුට
ජීවිතය ගැන, ලෝකය ගැන තියෙන දැනුම ද අල්ප බැවින් ඔහුගේ පෞරුෂය දුර්වල වේ.
පෞරුෂය සංවර්ධනය කර ගත් තැනැත්තා හඳුන්වනුයේ “මහා පුරුෂ” යනුවෙනි. බුදුරජාණන්
වහන්සේට බොහෝ සූත්‍රවල මේ “මහා පුරිස” යන පදය වගේ ම “මහා සත්ත” යන පදයත් “අච්ඡරිය
මනුස්ස” යන පදයත් භාවිත කොට තිබේ. කලාතුරකින් හමුවන පුදුම මනුෂ්‍යයා යන අදහස ඒ තුළ
ගැබ්ව තිබේ.
පිරිපුන් පෞරුෂය කියන්නේ බුද්ධත්වයට සහ රහත් බවටයි. එය මනුෂ්‍යයකුට ළං විය හැකි
උතුම්ම ඉලක්කයයි. බුද්ධත්වය සඳහා පිරිය යුතු බුද්ධ කාරක ධර්ම හෙවත් පාරමී ධර්ම
පරිපූර්ණ පෞරුෂයක අංගෝපාංග වේ. සාමාන්‍ය මිනිසා තුළ ඇති සියලු දුර්වලතා බැහැර කොට
උතුම් ගති ලක්ෂණ ජීවිතයට ගළපා ගැනීමෙන්, සංවර්ධනය කිරීමෙන් උතුම් මනුෂ්‍යයෙක්, මහා
පුරුෂයෙක්, බුදුරජාණන් වහන්සේ නමක් නිර්මාණය වේ.
මිනිසාගේ පෞරුෂය දුර්වල කරන දුර්වලකම් රාශියක් ධර්මයේ පෙන්වා දී තිබේ. එකී දුර්වලතා
වර්ග කිරීමෙන් මෙසේ පෙන්වා දී ඇත. මසුරුකම, දුශ්චරිත පැවැත්ම, පසිඳුරන් පිනවන්නට
යාම, අඥානකම (මෝඩකම), අලසකම, නොඉවසිල්ල, වංචනිකකම (රැවටිල්ල) පැහැදිලි අරමුණක්
නැතිකම, ක්‍රෝධ කිරීම (තරහයාම) අගතිගාමී වීම. මේවා සෑම අයකු ළඟම අඩු වැඩි වශයෙන්
පවතින දුර්වලතා වෙති.
මෙකී දුර්වලතා නිසා බොහෝ අය වැරැදි වැඩ කරයි. පව් වැඩ කරයි. බොහෝ කරදර විඳියි.
අවසානයේ දී අපා දුකට ද පත්වෙයි. එසේම අවුල් වියවුල් ඇති කර ගනියි. අභ්‍යන්තර වශයෙන්
මෙන්ම බාහිර වශයෙන් ද ගැටලු ඇති කර ගනියි. නින්දා අපහාස ලබයි. කායික මානසික පීඩා
ලබයි. මේ සියලු කරදර පීඩා ඔහු විඳින්නේ පෞරුෂයේ තියෙන අඩු ලුහුඬුකම් නිසාවෙනි.
පෞරුෂ දුර්වලතා නැති කර ගැනීමට ඊට ප්‍රතිවිරුද්ධ යහපත් ගුණාංග තමන් තුළ සංවර්ධනය කර
ගැනීම අවශ්‍ය වේ. එයට අනුගමනය කළ යුතු ක්‍රියාකාරකම් දහයක් නැතිනම් ප්‍රතිපත්ති
මාලාවක් බුදු සමය පෙන්වා දෙයි. ඒවා දස පාරමිතා නම් වේ.
1. දානය, 2. ශීලය, 3. ඉන්ද්‍රිය දමනය, 4. ප්‍රඥාව, 5. වීර්යය, 6. ඉවසීම, 7.
සත්‍යගරුක බව, 8. අධිෂ්ඨානය, 9. මෛත්‍රිය, 10. උපේක්ෂාවයි.
දන්දීමෙන් මසුරුකම නැති වෙයි. ශීලයෙන් පිරිසුදු චරිතයක් ඇතිවෙයි. නෛෂ්ක්‍රම්‍යයෙන්
පංච ඉන්ද්‍රියන් පිනවන ගතිය අහෝසි වෙයි. ප්‍රඥාවෙන් අඥානකමත්, වීර්යය වැඩීමෙන්
අලසකමත්, නැති වෙයි. එවිට ඕනෑම දුකක් පීඩාවක් දරා ගන්න හැකියාව ලැබෙයි.
ඉවසිලිවන්තකම, සත්‍යගරුක බව, අවංක අරමුණක් ඇතිව වැඩ කිරීම, මෛත්‍රී සහගත බව,
මධ්‍යස්ථ මතධාරී වීම, කිසිවකුට කිසිවකට තමා පරාජය කළ නොහැකිවීම, තමාගේ අඩුපාඩු තව
කෙනකුට පෙන්විය නොහැකිවීම, ආදී උදාර පෞරුෂ ලක්ෂණ චරිතය තුළ මතුවී පෙනේ.
බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි ශ්‍රාවකයන් තුළින් බලාපොරොත්තු වූයේ එබඳු ආශ්චර්යවත්
පෞරුෂ ලක්ෂණයි. විශේෂයෙන් භික්ෂූන් වහන්සේ මේ ගුණාංග සම්පූර්ණ කිරීමට සෘජුව ම දායක
විය යුතු බව, උත්සාහවත් විය යුතු බව අවධාරණය කොට ඇත.
බෞද්ධ ශ්‍රාවකයා තුළ ශක්තිමත් පෞරුෂයන් තිබිය යුතු යි. අභ්‍යන්තර බාහිර දෙ අංශයෙන්
ම සිල්වත් වීම අගය කොට ඇත. ඕනෑම සමාජයක් ඉදිරියේ බිය සැක නැතිව නැඟීසිටීමට හැකි
විශාරද බවක් ඇති කර ගත යුතුයි.
අඩුපාඩු ඇති චරිතය සෑම විට ම සමාජයෙන් පැන යාමට උත්සාහ කරයි. නමුත් පෞරුෂය ඇති
පුද්ගලයා එසේ සැඟවෙන්නේ නැත. ප්‍රතිපත්ති ගරුකකම, අවංකකම, අධිෂ්ඨානශීලිත්වය, අභියෝග
ඉදිරියේ නොසැලී සිටීම, ඉන්ද්‍රියයන්ට වහල් නොවීම, ඕනෑම ගැටලුවක් හරිහැටි අවබෝධ කර
ගෙන එය විසඳා ගැනීමට ඥාන ශක්තිය ඇති කර ගැනීම ආදී ගුණාංග බෝධිසත්ව ලක්ෂණයි.
මෙකී ගුණාංග කවරකු හෝ ස්වකීය ජීවිතයේ සංවර්ධනය කර ගැනීම, ඕනෑම අභියෝගයක් ජය ගැනීමට
ඇති මාර්ගයයි. බෞද්ධ ශ්‍රාවකයා යනු එබඳු මහා පෞරුෂ ගුණ දරන අයකු වේ.
|