මහියංගණ පින්බිමේ
විල්ලුව වැව් මධ්‍යයේ ඉදිවූ
බුද්ධ ප්‍රතිමාවහන්සේ
තථාගතයන් වහන්සේ උතුරු කුරු දිවයිනට පිණ්ඩපාතය සඳහා වැඩම කොට අනෝතත්තවිල සමීපයේ
විවේකී සුවයෙන් වැඩ සිටි සේක. එම අවස්ථාවේ දී බොහෝ කාලයක් බුදු දහම පවතින්නේ ලංකා
ද්වීපයේ යැයි උන්වහන්සේ දිවැසින් දුටු සේක.
ඒ වන විට ලංකා ද්වීපයේ විශාල යක්ෂ සේනාවක් බලය පතුරුවාගෙන සිටියහ. ඒ යක්ෂ සේනා බලය
ඉවත්කර බුද්ධානුභාවය පිහිටු වූයේ නැති නම් අනාගතයේ දී ලංකාද්වීපයේ බුද්ධ ශාසනය
පිහිටුවන්නට බාධා වන බව ද දුටු සේක.
ඒ අනුව බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් නව වන මස පළමු ලංකාගමනය සිදුවූ
දුරුතු පුන් පෝදා මුළු ලංකා ද්වීපයම ඒකාලෝක කරමින් බුද්ධානුභාවය පැතිරී ගියේ ය. එම
අවස්ථාවෙහි එහි පැමිණි සිටි දෙවිවරු ආකාසයේ බැබළි බැබළී සාධුකාර දුන්හ. මල්වැසි
වැස්ස වූහ. ඒ දෙවියන් අතර, සමන්ත කූට පර්වතවාසී සුමන සමන් දෙවියන් ද විය.
බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ දී සුමන සමන් දෙව්රද ඉලක්ක කර ගනිමින් දෙවියන්ට දම්
දෙසූ සේක. අසූහාර දහසක් දෙවිවරු මහියංගන සෑ මළුවේ දී ධර්මාවබෝධය ලැබූහ. ශ්‍රී
සද්ධර්ම දේශනය අවසානයේ සෝතාපන්න ඵලයට පත්වූ සුමන සමන් දෙව් රජු
“ස්වාමීනි, අපට වන්දනා කිරීමට කිසියම් වූ පූජාර්හ වස්තුවක් ලබා දෙනු මැනවැ’යි ඉල්ලා
සිටියේ ය.
එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් තමන් වහන්සේගේ හිස පිරිමැද
කේශ ධාතු මිටක් ලබා දුන් සේක. සුමන සමන් දෙව් රද රන් කරඬුවකින් කේශ ධාතුන් වහන්සේ
පිළිගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ ම කරඬුව තැන්පත් කොට සත් රියන් උස
ඉන්ද්‍රනීල මාණික්‍යමය ස්තූපයක් කළේය.
ලංකා ද්වීපයේ පළමුවරට තනවන ලද ජීව සර්වඥ කේශ ධාතුන් වහන්සේ තැන්පත් කළ, බුදුරජාණන්
වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ගී‍්‍රවා ධාතුන් වහන්සේ තැන්පත් කරනු ලැබූ ස්තූප
වහන්සේ වන්නේ ද මහියංගන ස්තූපය බවයි වංශකතාවේ සඳහන් වන්නේ.
තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්ම ස්පර්ශයෙන් පවිත්‍ර වූ මහියංගණ පුදබිමෙහි
චිරාත් කාලයක් පවත්නා පූජා වස්තුවක් ගොඩනඟා බෞද්ධ බැතිමතුන්ට වන්දනාමාන කර කුසල්
රැස්කර ගැනීම පිණිස ද යන අරමුණු පෙරදැරිව 2012..01.08 දුරුතු මස පුර පසළොස්වක පෝ
දින අඩි 102ක් උස බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කිරීමේ මහා භාරධූර වූ පුණ්‍ය
කටයුත්ත ඇරඹිනි. ඒ අනුව “අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ
සහ මහියංගණ රාජමහා විහාරයේ විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ
සහ “මෙත්සවිය” සංවිධානයේ අනුශාසකව වැඩ සිටි අපවත් වී වදාළ අමරපුර ධර්මරක්ෂිත නිකායේ
අධිකරණ සංඝ නායක අහංගම ආනන්ද නා හිමියන්ගේ අනුශාසකත්වය මත සහ “මෙත්සවිය” සභාපති
මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ මඟපෙන්වීම මත ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. මෙම
බුද්ධ ප්‍රතිමා වහන්සේ “2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේ”ලෙස
නම් කර තිබේ.
තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ අසූහාර දහසක් ශ්‍රී ධර්මස්කන්ධය සිහිවනු පිණිස මෙම
බුද්ධ ප්‍රතිමා වහන්සේ පාද පද්මයකින් යුතුªව අඩි 102ක උසින් යුතුව මහියංගණ
පුදබිමෙහි විල්ලුව වැව මැඳ සීමා මාලකයට යාබදව නිමවන ලදී.
මහියංගණය පුද බිමෙහි ඉදිවූ මෙම හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙරට ඓතිහාසික බෞද්ධ
නිර්මාණ අතරට එකතු වන ශ්‍රේෂ්ට නිර්මාණයක් වනු නිසැක ය.
මෙම බුද්ධ ප්‍රතිමාවේ දෙවන අදියර ලෙස පිළිමය තැනීම මහත් උත්සවශ්‍රීයෙන් ආරම්භ වූයේ
2013.01.26 දුරුතු පොහොය දිනයේ දී ය.
මෙම බුද්ධ ප්‍රතිමාවෙහි විශේෂ ලක්ෂණය වන්නේ පසුපස ආධාරකයක් නොමැතිව අඩි 102ක්
උසැතිව නිර්මාණය කර තිබීම ය. තවද භූමි කම්පාවකට වුව ද විනාශ නොවන වස්තුවක් ලෙස
නිර්මාණය කර තිබේ. බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිරසේ පළිඟු කැට 35කින් නිමවා තිබීමට
හේතුව වී ඇත්තේ පියාසර කරන පක්ෂීන් ලැගුම් ගැනීමෙන් සිදුවන හානිය නැති කර ගැනීමට ය.
මෙම උතුම් සත්කාරය “මෙත්සවිය” නිර්මාතෘ මහාචාර්ය චන්දන ජයරත්න මැතිතුමන් ඇතුළු
මෙත්සවිය මනස අධ්‍යාපන සංසදය මඟින් ලාංකීය බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ඉදි කෙරුණු මහා
පුණ්‍ය කටයුත්තක් වන්නේ ය.
- දීපා පෙරේරා |