[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පහන් සිතක කවි

බුදු හිමියනි

මව්තුමිය
කර මත තබා
සමුදුරේ
පිහිනා ගිය කුමරුනේ
සව්සත සසර සයුරෙන්
එතෙර කරවන්නට
මවගෙන් ලද ආශිර්වාදය
තුන්ලෝ සියලු දෙන
සසරින් මුදන්නට
දීපංකර බුදු සමිඳුගෙන්
ලද විවරණය
සාර කප් ලක්ෂයක්
පාරමී පුරමිනේ
සම්බුදු බව ලැබ
ලෝසත දුකින් මුදවා ගත්
තිලොවග හිමියනි
සදා නමදිමි සැදැහෙන්

****

නමදිමු තෙරුවන

සිතිවිලි තරඟ මැද සවනක් රැස් මවන
මොහඳුරු දුරු කරන සුවදායක සෙවණ
තිලොවට පෙහෙලි කළ අජරාමර නිවන
නමදිමු සදා කල් තිලොවග ‘බුදු’ රුවන

නිවනට මග මෙයයි සැම පහදා දෙවන
අකුසල මූලයන් සිඳ බිඳ දා දවන
සතහට සැපත සලසන සනහා සවන
නමදිමු සදාකල් ‘සදහම්’ මිණි රුවන

දහමෙහි ඇති අරුත පහදා සිත රුවන
සසරෙහි රැඳුන බියකරු බව පහදවන
නිවනෙහි සුවය වෙත යාමට සලසවන
බවයෙහි සදාකල් නමදිමු ‘සඟ රුවන”

****

නිවන් මඟ සොයමු

බුදු දම දියත් විය තුන්ලෝකෙට ම එදා
නොනැසී පවතිනව පිවිතුරු දහම සදා
මිනිසත් බවේ නියමිත ඵල ගෙන සසඳා
නිවන් මඟ සොයමු දහමින් ඇත විසඳා

****

දළදා වඳිමු

මුනි වම් දළදා සෙංකඩගල පුර
පැමිණ වඳිති ලෝ දසතින් නර
හේමමාලා හා දන්ත කුමරු පෙර
වැඩමවූ දළදා මෙසිරිලක් පුර

දළදා පෙරහර අති රමණීයයි
දළදා කරඬුව රන්වන් දිලිසෙයි
දළදා වැඳුමෙන් බෝ පින් සිදුවෙයි
නිවන් මඟට සත් සිත හරවයි

****

මම හොඳ දරුවෙක් වෙමි

අලුයම නැඟිටින
පොත පත කියවන
නැණ ගුණ ගැන සොයන
උතුම් දරුවකු වෙමි දින දින

ඉරු දින උදෑසන
දහම් පාසල වෙත යන
පින් පිරු අයකු වන
මගට පිවිසෙමි සැවොම තුටු වන

හිස් බස් බිණීමත්
කේළාම් දෙඩවීමත්
රළු පරොලු වදනත්
දිවියකට අවැඩමයි කොහොමත්

මිහිරි පද කවිය ද
සරු බස රැඳි කථාව ද
නඟමි හඬ සබ මැද
සැවොම තුටුවී මෙත් පතන ලෙද

ගුරුවරුනට රිදෙන
වදන් නොදොඩමි කිසි දින
දෙන ඔවදන් රැගෙන
නැඟෙමු යහ මඟ ඔවුන් තුටු වන

****

බුදු හිමි

හිරු දහවල බබළයි
සඳු රෑ නුබ කුස බබළයි
රජු අභරණින් බබළයි
ධ්‍යාන සුවය විඳිනා කල්හී
රහතුන් නිසි සේ බබළයි

එසේ වුවත්........
අකුසල් මුල් මුළුමනින් නැසූ
නිකෙලෙස් අපගේ බුදු සමිඳුන්
හිරු සඳු එළිය ද අභිබවමින්
ලොව දිලෙනා සැම අභිබවමින්
බුද්ධ තේජසින් නිති බබළයි

****

මලක වරුණ

පිපුණත් කොතෙක් ලස්සන මල් නව පන්නේ
‘ලස්සන, සුවඳ මල’ කවුරුත් අගයන්නේ
ගුණදම් පිරුණ අය සුවඳැති මල් වැන්නේ
අගනා මැණික් ඒ ඉදිරියෙ පරදින්නේ

ලස්සන සුවඳ කුසුමක් බුදු පියා ළඟ
පූජා කිරීමෙන් දිවි අනියතය වග
පවසා සිටියි මේ මල් අතු පිපෙන අග
මල පෙන්වන්නෙ මොක් පුරයට යන්න මඟ

උදයට පිපී සවසට පරවී යනවා
සොබා දහම මේ විදියට සලකනවා
ජීවිත අපේ මේ ලෙස පරවී යනවා
අනියත බව මල අපහට පවසනවා

****

නිවනට යන්න

දසමස කුස දරා මෙලොවට බිහි කරලා
රුධිරය කිරට හරවා මාහට පොවලා
සිප්සත උගන්වන යහමඟටම යවලා
අම්මා පින් කළා මා සසුනට පුදලා

නෙක දුක් විඳ මා දැඩි කළ පියාණෙනී
උගතකු වන්න නෙත් පෑදූ පියාණෙනී
සසුනට මා පුදා පින් කළ පියාණෙනී
සාධු කියනු මැන තෙවරක් පියාණෙනී

පින්දම් කළා ඔබ හැකි හැම විට අම්මේ
නිවනට යන්න මඟ පෑදී ඇත අම්මේ
කහවත ගත දරා මා සැමදා අම්මේ
පින් පෙත් පුද කරමි නිරතුරුව ම අම්මේ

දරුවෙක් දෙන්න හැකි නම් සසුනට පුදලා
දෙලොවට කුසල් රැස් කර ගෙන ඇත ලබලා
මා මෙහෙණියක වී සදහම් සුව විඳලා
නිවනට යන්න හැකි මාවත ඇත හදලා

****

පියාණෙනි

සැම දින සිහිකර ඔබ ලබැඳි බව
හිමිවරු වැඩමවා නිවසට පින්බර ව
දුන්නා දනක් පියාණෙනි සිහිකර ඔබව
පතමින් ඔබට අජරාමර නිවන් සුව

ඇසළ පුර අටවක

ජූලි 25 අඟහරුවාදා අ.භා.
 03.06 න් පුර අටවක ලබා 26 බදාදා අ.භා. 03.48 න් ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08

Full Moonඅමාවක

අගෝස්තු  15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]