[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නුවණැති පුද්ගලයා විපතත් සැපතක් කර ගනියි

නුවණැති පුද්ගලයා විපතත් සැපතක් කර ගනියි

අපගේ භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයේ වැඩ වාසය කරන කාලයේ දී මෙම සිදුවීම් සිදු වූයේ. පසේනදී කෝසල රජුට බොහෝම හිතවත්, රජුට දැහැමිව රට පාලනය කරන්න උදව් කරන එක්තරා ඇමැතිවරයෙන් සිටියා.

මේ ඇමැතිවරයා රජුට විශ්වාස යි. ඔහු තෙරුවන් සරණ ගිය උපාසකයෙක්. මේ ඇමැතිවරයාට තිබුණු සීලවන්ත, ගුණවන්තකමටත්, රජුට පි‍්‍රය නිසාත් ඇමැති මණ්ඩලයේ අනෙක් පිරිස ඔහුට ඊර්ෂ්‍යා කළා. ඒ නිසා ඔවුන් එක්තරා කුමන්ත්‍රණයක් කළා. එය සාර්ථක වූවා. රජුට ඇමැති පිළිබඳ හිත බිඳුණා. රජු කෙතරම් ඔහුට අපැහැදුණා ද කියන්නේ රජු මේ ඇමැතිවරයා සියලු ධූරවලින් ඉවත්කර සිර ගත කරන්නට තීරණය දුන්නා.

මේ ඇමැතිවරයා නුවණින් යුතුව කල්පනා කළා. මේ හිර ගේ ඇතුළේ සිට තමාගේ ජීවිතයට යහපතක් කර ගත යුතු ආකාරය ගැන සිතුවා. ඔහු රජු කෙරෙහි අහිතක් හිතුවේ නැහැ.

“මම රජුට මෙ තරම් ළඟින් හිටියා. නමුත් රජු අන් අය කී බස විශ්වාස කළා” කියලා සිතමින් රජුට සාප කළේත් නැහැ. තරහක්, අමනාපයක් ඇති කර ගත්තේත් නැහැ. අනෙක් ඇමැතිවරු නිසයි මට මෙහෙම වුණේ කියලා ඔවුන් ගැන ක්‍රෝධයක් ඇති කර ගත්තෙ නැහැ. ඒ වගේම තමන් ගැන දුකක්, කනගාටුවක් ඇති කර ගත්තෙත් නැහැ.

ඔහු කල්පනා කළා මට තිබුණ ඇමැති ධූර, වගකීම්, යුතුකම් සියල්ලම නැතිවෙලා මට මේ ලැබිල තිබෙන්නේ විවේකයක්. මේ විවේකයෙන් මම ප්‍රයෝජනයක් ගන්න ඕන. ඒ සඳහා මම භාවනාවක් දියුණු කරන්න ඕනෑ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ දහම මම පුරුදු කරනවා කියා අධිෂ්ඨානයක් ඇති කර ගෙන එය ක්‍රියාත්මක කළා. බොහෝ කටුක අත්දැකීම් මැද මේ සසරේ භයානකකම ඔහු දුටුවා. හිර ගෙදර ඔහු විවේක ස්ථානයක් කර ගත්තා.

පුදුමයි. නුවණින් කල්පනා කළ හැකි අයකු සිපිරි ගෙයත් තමන්ට සුදුසු ස්ථානයක් කර ගන්නා හැටි. අඳෙීනා මැසිවිලි නැතිව තමාට ලැබුණ ඒ කාලය ප්‍රයෝජනයට ගන්න ඔහු දක්ෂ වුණා. සිපිරි ගේ ඇතුළේ දී ම ඔහු සෝවාන් ඵලයට පත් වුණා.

ඒ වන විට රජුට තේරුණා මේ සියල්ල අන් අයගේ කුමන්ත්‍රණයක් කියලා. රාජ්‍ය ගෞරව ඇතිව ඔහු නිදහස් කළා. සියලු වරප්‍රසාද ඇතිව නැවත රැකියාව ලබා දුන්නා. ඔහු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ගියා. ඒ පා කමල් වන්දනා කළා. “ස්වාමීනි මම සිපිරි ගෙදරින් නිදහස් වුණා.

පින්වත ඔබට විපතක් සිදු වූ බවට අපටත් දැන ගන්න ලැබුණා. “ස්වාමීනි, ඒ විපත මම සැපතක් කර ගත්තා. ඒ සිපිරි ගෙදර දී ම මම සෝවාන් ඵලය සාක්ෂාත් කළා යැයි කියා සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඒ උපාසක වෙනුවෙන් සාධුකාර පැවැත්වූවා.

මනුස්ස ජීවිතයක් ලැබුණු අපට ඉතාම දුර්ලභව ලැබෙන දෙයක් තමා සම්බුද්ධ ශාසනයක් තුළ මාර්ගඵලලාභී ශ්‍රාවකයෙක් වීම. සෝතාපන්න වීම තමා අපි කරගත යුතු වටිනාම දේ. ඔහු සෝතාපන්ති ඵලය සාක්ෂාත් කර ගැනීමට උපකාරී කර ගත්තේ සිපිරි ගෙයයි. එනිසා අපිත් එළඹෙන මේ වස් කාලයේ තෙරුවන් කෙරෙහි සිත පහදවාගෙන එක ගුණයක් හෝ පුරන්නට අධිෂ්ඨානයක් ඇති කර ගනිමු.

ඇසළ පුර අටවක

ජූලි 25 අඟහරුවාදා අ.භා.
 03.06 න් පුර අටවක ලබා 26 බදාදා අ.භා. 03.48 න් ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08

Full Moonඅමාවක

අගෝස්තු  15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]