[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පණ්ඩිතයා හඳුනානොගැනීම අනුවණකමකි

පණ්ඩිතයා හඳුනානොගැනීම අනුවණකමකි

අපාය මහගෙදර කර ගනිමින් සසර සැරිසරන අප කොතෙක් පින් කොට යහපත් තැන්වල උපදින්නට ඇති ද? නමුත් පාපයට නැඹුරු වීමෙන් නැවත නැවතත් බොහෝ දුක් සහිත නිරයට ම ගියෙමු. මේ මිය යන පුහුදුන් සත්වයන්ගෙන් බොහෝ දෙනා නැවත දුකට ම පත්වෙති. සම්බුදු උපත බෙහෙවින් ම දුර්ලභ ය. මිදෙනවා නම් මිදිය හැක්කේ මේ උතුම් මොහොත තුළ දී ය.

බුදුදහමේ පණ්ඩිතභාවය බෙහෙවින් අගය කොට තිබේ. පණ්ඩිතයා ඇසුරු කිරීම දියුණුවට හේතු වෙයි. එසේ නම් අප සැබෑ පණ්ඩිතයා හඳුනාගත යුතු ය. එය බෙහෙවින් දුෂ්කර කටයුත්තකි.

කෙනෙක් සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත්වූ පමණින්, සරසවියක උගත් පමණින් රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී, විද්‍යාවේදී ආචාර්ය උපාධි ලැබූ පමණින් පණ්ඩිතයෙක් නොවේ. කෙනෙක් එවැනි උපාධි ලබා උඩඟු වූ සිතින් සමාජයට පණ්ඩිතභාවයක් පෙන්වීමට උත්සාහ කළ ද පණ්ඩිතයෙක් නොවේ. කෙනකු ගමන් කරන වාහනයෙන්, ඇඳුමින්, පැලඳුමින්, වයසින් පණ්ඩිතයකු දැයි නිශ්චය කළ නොහැකි ය.

ප්‍රඥාවෙන් අගතැන්පත් සැරියුත් මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේ උපමාවෙන් හඳුන්වා දුන් සැටි. කැත , කුණු ආදිය දමන පොළවට, ජලයට, ගින්නට, සුළඟට පිස්නාකඩට, සැඩොල් දරුවකුට, අං කැඩුණු ගොනකුට, කුණක් ශරීරයේ එල්ලූ අවස්ථාවකට, කුණු මේද හැළියට (මස් හැළියකට) තමන් වහන්සේ උපමා කරමින් නිහතමානීත්වය ප්‍රකාශ කළෝ මේ ගෞතම සම්මා සම්බුදු සසුනේ මහා ප්‍රඥා ඇති සැරියුත් මහ තෙරුණුවෝ ය.

මේ කරුණුවලින් එළැඹිය හැකි නිගමනයක් ඇත. එනම් පණ්ඩිතයා යනු නිහතමානී තැනත්තකු බව ය. කෙනකු පණ්ඩිත වන්නට, වන්නට ඒ තැනැත්තා නිහතමානී අයෙක් වේ. එබඳු පණ්ඩිතයා ඇසුරු කිරීම දියුණුව පිණිස ම පවතී.

පාලි ත්‍රිපිටකයෙහි පණ්ඩිතයා යන වචනයට මේධාවී, පණ්ඩිත වැනි වචන භාවිත ව තිබේ. ශාස්ත්‍ර දරා සිටීමේ හැකියාවත්, ස්විකරණය කොටගත් ඥානය විනාශ වීමට නොදී රැක ගැනීමත් මේධා ගුණය වේ. මේ අනුව මේධාවී යනු එබඳු ගුණයන්ගෙන් යුක්ත තැනැත්තා ය.

එහෙත් බුදුදහම තුළ මීටත් වඩා පුළුල් අන්දමින් මේ “පණ්ඩිතයා” යන්න විග්‍රහ කොට තිබේ. විශේෂයෙන් ම බුදු දහම සසර දුකින් නිදහස්වීම ප්‍රධාන පරමාර්ථය කොට ඇත. කෙනෙක් හෝඩියේ “අ,ආ” අකුරු නොදන්නේ වී මුත් සසර දුකින් නිදහස් වීමට තරම් තියුණූු ප්‍රඥා සම්පන්නයෙක් වේ ද හෙතෙම පණ්ඩිතයෙකි.

සැබෑ පණ්ඩිතයා බාහිර ලක්ෂණයන්ගෙන් පමණක් හඳුනා ගැනීම දුෂ්කර බව ඉහත සඳහන් කළ කරුණුවලින් පැහැදිලි වන්නට ඇත.

එහෙත් හඳුනා ගැනීමට දුෂ්කර වූ පමණින් හඳුනා නොගෙන සිටීමට යොමුවීම අනුවණකමකි. මන්දයත් පණ්ඩිත සේවනය හෙවත් පණ්ඩිතයන් ඇසුරු කිරීම දියුණුවට හේතුවන උතුම් මංගල කරුණක් වන හෙයිනි. (පණ්ඩිතානංච සේවනා. ඒතං මංගල මුත්තමං – මංගල සූත්‍රය) එබැවින් සත්පුරුෂභාවය ම පතන ඔබ – අප විසින් නිරතුරු පණ්ඩිත ඇසුරක් ම බලාපොරොත්තු විය යුතු ය.

පණ්ඩිතයා යනු සුන්දර පුද්ගලයෙකි. හෙතෙම බාහිර ආටෝප සාටෝපයන්ගෙන් හිස උදම්මවා ගත්තකු නොවන අතර, නිහතමානීව තමා අරමුණු කර ගත් ගමන යන්නෙකි. මෙහි සඳහන් කළ තමා අරමුණු කර ගත් ගමන යනු කුමක්ද? අප විසින් හඳුනා ගත යුත්තේ ද එයයි. ඒ අරමුණ සහ ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වන වැඩපිළිවෙළ හඳුනා ගැනීම ද පණ්ඩිතයා හඳුනා ගැනීමට හේතු වේ.

අපට අවශ්‍ය වන්නේ ද එයයි. පණ්ඩිතයන්ගේ ගමන් මඟ ගැනීමෙන් දියුණුවටත්, සම්පූර්ණයෙන් ම සුවපත් භාවයටත් පත් විය හැකි ය. බුදුදහමට අනුව සලකා බලන කල පණ්ඩිතයාගේ අරමුණ විය යුත්තේ සියලු දුක්වලින් නිදහස් වී නිවන අවබෝධ කර ගැනීමයි. සසර පුරා තමා මෙතෙක් පැමිණි ගමන් මඟ තුළ තිරිසන්, පේ‍්‍රත, අපාය ලෝකවල ඉපිද විඳි අනන්ත – අප්‍රමාණ දුක් පිළිබඳ ව නුවණින් සලකා බලන ඔහු මෙම තීරණය ගනියි.

අපාය මහගෙදර කර ගනිමින් සසර සැරිසරන අප කොතෙක් පින් කොට යහපත් තැන්වල උපදින්නට ඇති ද? නමුත් පාපයට නැඹුරු වීමෙන් නැවත නැවතත් බොහෝ දුක් සහිත නිරයට ම ගියෙමු. මේ මිය යන පුහුදුන් සත්වයන්ගෙන් බොහෝ දෙනා නැවත දුකට ම පත්වෙති. සම්බුදු උපත බෙහෙවින් ම දුර්ලභ ය. මිදෙනවා නම් මිදිය හැක්කේ මේ උතුම් මොහොත තුළ දී ය. සම්බුදුවරුන්ගේ වචන නම් කිසිදිනක වෙනස් නොවන බව දන්නා මම ඒ බුද්ධ වචන හොඳින්ම විශ්වාස කරමි. ශ්‍රද්ධාව වඩ වඩාත් තර කර ගන්නා මම ඒ දහම උපයෝගී කර ගනිමින් එතෙරටම යෑමට උත්සාහ කරමි. දැන් මගේ ජීවිතය ම ඒ වෙනුවෙන් කැප කළ යුතු ය. හැකි හැම මොහොතක ම මේ ගන්නා වෑයම අඩුම තරමින් අපා දුක් රහිතව සැනසිලිදායි ගිහි ජීවිතයක් සුන්දරව ගත කළ හැකි සෝතාපන්න තත්ත්වය දක්වාවත් පවතිනු ඇතැයි පණ්ඩිතයා සිතයි.

එහෙත් මීටත් වඩා හොඳින් ම නුවණ මෙහෙයවන අය සියලු දුක් කෙළවර අරහත්භාවය උදෙසා ම කටයුතු කරති. ඇතැමුන් ගිහි ජීවිතය තුළ දී ම එයට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගන්නා අතර තවත් අය පැවිද්දට යොමු වෙති.

මේ ගිහි ජීවිතය සම්බාධ සහිත ය. කෙලෙස් උපදින තැනකි. පැවිදි බව අභ්‍යවකාශය මෙන් නිදහස් ය යනුවෙන් දැක පැවිදි වූ බව සඳහන් වේ. ඒ පැවිද්දට යොමු වන්නේ කුමකටද?

“යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්තී, තදනුත්තරං බ්‍රහ්මචරිය පරියෝසානං දිට්ඨේච ධම්මේ’ (බ්‍රහ්මදේව සූත්‍රය)

යනුවෙන් සඳහන් වන අන්දමට පැවිද්දේ මූලික අපේක්ෂාව නිවනයි. එය මේ ජීවිතය තුළ දී ම හැකි ඉක්මණින් සාක්ෂාත් කර ගැනීම පැවිද්දාගේ බලාපොරොත්තුව විය යුතු ය.

මෙය නුවණැති දිවියක ඉදිරි පියවරකි. පණ්ඩිතයා පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද විවරණ රැසක් ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ දී දැක ගත හැකි ය. මෙම ‘පණ්ඩිත’ යන්න පඬි ධාතුවෙන් හටගන්නකි.

අද දින නිවැරැදි යැයි තීරණය කරන යම් යම් කරුණුූ හෙට දිනයේ ලැබෙන දත්ත සාධක මත වෙනස් විය හැකි ය. පණ්ඩිතයා තම දැනුම නිතර ම පිරිපහදු කර ගන්නෙකි. ඒ වෙනුවෙන් ඉතා කුඩා දරුවාගේ අවවාදය වුව සැලකිල්ලට ගැනීමට පෙළඹෙයි. පණ්ඩිතයාට අවශ්‍ය වන්නේ තමා සොයා ගත් කරුණු ප්‍රකට කිරීම මිස ඒ ඔස්සේ තමා ප්‍රකට වීම නොවේ.

මෙම පණ්ඩිත යන වචනයට ම පර්යාය පදයක් වශයෙන් ‘විසාරද’ යන්න ද යෙදී තිබේ. විසාරද යනු සාරජ්ජතාවෙන් හෙවත් බියෙන් තොර නිර්භයතාව යි. එනම් ඔහුගෙන් අදාළ විෂය පිළිබඳ නඟන ප්‍රශ්න හමුවේ නර්භය ව පිළිතුරු සැපයිය හැකි බවයි.

බහුශ්‍රැත බව ඇති කර ගැනුම ද පණ්ඩිතයාගේ ලක්ෂණයකි.

මෙතෙක් පණ්ඩිතයා පිළිබඳ සඳහන් කළ සියලු කරුණුවලින් පැහැදිලි වන්නේ පණ්ඩිතයා යනු මෙලොව පරලොව ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධිය සලසා ගත් ප්‍රඥාවන්තයා බව ය. මෙම පණ්ඩිත වචනය විශේෂයෙන් ම රහතන් වහන්සේට ගැලපෙන්නකි. උන්වහන්සේ කළ යුතු සියල්ල කළ උතුමෙකි.

මහණෙනි, පණ්ඩිතයා මැනවින් දුක් ගෙවීම පිණිස බඹසර කළේ ය. එහෙයින් පණ්ඩිතයා කය බිඳීමෙන් වෙනත් කයකට නොපැමිණියේ වෙයි. එනම් යළි නූපන්නේ වෙයි. හෙතෙම වෙනත් කයකට නොපැමිණියේ ම ඉපදීමෙන්, ජරාමරණයෙන්, පරිදේවයෙන්, දුකෙන්, දොම්නසින්, උපායාසයෙන් මිදී සියලු දුකින් මිදේ යැයි වදාළහ. (පච්චයපච්චයුප්පන්න සූත්‍රය)

පණ්ඩිතයා සියලු දුකින් නිදහස් වන්නෙකි. ඔබ සැමට ඒ සඳහා මාර්ගය විවරව පවතී.

ඇසළ පුර අටවක

ජූලි 25 අඟහරුවාදා අ.භා.
 03.06 න් පුර අටවක ලබා 26 බදාදා අ.භා. 03.48 න් ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08

Full Moonඅමාවක

අගෝස්තු  15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]