වැරැදි හදාගෙන ඉදිරියට යමු
අප මේ සසරේ සැරිසරා ආ ගමන් මඟ පිළිබඳ දන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ යි. සත්වයා
සුගති දුගති ලෝකවල සැරිසරන ආකාරයත් කර්ම විපාකවලට බඳුන්වන ආකාරයත්, තම තමන් අතින්
වූ වැරැදි නිසා දුක් විඳින ආකාරයත් භාග්‍යවතුන් වහන්සේ දුටු සේක.
අප කළ කී දේ, සිතූ දේ නිසාම අප බොහෝ විට දුක් විඳිනවා. කර්මය කියන කඩ ඇනයෙන් බැඳී
අවිද්‍යාව, තණ්හාව සමඟ පැටලී යන ගමනක් කියා සම්බුදු නුවණින් දුටු නිසයි භාග්‍යවතුන්
වහන්සේ අපට වදාළේ කයින්, වචනයෙන්, සිතින් වැරැදි කරන්න එපා. මේ දීර්ඝ සසර ගමනේ දී
අප අතින් බොහෝ අඩුපාඩු දුෂ්චරිත සිදු වෙනවා කියා.
අපි දන්නවා සතුන් මැරීම, අන්සතු දේ සොර සිතින් ගැනීම, වැරැදිකාම සේවනය කියන්නේ කාය
දුෂ්චරිත යි.
ඒ වගේම කෙනෙක් බොරු කියනවා නම්, තමන්ට වගේම අනුන්ටත් අයහපත සිදුවන හිස්වචන සමඟිය
බිඳවන කේළාම් කියනවා නම්, තව කෙනකුගේ සතුට නැති වෙන ආකාරයට නපුරු වචන කියනවා නම් ඒ
වචනයෙන් වන දුෂ්චරිත.
අනුන්ගේ දේට ආශා කිරීම, ඒ දේ තමාගේ කර ගැනීමට කැමැත්තක් ඇති කර ගෙන ඒ කැමැත්තට යට
වී වාසය කිරීම, තරහ සිතින් වාසය කිරීම ආදිය මනසින් වන දුෂ්චරිත යි.
භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දේ කැටි කොට කාය, වචී, මනෝ දුෂ්චරිත ලෙස නම් කළා. මේ දේ
කිසියම් කෙනෙක් හෝ පිරිසක් විසින් කරනවා නම් ඔවුන්ට ලැබෙන්නේ දුක් විපාක පමණයි.
ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ සම්බුදු නුවණින් දුටුවා දුෂ්චරිතය වගේම සුචරිතය කරන
මිනිසුන්ගේ උපත සිදුවන ආකාරය පිළිබඳ ව. එය උපමාවකින් මෙසේ වදාළා. “ඇස් ඇති
පුරුෂයෙක් හතරමං හන්දියක ඇති උස ගොඩනැඟිල්ලකට නැඟ පහළ බලනවා. මිනිසුන් ඒ නිවසින් මේ
නිවසට, මේ නිවසින් ඒ නිවසට යන ආකාරය පෙනෙනවා. හතරමං හන්දියෙන් එක් එක් මාවත කරා
ගමන් කරන අයුරුත් පැහැදිලිව දකිනවා. ඒ ආකාරයට ම මිනිසුන් මිය ගිය පසු සුගතියෙන්
දුගතියටත්, දුගතියෙන් සුගතියටත් අනේක හැලහැප්පීම්වලට මුහුණ දෙමින් දුක සැප අතර
දෝලනය වෙමින් ගත කරන ජීවිත පිළිබඳවත් සම්බුදු නුවණින් අවබෝධ කර ගත්තා.
භාග්‍යවතුන් වහන්සේ සුචරිතය වර්ග කළා. සතුන් නො මැරීම, සොරකම් නො කිරීම, වැරැදිකාම
සේවනය නො කිරීම කියන්නේ යහපත් දේ. සුචරිත දේ. ඒ සියල්ල සසරේ සැප පිණිස හිත සුව
පිණිස උපකාරි වෙනවා.
එලෙසම වචනයෙන් වගේම මනසිනුත් යහපත් දේ කරනවා නම් සැප විපාක ලැබෙනවා. එනිසා
භාග්‍යවතුන් වහන්සේ අපට අනුකම්පා පිණිස වදාළා තමාට හිතසුව පිණිස පවතින දේ පුරුදු
කරන්න කියලා. අහිත පිණිස පවතින දේ දුරු කරන්න කියලා.
කාල සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි, කයින් සිදුවන වැරැදි
නිවැරැදි කර ගන්නට තිබෙන්නේ කය සංවර කර ගැනීමෙන්. වචනයෙන් සිදුවන වැරැදි වචනය
නිවැරැදි කර ගැනීමෙනුත්, මනසින් සිදුවන වැරැදි ප්‍රඥාවෙන් දැක ප්‍රහාණය කිරීමෙනුත්
අපට නිවැරැදි වෙන්න පුළුවන්.
අපි ඊර්ෂ්‍යා කරන්නේ නම්, එකට එක කරන්නේ නම් මේවා දුෂ්්චරිත. තිදොර සංවර කර, වරදින්
වැළකී ඉතා ඉහළ ආධ්‍යාත්මික මට්ටමක් කරා ගමන් කරන්නට අවස්ථාව බුදුදහම තුළ තිබෙනවා.
නිවන් මඟ පුරුදු කරනවා නම් සිත, කය, වචනය, සංවර කර ගන්නවා කියන දේ සිදු වෙනවා.
ඒ වගේම අපට තිබෙන බරපතළ ප්‍රශ්නයක් තමා සිදු වූ වරදින් නැඟී සිටින්නේ කොහොමද කියන
එක. මේ සුගති දුගති ලෝකවලට මාරු වෙවී සසරට වැටුණු සත්වයා බොහෝ දුර ගමනක් යනවා. සසරේ
යන අපගේ මූලික ස්වභාවය නම් වරදට නැමුන සිතක් සමඟ ජීවත්වීම. සසරේ පුරුදු ලෙස එකම වරද
නැවත නැවත වෙන්න පුලුවන්. සසරේ දෝෂයක් නිසා හෝ අසත්පුරුෂ ඇසුර නිසා බෝහෝ ගුණ යහපත්
අවංක, අහිංසක ව ජීවත් වූ අයටත් මේ සසර ගමන වරදිනවා. අසත්පුරුෂයාගේ ඇසුර නිසා
බොහෝවිට බොහෝ දෙනාට තමන්ගේ සිතට එකඟ නැති, තමාට සිතීමට පවා අකැමැති දේ සිදු කරන්න
වෙනවා. එවැනි පිරිසකටයි මේ ධර්මය උන්වහන්සේ වදාළේ. පරිපූර්ණ අයට වඩා පරිපූර්ණත්වය
උදෙසායි මේ දහම් මඟ තිබෙන්නේ. මේ පින හීන යුගයේ පන්සිල් ආරක්ෂා කර ගැනීමත්, සසරේ
පුණ්‍ය විපාකයක්. එනිසා වරදක් නොකර සිටිනවා වගේම වරදින් නැඟී සිටීමත් ශ්‍රේෂ්ඨ යි.
එනිසා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ලෙස අපි අප්‍රමාදි විය යුතු තැන ප්‍රමාද
නොවී මේ ධර්මයේ හැසිරීමට අදිටන් කර ගනිමු.
- නයනා නිල්මිණී |